Jul 03

"කටාරයට පැය 48 ක්" - ගල්ෆ් කලාපීය රටවල් කටාරයට දැනුම් දෙයි

තමන් ඉදිරිපත් කළ කොන්දේසි 13 ට එකඟවීමට තවත් පැය 48 ක් කල් දෙන බව සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල්  කටාරයට දැනුම් දුන්නේය.

සෞදිය ප්‍රමුඛ එම ගල්ෆ් කලාපීය රටවල් කටාරයට මෙම කොන්දේසි පනවා ඊට ජූලි 2 වැනිදා තෙක් කල් දී තිබුණි.

කටාරය එම කොන්දේසි පිළිගැනීමට අදිමදි කරයි. කෙසේ නමුත් තවත් පැය 48 ක කාලයක් ඒ සඳහා ලබා දීමට සෞදිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් තීරණය කර තිබේ.

සෞදිය හැර කටාරයට කොන්දේසි 13 ක් ඉදිරිපත් කළ සෙසු රටවල් වන්නේ බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුවය.

පැය 48 ක් ඇතුළත තීරණයක් ගෙන තම කොන්දේසිවලට එකඟ නොවුණහොත් තවත් සම්බාධක පනවන බවට සෞදිය කටාරයට තර්ජනය කර තිබේ.

තමන් කටාරයට මෙසේ කොන්දේසි පැනැවූයේ, කටාරය සමඟ පවතින අර්බුදය අවසන් කිරීමේ අරමුණින් යැයි සෞදිය, බහරේනය සහ එක්සත් අරාබි එමීරය පවසා ඇත.

කටාරයට තවත් පැය 48 ක් කල් දෙන බව නිල වශයෙන් දැනුම්දීම සෞදි විදේශ ඇමැතිවරයා විසින් සිදු කරනු ලැබුණි. ඒ, කුවේට් රාජ්‍යය හරහාය. කටාර් අර්බුදය විසඳීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කුවේටයයි.

කටාරය දිගින් දිගටම පවසා ඇත්තේ සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත් කළ එම කොන්දේසි ‘යථාර්ථවාදී’ නොවන බවය. එම කොන්දේසි අතරින් ප්‍රධාන කොන්දේසියක් වන්නේ කටාරය කේන්ද්‍ර කොට ගනිමින් පිහිටුවා ඇති  ජාත්‍යන්තර පුවත් නාළිකාවක් වන ‘අල් ජසීරා’ තහනම් කිරීමටය.

අල් ජසීරා නාළිකාව තහනම් කරන්නැයි සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් කරන ඉල්ලීම කිසිසේත් සාධාරණීය නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පවසා ඇත. ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ද ඊට විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.

කටාර් රාජ්‍යය ඉරානය සමඟත් තුර්කිය සමඟත් පවත්වන සබඳතා අඩු කළ යුතුයි යන්න තවත් කොන්දේසියකි.

තුර්කි හමුදා කඳවුරක් කටාරයේ පිහිටුවා ඇති අතර, එම කඳවුරට තුර්කිය මේ වනවිට හමුදා බළඇණියක් ද යවා තිබේ.

දින 10 ක් ඇතුළත එම හමුදා කඳවුර වසා දැමීමට කටාරය පියවර ගත යුතුයි යන කොන්දේසිය ද කොන්දේසි 13 ට ඇතුළත් වෙයි.

සෞදිය ප්‍රමුඛ සෙස ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යය සමඟ උරණ වූයේ කටාරයේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙනි.

කටාරය ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩි දෙනවා යැයි ගල්ෆ් රටවල් චෝදනා කරයි. කටාරය ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්ති හරහා මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සෞදියේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

කටාරය සමඟ අමනාප වීමෙන් පසු, සෞදිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාරයට සම්බාධක පැනැවීය. ගුවන් මාර්ග සහ මුහුදු මාර්ග වසා දැමීමට කටයුතු කළේය.

සෞදිය සහ කටාරය එක ළඟ පිහිටි රටවල් දෙකක් වන අතර දේශසීමාද වසා දැම්මේය. කටාරයට ලැබෙන ආහාර ද්‍රව්‍යවලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් සෞදියෙන් ලැබේ. එය ද නවතා දැමීමට සෞදිය කටයුතු කළේය.

මේ වනවිට ඉරානය සහ තුර්කිය කටාරයේ සහායට ඉදිරිපත් වී සිටී. දින පතා කටාරයට ආහාර නැව් යැවීමට ඉරානය කටයුතු කරයි. හටගෙන ඇති අර්බුදයේ දී කිසිම අවස්ථාවක කටාරය තනි කොකරන බවට තුර්කිය පවසා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.