Aug 18

"ඔව්, ඒක ඇත්ත. මම විවාහ වෙන්න ඉන්නේ" - තිසුරි

මේ දිනවල තිරගත කෙරෙන "ධර්ම යුද්ධය" චිත්‍රපටය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ චිත්‍රපටයක් ලෙස සඳහන් කළ හැකිය. ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා සමග විනුමි වන්සදි ප්‍රධාන චරිත රඟපාන මෙය පවුලක් වටා ගෙතුණු කතාවකට අනුව නිර්මාණය වූවකි. මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවන තිසුරි යුවනිකා මෙවර තරු කතාබහට එක් විය.

"ධර්මයුද්ධය" සාර්ථකද?

ඇත්තටම සාර්ථකව තිරගත වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම බලපු අය මගේ රංගනය ගැන කතා වෙනවා. හැමෝම හොඳයි කියල කියනවා. මම ගොඩක් මහන්සි වෙලා කරපු චරිතයක්. ඉතිං ඒ නිසා ඒ වගේම ප්‍රතිචාර සහ සාර්ථකව තිරගත වෙද්දි මහන්සියේ ප්‍රතිඵල තියෙනවා කියලා හිතනවා.



කොහොමද අත්දැකීම්?

අපි හැමෝම ඉතාමත් සහයෝගයකින් වැඩ කළා. ඉතිං ජැක්සන් මාමාගේ ඉඳලා පොඩි නංගි වෙනකන් ඉතාමත් සාර්ථකව වැඩ කළා. මේ සඳහා රංගන ශිල්පීන් විතරක් නෙමෙයි හැම කණ්ඩායම ඉතාමත් මහන්සි වුණා. මේක කණ්ඩායම් නිර්මාණයක්. ඉතිං චිත්‍රපටය සාර්ථක වෙන්න ඒක එක හේතුවක් කියලා මම හිතනවා.

 මේ සඳහා අවස්ථාව ලැබුණේ?

මට මේ සඳහා මහරාජා ආයතනයෙන් තමයි ආරාධනා කළේ. මේක භාෂා පහකින් නිර්මාණය වෙලා තියෙනවා, ඉතිං මෙහෙම කරන්න යනවා කියලා කිව්වා. ඊටපස්සේ තිරපිටපත මට ලැබුණා. ඒක කියෙව්වාම මට ආසා හිතුණා මේ සඳහා දායක වෙන්න. මං කරපු චරිතත් එක්ක බලද්දි ටිකක් වෙනස් චරිතයක්. මම ගොඩක් කරලා තියෙන්නේ පෙම්වතියගේ චරිත නිසා. කාලෙකින් ලැබුණු වෙනස් චරිතයක් වුණා සිනමාව පැත්තෙනුත්. දියණියකට වෙන ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න පවුලේ අය වෙහෙස වෙන ආකාරය. ඇත්තටම ආසා හිතුණා කතාව කියෙව්වාම. ඒ නිසා මම තීරණය කළා මේ දේ කරනවා කියලා.

 "ධර්ම යුද්ධය" තවත් භාෂාවලින් නිර්මාණය වී තිබෙනවා.  ඒවායේ ඇති චරිතයටම පණ දීමද ඔබ කළේ?

නැහැ. ඒ චරිතයම මම ගෙනාවා කියලා මම හිතන්නේ නැහැ. අනික මම ඒ චිත්‍රපට බැලුවෙත් නැහැ. බැලුවා නම් ඒකම මම කොපි කළා වෙනවා. අපට ඕන වුණේ ලංකාවේ තාත්තා කෙනෙක්, ලංකාවේ දියණියක්, ලංකාවේ පවුලක් කියන ඒ දේ නිර්මාණය කරන්නයි. ඒ නිසයි ලංකාවට උචිත විදිහට මේ නිර්මාණය කළේ. මේ චිත්‍රපටයේ වෙනස මම හිතන්නේ, මේක ප්‍රතිනිර්මාණයක් වුණාට අපි ලංකාවට හරියන විදිහටයි ඒ හැමදේම කරේ. මට දැනිච්ච දේ සහ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ එකතු කරලා තමයි මම කළේ. මට ඕන වුණේ වෙනස් දෙයක්, වෙනස් දියණියක් ගොඩනගන්නයි. ඒ චිත්‍රපටය බලලා මම කරපු අනිත් චරිත මතක් වෙනවා නම් මම එතනදි අසාර්ථකයි. හැබැයි මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම යම්තාක් දුරට සාර්ථකයි කියලා මම හිතනවා.

 "ධර්මයුද්ධය" ඇතුළෙ ඔබේ පවුල කොහොමද?

ඇත්තටම අපි එක පවුලක් වගේ තමයි කටයුතු කරේ. දවස් තිස්ගාණක් වගේ මට ෂූටින් තිබුණා. අපි හතර දෙනාම එක පවුලක් වගේ හිටියා. මට ඒ කාලෙ කතා කළේ "ලොකු" කියලා. නංගිට "පොඩ්ඩි' කියලා. අපි ෂූටින් නැති දවසට ඇවිදින්න යනවා. අම්මා, අප්පච්චි, නංගි කියන හැඟීමෙන් තමයි අපි හිටියේ. චිත්‍රපටයට ඕන නිසා එහෙම හිටියෙ නැහැ. නමුත් එවැනි සම්බන්ධතාවක් මෙහිදී ගොඩනැගුණා. මේක පවුලක් වුණා. අපි හතර දෙනා එකට කෑවේ, එකට ගමන් බිමන් ගියේ. ෂූටින් නැති වුණත් එකට හිටියේ. ප්‍රශ්නයක් වුණත් එකට හතර දෙනා විසඳගන්න පුරුදු වුණා. මම හිතනවා ඒක තමන්ගේ කියන හැඟීම තිබුණොත් තමයි රංගනය වුණත් සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් ඒකෙ ව්‍යාජ බවක් පේනවා. හැබැයි අපි ඒ රාමුවෙන් මිදුණා කියලා කියන්න පුළුවන්. ෂූටින් ඉවර වෙන දවසෙත් හරි දුකයි. ඇත්තටම පවුලකින් වෙන්වෙනවා කියන හැඟීම දැනුණා. හරි සතුටුයි ඒ කාලෙ මතක් වෙද්දිත්. පිස්සු නට නට තමයි ඒ කාලේ වැඩ කටයුතුත් කළේ.

 "ධර්ම යුද්ධය" කොපියක් කියලා අදටත් විවේචනය කරනවා නේද?

ඇත්තටම "ධර්ම යුද්ධය" කොපියක් තමයි. ඕක මුලින්ම ජපන් කොපියක්. එහෙම එහෙම ඇවිල්ලා තෙලිඟු, හින්දි භාෂාවෙන් ඇවිත් භාෂා 05කින් විතර නිර්මාණය වෙලා තියෙනවා. අපිත් ඒක සිංහලෙන් ප්‍රතිනිර්මාණය කළා. ඒක ප්‍රතිනිර්මාණයක් වුණත් නිර්මාණයට ඉහළ සාධාරණයක් වෙලා තියෙනවා නම් ඒක සාර්ථකයි කියලා මම හිතනවා. ඉතිං සමරහක් අය නම් කියනවා කොච්චර හොඳ වුණත් මේක කොපියක් කියලා. ඇත්තටම ගොඩක් ඒවා කොපි තමයි තියෙන්නේ. මම කියන්නේ ඇද හොයන්නේ නැතුව නිර්මාණය හොඳට කරලා තියෙනවා නම් ඒක රසවිඳින්න කියලයි. අනික ලොකු පණිවුඩයක් දෙන චිත්‍රපටයක් මේක. හොඳ ආදර්ශමත් චිත්‍රපටයක් ඒක. අපේ රටෙත් බහුලව තියෙන ප්‍රශ්නයක් මේ චිත්‍රපටය තුළ තියෙනවා. මම හිතනවා ප්‍රතිනිර්මාණයක් වුණත්, කොපියක් වුණත් ඒ නිර්මාණය යම් ආදර්ශයක් ගන්න පුළුවන් හා ඒ නිර්මාණය හොඳින් කරලා තියෙනවා නම් ඇයි තවත් වෙන දේවල් හිතන්නේ. හොඳ නිර්මාණයක් නිසානේ ඒක සාර්ථකව තිරගත වෙන්නේ. මම කියන්නේ ඒක රසවිඳින්න. ඒ දේ වටිනවා.

 විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තද?

ඔව්, ඒක ඇත්ත. මම විවාහ වෙන්න ඉන්නේ.

 ළඟදීම විවාහය සිද්ධ වෙනවාද?

අනේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ලබන අවුරුද්දේ වගේ.

 විවාහයෙන් පස්සේ රඟපාන්නේ නැද්ද?

නැහැ. විවාහ වුණා කියලා මම රංගනයට සමුදෙන්නේ නැහැ. මම මේ කාලෙත් කරන්නේ තෝරාගෙන නිර්මාණ සඳහා දායක වෙන එකයි. මම හම්බ වෙන හැම නිර්මාණයක් සඳහාම දායක වෙන්නේ නැහැ. මට හොඳ නිර්මාණයක් සහ හොඳ පිටපතක් නම්, මට ඒකට අලුත් දෙයක් කරන්න තියෙනවා නම් තමයි මම දායක වෙන්නේ. මට යම්කිසි දෙයක් කරන්න බැරි නම් මම බාරගන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නවා. ඒ වගේ තමයි විවාහයෙන් පස්සෙත් මේ දේවල්වලට බාධාවක් කරගන්නේ නැහැ. මොකද මගේ වෘත්තිය මේක. හැමදේම සාර්ථක විදිහට කරන්න තමයි මම කරන්නේ.

 ඉදිරි බලාපොරොත්තු?

මේ දවස්වලත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව මම මේ දවස්වල නාට්‍ය දෙකක් රූගත කරනවා. මම කලින් කිව්වා වගේ මම ආස වෙච්ච පිටපත් දෙකක්. ඒ දෙකේ වැඩ කටයුතු කරගෙන යනවා. පෞද්ගලක ජීවිතයටත්, මගේ පවුලේ උදවියටත් මුල් තැන දෙමින් කාලය කළමනාකරණය කරගනිමින් කාලය ගෙවනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.