Jan
05
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධ කරමින් ඉදිරියේදී ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (NDBC) නමින් නව ආයතනයක් ස්ථාපනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් පැවසීය.
මෙම යෝජිත නව බැංකුව පිහිටුවීම සඳහා මහ බැංකුව රජය සමග සමීපව කටයුතු කරමින් පහසුකම් සැලසීම කරනු ලබන බවද “පෙර දැක්ම 2021’’ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය 2021 වසර වෙනුවෙන් එළිදැක්වීමේ අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
මෙම පියවර ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් බිහි කරනු ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2020 වර්ෂය කොරෝනා වසංගතය හේතුවෙන් අසීරු කාල සීමාවක් වූ නමුත් 2021 වර්ෂයේදී සැලසුම් සහිතව ආර්ථික අභියෝග ජය ගැනීමට කටයුතු කරන බවයි.
අන්තර්ජාලය ඔස්සේ පැවැති දේශනයකට එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසීය.
නයන තරංග ගමගේ