Jan 18

කට නිසා ඇතුළට ගිය රන්ජන්ගේ දෙවැනි නඩුව ඊළගට..


සද්ද විද්ද රාජපක්ස පලගපතිර අඩකුමාරලාගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායක හෙවත් රංජන් රාමනායක මෑත වකවානුවේ සමාජය තුළ දැඩි කතාබහට ලක් වූ චරිතයකි. ජනකාන්ත නළුවකු හා දේශපාලනඥයකු ද වන ඔහු එලෙස සමාජය තුළ දැඩි කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වූයේ සිය රංගන කුසලතාවයන් හෝ දේශපාලන භූමිකාව තුළදී විදහා දැක් වූ විශිෂ්ටත්වයක් නිසා නොව සිය සහෝදර නළු නිළියන්, ප‍්‍රකට හිතවතියන් සමග සිදු කළ ඉතා පෞද්ගලික කරුණු සහිත දුරකථන සංවාද පමණක් නොව සමාජය තුළ මහත් පිළිගැනීමට ලක් වූ අධිකරණ විනිසුරුවරුන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැත් වූ දුරකථන සංවාද ඉතා රහසිගතව පටිගත කර සදාචාරාත්මක නොවන ආකාරයෙන් ඒවා සමාජයට මුදාහැරීමෙනි.

ඔහුගේ එම කි‍්‍රයා කලාපය නිසා අධිකරණ විනිසුරුවරුන් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුටම සිය වෘත්තීය ජීවිතයට තිත තබා වගඋත්තරකරුවන් ලෙස අධිකරණ හමුවේ හා පොලිසිය හමුවේ පෙනී සිටීමටත් සිදු වූයේ තමන් එතෙක් රැකගත් වෘත්තීය ගරුත්වය සියතින්ම විනාශ කරගත් බවක් විදහා දක්වමිනි.
සමාජය එක්තරා දුරකට උඩුයටිකුරු කළ ඔහුගේ එම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් තම දැක්ම මතිමතාන්තර අනුව එකිනෙකා විවිධ ආකාරයෙන් විග‍්‍රහ කළත් සමාජයේ මධ්‍යස්ථ මතධාරීන් බහුතරයක් එය අසික්කිත කි‍්‍රයා කලාපයක් ලෙස විවේචනයට ලක්කළ බව නොරහසකි. ඔහු යළිත් සමාජය තුළ කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 12 වැනිදා බරපතළ වැඩසහිත වසර 4 ක සිරදඬුවම් නියම කිරීමත් සමගය. වෘත්තීය රංගන ශිල්පියකු ලෙස ඔහු රඟපෑ අනේක විධ චරිත රංගනයන් හෝ දේශපාලන රඟමඩලේදී විදහා පෑ රංගනයන් මොහොතකට අමතක කර මාළුවා නසිනුයේ සිය කට නිසා වන්නේ යැයි කියන කියමන අපට යළිත් වරක් සිහිගන්වමින් රන්ජන් රාමනායක නමැති දේශපාලනඥයාට සියතින්ම ජම්පර් ඇඳගන්නට හේතුපාදක වූ එකී නඩු නිමිත්ත හා ඒ හා බැඳුනු අධිකරණ කි‍්‍රයාදාමය දෙසට අපි දැන් හැරෙමු.

ඒ 2017 අගෝස්තු 21 වැනිදා රටේ පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ වගකිවයුත්තන් එදින අරලියගහ මන්දිරයට රැස් වූයේ යහපාලන රජයේ අධිකරණ අමාත්‍ය ධුරය දැරූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ එම අමාත්‍ය ධුරයෙන් පහකරන්නට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන්

අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමේ අරමුණින්. හතර දෙසින්ම ඝනඳුර පැතිරයමින් තිබූ හෝරාවේ විටෙන් විට ඇද වැටුණ හිරිපොද වැස්ස නොතැකූ මාධ්‍යවේදීන් ඒ අසලට වී කල්මරමින් සිටියේ එතුළ සිදුවන කතාබහ උණුසුම් පුවතක් ලෙස ජනතාව වෙත විකාශනය කිරීමේ අභිලාසයෙනි.අරලියගහ මන්දිරයේ සද්ධන්ත ගේට්ටුවෙන් පිටතට ඇදෙමින් සිටි රන්ජන් රාමනායක ගමන්ගත් රථයට මාධ්‍යවේදීන් සමීප වූයේ ඇතුළත සිදු වූ දෑ විමසීමේ අරමුණින්. ජනමාධ්‍ය මගහැර පළායෑමේ භීතිකාවෙන් නොපෙළෙනු රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා එතුළ සිදු වූ දෑ පමණක් නොව මෙරට අධිකරණ පද්ධතියේ හැසිරීම්රටාව අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් සම්බන්ධයෙන්ද කරුණු දැක්වීමට පසුබට වී තිබුණේ නැහැ.

ඔහු අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශය බරපතළ ප‍්‍රකාශයක් වුවත් එහි ප‍්‍රවෘත්තිමය වටිනාකමක් ඇතිවග පසක් කරගත් මාධ්‍ය ආයතන ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන් එය සිය මාධ්‍ය මගින් විකාශනය කිරීමට උත්සුක වූයේ ඒ සඳහා වැඩි ඉඩක් වෙන්කරමින්. තමන් විකාශනය කරන එකී ප‍්‍රකාශයේ වගකීමෙන් කොටසක් තම මාධ්‍ය ආයතනය ද දැරියයුතු බව දැන හෝ නොදැන ඔවුන් එය විකාශනය කරනුලැබුවේ එකී වදන් පැවැති රජයේ වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරයකු විසින් කළ ප‍්‍රකාශයක් නිසා විය හැකියි. ප‍්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය මගින් විටෙන් විට විකාශනය කළ එකී ප‍්‍රකාශය මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත්, රන්ජන් රාමනායක මහතාව අධිකරණයට කැඳවා නිසි නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ‍්‍රාමික යුද හමුදා නිලධාරියකු වන රණවක සුනිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ගොනු කිරීමට පියවර ගෙන තිබිණි.

එකී පැමිණිල්ල සලකා බැලූ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල එමඟින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රන්ජන් රාමනායක අධිකරණය තීරණය කර තිබිණි. ඒ අනුව 2017.10.25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා වගඋත්තරකාර රන්ජන් රාමනායක වෙත නොතිසි යැවීමට බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල 2017.10.12 නියෝග කොට තිබිණි. එකී නියෝගය අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් එම ප‍්‍රකාශය සිදුකර ඇත්තේ ඔහුගේ මතයක් ලෙස නොව සමාජයේ පවතින මතයක් ලෙස බවත් සමාජයේ පවතින මතයක් ප‍්‍රකාශ කළ පමණින් එය අධිකරණයට කළ අපහාසයක් නොවනා බවත් පෙන්වා දුන්නේය. වෙනත් පාර්ශ්වයක් විසින් කරන ලද පැමිණිල්ලක් මත එම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත්තේ යැයිද එහිදී අධිකරණයට පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඔහු අධිකරණයට කැඳවීම නොකළ යුත්තේ යන කරුණු තහවුරු කිරීමට තමා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවද අධිකරණයට දැනුම් දුන්නේය.

එකී කරුණු වාචිකව අධිකරණය හමුවේ පැවැසීමේ හැකියාව ඇතත් එය එතරම් ප‍්‍රසන්න කරුණු දැක්වීමක් නොවිය හැකි බැවින් ලිඛිතව කරුණු දක්වන්නේ යැයිද අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙෆ්, ඊවා වනසුන්දර හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඬුල්ල හමුවේදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. සිරස මාධ්‍ය ආයතනය විසින් විකාශනය කර තිබූ රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රකාශය අඩංගු වීඩියෝ පටයක් පැමිණිලිකාර පාර්ශ්වය විසින් අධිකරණයට ගොනුකර තිබූ බැවින් එහි පිටපතක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා සිරස මාධ්‍ය ආයතනයට සිතාසි යැවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි. 

එකී මාධ්‍ය ආයතනය විසින් තම අධිකරණයට භාරදුන් වීඩියෝපටය නැරඹූ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් එම ප‍්‍රකාශය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට බැලූ බැල්මට පෙනී යන බවට නිගමනය කර විත්තිකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගැනීමට අපේක්‍ෂා කරන නීතිමය පියවර දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට නියෝග කොට තිබිණි. එකී නියෝගය අනුව නීතිපතිවරයා විසින් අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට හේතු විමසා කෙටුම්පත් ආඥාවක් සහිත චෝදනා පත‍්‍රයක් 2018 වසරේ ජුලි 30 වැනිදා වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාට භාරදී තිබිණි. එකී කෙටුම්පත් ආඥාව සහිත චෝදනා පත‍්‍රය විනිසුරු මඬුල්ල සලකා බලා සෑහීමට පත්වන්නේ නම් වගඋත්තරකරුට චෝදනා කියවා දීමට එම පැමිණිල්ල යළි 2018.08.08 වැනිදා කැඳවීමට අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් එදින නියම කර තිබිණි. රන්ජන් රාමනායක මහතා සිදුකර ඇති එකී ප‍්‍රකාශය මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පි‍්‍රයන්ත නාවාන මහතා එහිදී අධිකරණයට පෙන්වාදී තිබිණි.

වගඋත්තරකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා පත‍්‍රයේ අඩංගු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය 2018 දෙසැම්බර් 10 වැනිදා සිසර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ආරම්භ කළේය. නඩු විභාගය ආරම්භ කිරීමට පෙර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පි‍්‍රයන්ත නාවාන මහතා එකී අපහාස නඩුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ලට කෙටි පැහැදිලි කිරීමක් සිදුකළ අතර ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී ප‍්‍රදීප් මහමුතුගල මහතා සාක්‍ෂි කූඩුවට නැඟ මාගල්කන්දේ සුදත්ත හිමියන් හා විශ‍්‍රාමික යුද හමුදා නිලධාරි සුනිල් පෙරේරා මහතා විසින් අධිකරණයට කරන ලද පැමිණිලි දෙකක් මත එම නඩු කටයුත්ත ආරම්භ වූ බව ප‍්‍රකාශ කළේය.

සිරස මාධ්‍ය ආයතනයෙන් අධිකරණ නියෝග මත කැඳ වූ සංයුක්ත පට නඩු ගොනුවට ගොනුකර ඇති බවත් වගඋත්තරකරුගෙන් නිදහසට කරුණු විමසන කෙටුම්පත් ආඥාව හා චෝදනා පත‍්‍රය වගඋත්තරකරුට භාරදුන් බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා එම චෝදනාවට වගඋත්තරකරු නිවැරදිකරු බව ප‍්‍රකාශකර ඇතැයි ද පෙන්වා දුන්නේය.

එකී සංයුක්ත පටයේ අඩංගු යැයි කියන ප‍්‍රකාශ ලිඛිතව පිටපත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා එහිදී විරුද්ධත්වය දැක් වූ අතර සංයුක්ත පටය ඔප්පු කිරීමේ භාරයට යටත්ව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන්, ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන, කැමරා ශිල්පීන් ඇතුළු පිරිසකගේ සාක්‍ෂි ලබා ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය අවසන් කළ අතර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් කැඳ වූ සාක්‍ෂි ලැයිස්තුවට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු මාධ්‍යවේදීන් 42ගේ නම් ඇතුළත් කර තිබිණි.

හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස් මහතා කළැයි කියන කි‍්‍රයාවක් සම්බන්ධයෙන් විමසීම සඳහා මෛති‍්‍රපාල සිරිසේන මහතාව එම සාක්‍ෂි ලැයිස්තුවට ඇතුළත් කර තිබූ නමුත් ඔහුව කැඳවීමට අධිකරණය අවසර ලබානොදුන් අතර වික්ටර් අයිවන් මහතා අධිකරණය හමුවේ පෙනී සිට ඔහු විසින් රචනා කරනලද ‘නොනිමි අරගලය’ නමැති කෘතිය විත්තියේ සාක්‍ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට විත්තිය ඉල්ලා සිටියේය. විත්තිකාර රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් 2017.08.21 වැනිදා ප‍්‍රකාශ කරනා විට සේවයේ යෙදී සිටි විනිසුරුවරුන් ගැන එම කෘතියේ සඳහන්ව ඇත්නම් ඒවා සාක්‍ෂි ලෙස යොදා ගැනීමට පමණක් ඉඩදෙමින් එම කෘතිය ලකුණු කිරීමට අධිකරණය අවසර ලබාදුන්නේය.

අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් 2017 අගෝස්තු 21 වැනිදා වැරදීමකින් කළ ප‍්‍රකාශයක් නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ තමන්ට නඩු පැවරූ බව තමා හොඳාකාරවම දැනගෙන සිටියදීත් එම ප‍්‍රකාශය හා එම මතය ඉවත්කර නොගන්නා බවට 2018.03.23 වැනිදා උපරිමාධිකරණ සංකීර්ණය හමුවේදී තමා ප‍්‍රකාශ කළ බව වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා එම නඩුවේ සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය. අධිකරණය හොරුන් උත්තේජනය කරන බවට තමා එදින ප‍්‍රකාශ කරනු ලැබුවේ හිටපු විනිසුරුවරුන් සම්බන්ධයෙන් නොව වර්තමාන විනිසුරුවරුන් සම්බන්ධයෙන් බවට දැනුවත්ව සිටියදී නොවේදැයි විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා කළ ප‍්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් එහිදී පැවසූ වගඋත්තරකරු එම ප‍්‍රකාශය ද තමා ඉල්ලා අස්කර ගැනීමක් සිදුනොකළ බවද ප‍්‍රකාශ කළේය. එකී ප‍්‍රකාශය මගින් විනිසුරුවරුන් බහුතරයක් වශයෙන් සඳහන් කිරීමෙන් ගම්‍යවනුයේ සියයට 50 කට වැඩි විනිසුරුවරුන් ප‍්‍රමාණයක් බව පිළිගන්නේ දැයි එහිදී විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාගෙන් විමසා සිටි අතර වගඋත්තරකරු ඒ බව පිළිගත්තේය.

2017 අගෝස්තු 21 වැනිදා තමා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කරනවිට විනිසුරුවරුන් යන වචනය සිය මුවින් පිට වූ වහාම තමා එම වචනය නිවැරදි කිරීමට උත්සාහ කළ බවත් තමාට අවශය වූයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් නොව හිටපු අධිකරණ ඇමැතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කිරීමට බවත් වගඋත්තරකරු එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ තමා ඉල්ලා අස්කර ගනු නොලැබුයේ දැනුම් තේරුම් ඇති අවධියේ සිට හා දේශපාලනඥයකු වශයෙන් තමා ලබාගත් දැනුවත්භාවය අනුව එම ප‍්‍රකාශ අසත්‍යයක්ම නොවන බව අවබෝධ වූ නිසා වන්නේ යැයි වගඋත්තරකරු එහිදී ප‍්‍රකාශ කළේය. දණගසා වැඳීමට තරම් වූ ගෞරවයකින් කටයුතු කළ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් තමා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇතත් මාධ්‍ය මගින් විකාශනය කර ඇත්තේ තමන් විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ නරක ප‍්‍රකාශ මිස හොඳ ප‍්‍රකාශ නොවන්නේ යැයි ද විත්තිකාර රන්ජන් රාමනායක මහතා එහිදී ප‍්‍රකාශ ලබාදෙමින් ප‍්‍රකාශ කළේය.

හිටපු අගවිනිසුරුවරයකු ඇතුළු විනිසුරුවරුන්ගේ අයහපත් කි‍්‍රයා කලාප නිසා එවැනි ප‍්‍රකාශයක් කළ බව ඔබ කීවා නමුත් ඔබ සඳහන් කළ අගවිනිසුරුවරයා විශ‍්‍රාම ගියේ 2009 වසරේදී විනිසුරුවරුන් ලෙස සඳහන් කිරීමෙන් අදහස් වන්නේ වර්තමාන විනිසුරුවරුන් ගැන නොවන්නේ දැයි සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා එහිදී රන්ජන් රාමනායක මහතාගෙන් විමසා සිටියේය. මා විනිසුරුවරුන් ගැන ප‍්‍රකාශ කළ දේවල් අසත්‍යයක් නොවෙයි කියලා මට හිතුණා. ඇත්ත වශයෙන්ම ඒක මගේ පමණක් නොවෙයි සමස්ත ජනතාවගේම මතය බවයි පෙනෙන්නේ. එහිදී වගඋත්තරකරු ප‍්‍රකාශ කළේය. ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්තී‍්‍රවරුන් 225 දෙනා අතරින් 100 දෙනකුට මත්පැන් වෙළෙඳාම් කිරීමේ බලපත‍්‍ර ඇති බවත් මන්තී‍්‍රවරුන් 75 දෙනකු වැලි කැපීමේ හා ප‍්‍රවාහනය කිරීමේ බලපත‍්‍ර හිමිකරුවන් බවත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා 2019.08.28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී සාක්‍ෂි ලබාදෙමින් ප‍්‍රකාශ කළේය.

එකී පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 225 දෙනා අතර මිනී මැරුම් චෝදනා හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වූ පිරිසක් සිටින්නේ යැයිද එහිදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා එතනෝල් ජාවාරමට සම්බන්ධ මන්තී‍්‍රවරුන්ද පාර්ලිමේන්තුවේ ඇතැයිද ප‍්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට මසකට ලැබෙන රුපියල් 54,000ක දීමනාවට අමතරව මසකට රුපියල් ලක්‍ෂය බැගින් හිමිවන දීමනාව හෝ පාර්ලිමේන්තුවට සහභාගි වන දිනයකදී ගෙවනු ලබන රුපියල් 500 ක දීමනාව රුපියල් 2500 දක්වා ඉහළ දැමූ පසු වැඩිකළ රුපියල් 2000 ක මුදල් තමා ලබා නොගත් බවද එහිදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළ වගඋත්තරකරු අමාත්‍යවරයකුට නිල වශයෙන් හිමිවන රුපියල් කෝටි ගණනක් වටිනා බෙන්ස් රථ හේ බී.එම්.ඩබ්ලිව් වාහන කිසිම දිනක අමාත්‍යවරයකු ලෙස තමා භාවිත නොකළ බවත් ප‍්‍රකාශ කළේය.

එම නඩුවේ සාක්‍ෂි විභාගය පසුගිය වසරේ මැද භාගයේදී පමණ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල හා විත්තිය විසින් එතෙක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමේ හෝ වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා දින නියම කොට තිබූ නමුත් කොරෝනා වසංගත තත්ත්වය නිසා ඒ සඳහා නියම කළ දිනවල නඩුව කැඳවීමට නොහැකිවී තිබිණි. අවසන් වශයෙන් නඩුව කැඳවූ පසුගිය දෙසැම්බර් මස එකී කටයුත්ත සඳහා එම නඩුව පසුගිය 12 වැනිදා කැඳවීමට අධිකරණය විසින් දින නියම කර තිබිණි. ඒ අනුව පසුගිය 12 වැනිදා උදෑසන 9.45 ට පමණ නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර රන්ජන් රාමනායක විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පෙර නඩු දින කිහිපයේදීම ඔහුට අධිකරණ සංකීර්ණය තුළට හෝ අධිකරණ ශාලාවට ඇතුල්වීම වළක්වා තිබීම නිසා ඔහු අධිකරණ සංකීර්ණය අසල රැඳී සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අධිකරණ කාර්ය මණ්ඩලයේ සේවකයකු යොමුකර රන්ජන් රාමනායක මහතාව අධිකරණ ශාලාවට කැඳවීමට පියවර ගත් විනිසුරු මඬුල්ල එම නඩුවේ තීන්දුව විනාඩි 15 කින් නිකුත් කරන බව දෙපාර්ශ්වයට දැනුම්දී එතෙක් වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාව අධිකරණ ශාලාව තුළ රඳවාගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.

විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට ඇති බවට නිගමනය කළ සිසිර ද ආබෲ, විජිත් කේ. මලල්ගොඩ හා පී‍්‍රති පද්මන් සූර්සේන යන තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල බරපතළ වැඩසහිත වසර 4 ක සිරදඬුවම් නියම කළේය.

අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කර තිබූ එම ප‍්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් බව ඔහු එම නඩු විභාගයට මුහුණදී අධිකරණයෙන් පිටතට යන අවස්ථා කිහිපයකදීම ඒ සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ මගින් තහවුරුවන්නේ යැයි විවෘත අධිකරණය හමුවේදී තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා පෙන්වා දුන්නේය. එමගින් වගඋත්තරකරු ප‍්‍රකාශ කර ඇත්තේ වර්තමාන විනිසුරුවරුන් සම්බන්ධයෙන් නොවන බවට ඔහුගේ නීතිඥවරයා ප‍්‍රකාශ කර ඇතත් ඔහු කළ එම අපහාසාත්මක ප‍්‍රකාශය කිසිම ආකාරයකින් ඉල්ලා අස්කර ගැනීමක් සිදුනොකරන බවත් එම මතයේම තවදුරටත් සිටින බවත් වගඋත්තරකරු අවස්ථා කිහිපයකදීම මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවත් විනාඩි 35 කට ආසන්න කායක් තිස්සේ විවෘත අධිකරණය හමුවේදී කියවා ප‍්‍රකාශයට පත් කළ තීන්දුව මගින් අධිකරණය පෙන්වා දුන්නේය.

විත්තිකරුගේ එම ප‍්‍රකාශය පටිගත කළ රූපවාහිනි මාධ්‍යවේදීන්, ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් අධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂි මෙන්ම අධිකරණය හමුවේදී අවස්ථා ගණනාවකදීම ප‍්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශන අනුව ඔහු කළ අපහාසාත්මක ප‍්‍රකාශය තහවුරු වී ඇතැයි ද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය. 2006 වසරේ සිට සකී‍්‍රය දේශපාලනයේ යෙදෙමින් කැබිනට් නොවන අමාත්‍ය ධුර දරා ඇති විත්තිකරු ඔහු නියැළී සිටින දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පිරිසට අදාළ වූ දූෂිත බවේ සංකල්පය අධිකරණ විනිසුරුවරුන්ට සම්බන්ධ කොට ප‍්‍රකාශ කිරීම මගින් අධිකරණයට බලවත් අපහාසයක් සිදුවී ඇත්තා සේම එමඟින් විනිසුරුවරුන්ගේ ගෞරවයට බලවත් හානියක් සිදුවී ඇතැයි ද තී‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් පෙන්වා දුන්හ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර 2005 වසරේදී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට දෙවසරක සිරදඬුවම් නියම කිරීමෙන් වසර ගණනාවකට පසුව එකී චෝදනාවට ලක් වූ දෙවැනි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ලෙසින් අධිකරණ ඉතිහාසයට එක් වූ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන අධිකරණ භූමියෙන් පිටතට ගෙන යන අවස්ථාවේදී මාධ්‍ය හමුවේ සිදුකළ ප‍්‍රකාශ ද බැ?රුම් සහගතය.

තමන් අධිකරණ විනිසුවරුන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය තමන්ට දඬුවම් නියම කළ ආකාරයෙන් මෙන්ම නියම කළ දඬුවම් මගින්ම තහවුරුවන්නේ යැයි බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයේ සිටියදීත් ඔහු ප‍්‍රකාශ කළේය. සමහර දේශපාලනඥයන් මෙන් තමන් හෙරොයින් ජාවාරම් කිරීම හෝ එතනෝල් ජාවාරම් නොකළ බවත් රටේ දේපළ හෝ මුදල් සොරකම් නොකළ බවත් බන්ධනාගාර භාරයේ සිටියදීම ප‍්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා තමා කළ එකම වරද රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත ප‍්‍රකාශ කිරීම බව කීය. මිනීමරු පිල්ලේයාන් නිදහස් කරන විට තමන් වැනි සත්‍ය ප‍්‍රකාශ කරන පිරිසට සිරදඬුවම් නියම කිරීම රටේ අවාසනාවක් බව ද ප‍්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේදී රජය දුමින් ද සිල්වා වැනි මරණීය දණ්ඩන චෝදනාවලට ලක් වූ පිරිසද නිදහස් කරනු ඇතැයි ද ප‍්‍රකාශ කළේය. රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති දෙවන නඩුවත් තව නොබෝ දිනකින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී විභාගයට ගැනීමට නියමිතය. පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයකට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය මගින් රන්රජන් රාමනායක අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව නිරීක්‍ණය කළ හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ලක් කළ නියෝගය අනුව නීතිපතිවරයා රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාසකිරීමේ චෝදනා යටතේ දෙවන වරටත් නඩු පවරා තිබිණි.

පසුගිය 12 වැනිදා ප‍්‍රකාශයට පත්කළ පළමු නඩුවේ පැමිණිල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන විරාජ් දයාසේන මහතා මෙහෙය වූ අතර පසුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පි‍්‍රයන්ත නාවාන මහතාත් ඉන් අනතුරුව එකී තීන්දුව ප‍්‍රකාශයට පත්කර සිව් දිනකට පසුව වසර 32 ක නීතිපති දෙපාර්තමේන්තු රාජකාරියට සමුදී විශ‍්‍රාම ගත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතාත් මෙහෙය විය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සහර්ෂි හේරත් ජයවීර මහත්මිය ද එම ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන්ට සහය ලබාදෙමින් පෙනී සිටියාය.

නීතිඥ රසික දිසානායක මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ අතර භාෂණ පරිවර්ථක ආර්.එම්.එස්. බණ්ඩාර මහතා භාෂණ පරිවර්ථන කටයුතු සිදුකරමින් අධිකරණයට සහය විය.

ඒ. ජේ. ඒ. අබේනායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.