Jul
08
ඇමෙරිකාවේ, ඩලාස් නුවර පැවති කළු ජාතික විරෝධතාවක් අතරතුර සිදු වූ ස්නයිපර් ප්‍රහාරයකින් පොලීසියේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරීන් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.
මින්නෙසෝටා සහ ලූසියානා යන ප්රාන්තවලදී කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කරගෙන ඇමෙරිකාව පුරා වර්ණභේදවාදී ගැටුම් උත්සන්න වී ඇති අතර, බොහෝ ප්‍රාන්තවල කළු ජාතිකයෝ විරෝධතාවන්හි නිතර වෙති.
ඩලාස් පොලිස් ප්‍රධානියාට අනුව ස්නයිපර් වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ශල්‍යකර්මවලට බඳුන්වන බවත්, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් කියයි.
ප්‍රහාරය එල්ල කරන ලද වෙඩික්කරුවන් සොයා දැඩි සෝදිසි මෙහෙයුමක් අරඹා තිබුණත්, මෙතෙක් කිසිවෙකුවත් අත්අඩංගුවට ගෙන නොතිබුණි.
කෙසේ වෙතත්, පොලීසිය විසින් කැමෆ්ලැජ් ඇඳුමකින් සැරසුණු සැකකරුවෙකුගේ ඡායාරූපයක් ඉදිරිපත් කරමින්, ඔහු හඳුනාගැනීමට මහජන සහාය පතා තිබේ.
මේ අතර, ඩලාස් හි සංක්‍රමණ පොලිස් නිලධාරීන් පිරිසකටද ප්‍රහාරයක් එල්ල වූ බවට තොරතුරු වාර්තා වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.