Dec
18
හෙල වෙදකමට ෆයිසර්ලා එපා. කාලි මෑණියන් බෞද්ද නොවෙයි
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කිසිවකුගේ හෝ අතකොළුවක් නොවිය යුතු බවත් හෙළ වෙදකමට ෆයිසර්ලා අවශ්‍ය නැති බවත් මහාචාර්ය නලින් සිල්වා මහතා සඳහන් කරයි.
ධම්මික බණ්ඩාර මහතාට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැති නමුත් ප‍්‍රසිද්දිය අවශ්‍ය වෙනත් අයකු සිටින බව පේන බවත් ඔහු කියා සිටියි.
තම සමාජ ජාලයේ තබා ඇති සටහනක් මගින් ඔහු මෙම අදහස් පළකර ඇත.
එකී සම්පූර්ණ සටහන මෙසේය.
හෙළ වෙදකමට ෆයිසර්ලා අවශ්‍ය නැහැඅද ලෝකයේ අධිපති චින්තනය බටහිර චින්තනයයි. අප එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා. එහි පෞද්ගලිකත්වය, වෙන්කිරීම, ඇරිස්ටෝටලීය න්‍යාය ආදිය අංග වෙනවා. ධනපති ක්‍රමය මෙන් ම බටහිර විද්‍යාව ද බිහි වන්නේ මේ චින්තනයෙහි. විදුසර කියවූ අය ඒ දන්නවා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමය සමහ ඔවුන්ගේ භාෂාවෙන් ම කියනවා නම් ඓන්ද්‍රීය ව බැඳිලා. ලංකාවේ අපටත් මේ චින්තනයෙන් මිදෙන එක ලෙහෙසි නැහැ.
අද ධම්මික වෙද මහතාටත් මේ චින්තනයේ අයකුගේ බලපෑමක් තියෙන බව පැහැදිලියි.එහෙත් එයට පළමුව මට අර ඔක්ස්ෆර්ඩ් එන්නත ගැනත් මෙරට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැනත් වචනයක් දෙකක් කියන්න තියෙනවා. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලයට අනුව එකී සංගමයේ නවින් ද සොයිසා කියා තියෙනවා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සොයා නොගත් ඖෂධයක් තමන්ට නිර්දේශ නොකළ හැකි බව. මෙහි තමන් කියන්නේ කවුදැයි පැහැදිලි නැහැ. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හා එහි සාමාජිකයන්ට ද නැත්නම් සියලු බටහිර වෙද මහතුනට ද? ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ අර ධම්මික වෙද මහතාගේ පැණිය ගැන යම් පරික්‍ෂාවක් කිරීමට බටහිර වෙද මහතුන්ගේ කමිටුවක් පත් කර ඇති නිසයි.ඒ අතර ඒ නවීන් ද සොයිසා වෙද මහතා මුළු ලෝකය ම මවිත කරවන ප්‍රකාශයක් ද කර තියෙනවා. ඔහුට අනුව බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතයෙන් මෙරට කොවිඩ් රෝගීන්ගෙන් සියයට හැත්තෑ දෙකක පමණ ප්‍රමාණයක් සුව කර තිබෙනවා. ඔහු අර මෙරට හේතුවාදයේ බාප්පා (පියා ඒබ්‍රහම් කොවූර්) වූ කාලෝ ෆොන්සේකාගේ ගෝලයකු ද දන්නේ නැහැ. කාලෝට අනුව ඉබේ හොඳ වෙන ලෙඩ තියෙනවා, ඒ ලෙඩ තමයි ආයුර්වේදයෙන් හොඳ වෙන්නෙ. ගෝලයන් ගුරුවරයාට එහා යන්න ඕන කියා මතයක් තියෙනවා. ඒ මතය බටහිර විද්‍යාත්මක පරීක්‍ෂණයකට භාජනය කර ඇත් දැයි මා දන්නේ නැහැ.
ඒ කෙසේ වෙතත් නවීන් ද සොයිසාගේ ප්‍රකාශය වැදගත්. ඔහු කියන්නේ බටහිර වෙදකමෙන් හොඳ වෙන්නෙ ඉබේ හොඳ වෙන ලෙඩ කියල ද?එහෙම නැත්තන් ඔහුට හා ඔහුගේ මිතුරනට බටහිර වෙදකමට අනුව කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් ලැබිල ද? එය ඔවුන්ගේ නිර්ණායක අනුව සාක්‍ෂි මත තහවුරු වූ එකක් ද? ඒ එසේ නම් එය වහා ම ලොවට හෙළි කළ යුතුයි. ලක්‍ෂ ගණනකගේ ජීවිත බේරා ගන්න පුළුවන් වේවි. සමහර විට අර ඩයිනමයිට් නොබෙල්ගෙ තෑග්ග ගන්නත් බැරි වෙන එකක් නැහැ. ජනමාධ්‍යවේදීන් ලංකාවට නොබෙල් තෑග්ග හිමි වෙන එකට කැමති නැද්ද? මේ වැදගත් ප්‍රවෘත්තියට මීට වඩා ප්‍රචාරයක් දෙන්න ඕන.
මා දන්නවා දැන් පඬි නැට්ටකු අහන්න පුළුවන් ඒ ප්‍රතිකාරය ගැන ලියවුණු පර්යෙෂණ පත්‍රිකා තියෙනව ද කියල. ඒ අයගෙන් අහන්න ඔවුන් පත්‍රිකා කීයක් පළ කරල තියෙනවා ද ඒ පත්‍රිකාවල බලපෑම කොපමණ ද කියල.ඔය ප්‍රතිකාරය තියෙනව නම් අර ඔක්ස්ෆර්ඩ් එන්නතටත් තියෙන වැදගත් කම අඩු වේවි. අප වගේ රටවලට නම් එන්නත යොදා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය ශිතකරණ ආදිය කොහෙද තියෙන්නෙ. ඒවත් ඉතින් බටහිර රටවලින් ම ගන්න එපායැ. අපට විදේශ විනිමය තියෙනව ද වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා.
මේ එන්නත ගැන මෙරට පඬි නැට්ටන් මහා උනන්දුවක් දක්වනවා. කවුරුන්වත් කියන්නෙ නැහැ එන්නත විදගෙන කොවිඩ් රෝගීන් අතර සතියක් දෙකක් ජීවත්වෙන්න වගේ කතා. ඔවුන්ට අනුව පැණියට නම් එහෙම කරන්න ඕන. ඒ පරික්‍ෂාව සඳහා. පැණිය පරීක්‍ෂා කළ යුතුයි එන්නතට එය අවශ්‍ය නැහැ. පඬි නැට්ටන්ට පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් එන්නත් කරන දැනුම අනුව එහෙමයි සිද්ධ වෙන්න ඕන. පඬි නැට්ටන් කියාවි එන්නත පරීක්‍ෂා කරලයි එවල තියෙන්නෙ කියා.ඔක්ස්ෆර්ඩ් සරසවිය ඔය පර්යේෂණ කරල තියෙන්නෙ ඇස්ට්‍ර සෙනෙකා සමාගමත් එක්ක. ඒ සමාගම එංගලන්ත ස්වීඩන් සමාගමක්. එහි ප්‍රධාන කාර්යාල තියෙන්නෙ කේම්බ්‍රිජ්හි.
අප දන්නෙ නැහැ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍ර සෙනෙකා ගිිවිසුම මොකක් ද කියා. ගිවිසුමක් නැහැ කියල හිතනවා ද? ඉන්දු ලංකා ගිවිසුම දින කිහිපයකින් අහෝසි වුණත් ඔය ගිවිසුම් කාලයක් වලංගුයි. අඩු ගාණෙ පර්යේෂණයට ගිය වියදමවත් හොයා ගන්න ඕන. ෆයිසර් කියන්නෙ එක්සත් රාජ්‍යවල ඖෂධ නිෂ්පාදන දැවැන්තයෙක්. ඔවුන් වෙස්සන්තරලා නො වෙයි. බටහිර විද්‍යාව හා ධනපති ක්‍රමය එකිනෙක අත්වැල් බැඳගන්නෙ ඔවුන් එකම චින්තනයක බිහිවෙලා තියෙන බැවින්. බටහිර විද්‍යාවෙ පර්යේෂණවලට වියදම් කරන්නෙ ධනපති සමාගම් හා ඇතැම් විට හමුදා. මේ එකට බැඳුණු පද්ධතියක්. බටහිර දැනුම වමාරන වමාලට ඒක සම්ම ජාතියෙ තේරෙන එකක් නැහැ.ඔක්ස්ෆර්ඩ් පර්යේෂණවලට ෆයිසර් හා තරගයෙ බලපැම් තිබුණෙ ම නැද්ද? ඔය පර්යේෂණ අවුරුද්දකටත් අඩු කාලයක දී කළෙ බටහිර විද්‍යාවෙ සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය භාවිතා කරල ද? මා ඒ පරයේෂණ ක්‍රමය අගය කරනවා නොවෙයි. මා අහන්නෙ ඔවුන් තම ක්‍රමය කෙතරම් දුරට අනුගමනය කළා ද යන්නයි.
එන්නත ඉක්මණින් වෙළෙඳපොළට දැමීමට ඒ ඒ පර්යේෂකයන් අතර තරගයක් තිබුණා. ඒ තරගය කොයි නීති රීති අනුව ද පැවැත්තුවෙ. නඩුත් හමුාදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියල ගැමියන් කියන්නෙ මේ චින්තන ආධිපත්‍යය ඉවෙන් මෙන් දැන ගෙන වෙන්න ඕන.අවාසනාවකට මේ බටහිර චින්තනය ලංකාවෙත් තියෙනවා. ධම්මික වෙද මහතා ඒ චින්තනයෙ කියල මා කියන්නෙ නැහැ. එහෙත් බෙර ගහල හක් පිඹල පැණිය දළදා වහන්සේට හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම පිටුපස ඒ චින්තනයෙ කවුරු හරි ඉන්නචා. ඔහුගෙ අරමුණ මොකක් ද කියන එක පැහැදිලි නැහැ. ඔහු එක්කෝ පැණිය විකිණීමේ ලංකා ෆයිසර් වෙන්න පුළුවන්. නැත්නම් සම්පූර්ණ දේ ම විනාශ කිරීමට උත්සාහ කරන විරුද්ධවාදියකු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අයකු වෙන්න පුළුවන්.
පැණිය දළදා වහන්සේට හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම ප්‍රශ්නයක් නොවෙයි. එය කළ යුතුයි. එහෙත් එය කළ යුතුව තිබුණේ ගැමියකු ලෙස. දේශපාලනඥයන් මෙන් අණබෙර ගසා පුද පූජා පැවැත්විය යුතු නැහැ. ධම්මික වෙද මහතාට ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ. ප්‍රසිද්ධිය අවශ්‍ය වෙනත් අයකු ඉන්න බව පේනවා. අප එවැන්නන්ගෙන් පරෙස්සම් විය යුතුයි.
සාමාන්‍ය විධියට ජයසිරි මහා බෝධීන් වහන්සේට පැණිය පූජා කරන්න ගියා නම් අටමස්ථානාධිපති හිමියන් සමග ඇති වූ සිද්ධිය වළක්වා ගන්න තිබුණා.අප උන්වහන්සේගේ ගුණ ගායනය කරනවා නො වෙයි. අගුණ කියනවා ද නො වෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට යවන්නන් ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්. අන්‍යාගමික කතුන් යැවූ අවස්ථා ද තියෙනවා.
කාලි අම්මා බෞද්ධ නොවන බව කවුරුත් දන්නවා. ලක්‍ෂමී කියන්නෙත් ඇයටයි. ඒ දෙවඟනගේ යහපත් ස්වරූපය ලක්‍ෂමී. සැර ස්වරූපය කාලි අම්මා. ඒ දෙවඟන සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී තියෙනවා, විෂ්ණු දෙවියන් මෙන්. එහෙත් අපේ කාලි අම්මා හරි විෂ්ණු හරි හින්දු කාලි අම්මා හරි විෂ්ණු හරි නො වෙයි. විෂ්ණුට අවතාර දහයක් තියෙන බව හින්දු සංස්කෘතියේ කියනවා. ඒ දශ අවතාරත් වෙනස් වෙනවා. ඇතැමුනට අනුව බුදුහාමුදුරුවොත් විෂ්ණුගෙ අවතාරයක්. එහෙත් බෞද්ධයන් කීයටවත් එසේ කියන්නෙ නැහැ.
සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට අවශෝෂණය වීමේ දී කිරීමේ දී වෙනස්කම් සිදු වෙනවා.කාලි අම්මා හින්දු සංස්කෘතියේ කෙසේ වෙතත් සිංහල බෞද්ධ සංස්කෘතියේ කාගෙත් අම්මා නො වෙයි. ධම්මික වෙද මහතාට එවැනි දේ කියා දීමට පැණිය විිකිණීමට හරි පැණිය බාල්දු කිරීමට හරි උත්සාහ ගන්නන්ට අවශ්‍ය නැහැ. ධම්මික වෙද මහතා කාගෙවත් අතකොළුවක් නොවිය යුතුයි. හෙළ වෙදකමට ෆයිසර්ලා අවශ්‍ය නැහැ.
– නලින් ද සිල්වා