Nov
29
දක්ෂිණ අධිවේගයට ගිය බුද්ධිකගේ පියාගේ ඉඩමට වන්දිය රු. 1.50යි

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් මතු කරමින් බුද්ධික පතිරණ මහතා මේ බව සඳහන් කළේය.
“ගරු කථානායකතුමනි, දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට දිශාව සඳහා වන්දි ලබාදීම හරිම හාස්‍යජනකයි. පසුගිය දවසක මගේ තාත්තාගේ නමට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් ආවා. එතුමා මියගිහිල්ලත් දැන් මාස 4ක් විතර වෙලා. ඒ ලියුමේ තිබුණේ රු. 1.50ක වන්දියක් ගන්න රුපියල් 25ක මුද්දර දෙකක් අරගෙන එන්න කියලා. මටයි නංගිටයිත් ලියුම් දෙකක් ආවා. ශත 50ක වන්දියක් ගන්න රු. 25ක මුද්දර දෙකක් අරන් එන්න කියලා. මේක හරිම විහිළුවක්. ශත 50ක වන්දියක් ගන්න රු. 25ක මුද්දර දෙකක් අරන් යන්න ඕනද? ලියාපදිංචි තැපෑලටත් රුපියල් 20ක් විතර යනවා. මේවා වහාම නිවැරදි කරන්න.” බුද්ධික පතිරණ මහතා කීවේය.
“වන්දි තක්සේරු කරන්නේ අපි නොවේ. ඒක කරන්නේ තක්සේරු දෙපාර්තමේන්තුව. එය අයිති මුදල් අමාත්‍යාංශයටයි.” මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් රිවිර ට අදහස් දක්වමින් මාතර දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිද්ධිය මෙසේ විස්තර කළේය.
මගේ තාත්තා නැතිවුණේ මැයි 30 වැනිදා. දැන් තුන්මාසේ දානෙත් දීලා ඉවරයි. තාත්තටයි, මටයි නංගිටයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට දිගුවට අදාළ වන්දි මුදල් ප්‍රදානයක් සම්බන්ධයෙන් ලිපි තුනක් ලැබුණා.
ලියාපදිංචි තැපෑලෙන් එවපු මේ ලිපි එවලා තියෙන්නේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා. තාත්තට එවපු ලිපියේ රුපියල් එකයි පනහක වන්දිය ගන්න රුපියල් විසි පහේ මුද්දර දෙකකුත් අරගෙන එන්න කියලා තියෙනවා. මටයි නංගිටයි ශත පනහ ගණනේ වන්දි තියෙනවා. ඒවාටත් අර රුපියල් විසි පහේ මුද්දර දෙක ගානේ අරන් එන්න කියලා දන්වලා තියෙනවා.
තාත්තාට ලැබෙන වන්දි මුදල රුපියල් එකයි පනහයි. ඒ ලිපිය ලියාපදිංචි තැපෑලෙන් එවන්න මුද්දර ලියුම්කවර සහ අනෙකුත් වියදම් එක්ක තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රුපියල් 37ක් වගේ වැය කරලා තියෙනවා.
එහෙම වැය කරලා ආපහු එකයි පනහ ගන්න තාත්තා රුපියල් විසි පහේ මුද්දර දෙකක් අරන් යන්න ඕන. ඒ කියන්නේ රජයට රුපියල් පනහක් දෙන්න ඕන. තාත්තා දැන් නෑ. අළු ටික තමයි අරගෙන යන්න වෙන්නේ. මම ශත පනහක් ගන්න රුපියල් පනහක මුද්දර අරගෙන යන්න ඕන. කීයක් හරි ලැබුණා නම් තාත්තට පින් පිණිස කියලා පන්සලක පින් කැටේකට දාන්න හරි ගේන්න යන්න තිබුණා. මම අද (28) මේ කතාව කියලා පාර්ලිමේන්තු ලොබියේ ඉන්න කොට මැති ඇමැතිවරු මට විහිළු කරන්න ගත්තා. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මගෙන් ඇහුවා යූ.ඇන්.පී. එකට බුද්ධික වටින්නේ ශත පනහද කියලා යැයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කියා සිටියේය.
- රිවිර