Dec 14

මල් කැකුළු දෙකක් සහ කලලයක් වැනසූ මෝටර් සයිකල් මාරයා නිසා සැගව ගිය කතාව


වාසනා රංග මොරටුව එගොඩ වෙන්න ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 27 කි. ඔහු විවාහ වූයේ දැනට අවුරුදු නවයකට පමණ පෙරය. ඒ නදීෂා මල්කාන්ති සමඟයි. ඇයද එම ප‍්‍රදේශයේම පදිංචි තරුණියකි.

දෙදෙනාම විවාහවූයේ අඩු වයසින්ය. එම නිසා ඔවුනට නිසි අධ්‍යාපනයක් ලැබීමට නොහැකි වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඔවුනට හරිහමන් රැකියාවක් ද සොයා ගැනීමට නොහැකි වීමයි. එම නිසා රංග අතට අසුවෙන දෙයක් කරමින් එදාවේල සොයා ගැනීමට උත්සාහ කළේය.

විවාහ වී වසරක් ගතවූ පසු ඔවුන්ට දියණියක් ලැබුණේය. කැදැල්ල තුළ අඩුපාඩුකම් තිබුණත් ඔවුහු ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළහ. එලෙස වසර ගණනක් ගත වූ පසු නැවත වරක් ඇය ගැබ් ගත්තාය. එවරද ඇයට දියණියක් ලැබුණාය.

ඒ අනුව එන්න එන්නම ඔවුන්ගේ කැදැල්ල තුළ වියදම් සහ ප‍්‍රශ්න වැඩි විය. ඒ මොනදේ තිබුණත් දරු දෙදෙනාට කිසිම අඩුවක් නොකර රැක බලා ගැනීමට ඔවුන් දෙදෙනා කටයුතු කළහ. හැකි සෑම සම්පතක්ම දරු දෙදෙනාට ඔවුන් නොඅඩුව ලබා දුන්නේය.

කාලය එලෙසින් ගෙවී ගියේය. යළිත් වරක් ඇය ගැබ් ගත්තාය. ඇයගේ කුසට මාස හතක් පමණ වූවාය. ඒ අනුව නොබෝ දිනයකින් තවත් දරුවකු බිහිකිරීමට ඇය සූදානම් වී සිටියාය. ඒ සඳහා ඇයට අවශ්‍ය දෑ හැකි අයුරින් ලබා දීමට රංග කටයුතු කළේය.

දිනය පසුගිය 4 වැනිදාය. වේලාව සවස හත පසුවී තිබුණි. නදීෂාගේ දෙමවුපියන් පදිංචි වී සිටියේ ඇයගේ නිවස ඉදිරියේ පිහිටි මාර්ගයෙන් එපිටට වන්නයි.

ඇයට මහගෙදරට යෑමේ වුවමනාවක් ඇති වූවාය. ඒ බව ඇය තම ස්වාමිපුරුෂයාට මෙලෙස පැවසුවාය.

‘‘රංග මං පොඞ්ඩක් අම්මා බලලා එන්නද?”

‘‘ඇයි මේ එකපාරටම.”

‘‘නැහැ මට නිකන් හිතුනා.”

‘‘ළමයි දෙන්නට මොකද කරන්නේ.”

‘‘දෙන්නවම මම එක්ක යන්න ද?”

‘‘ඔයාට පුළුවන්ද මේ ඉන්න තත්ත්වෙත් එක්ක. අනික දැන් හතත් පහුවෙලා.”

‘‘පිස්සුද අනේ මේ දෙන්නාව මට බලාගන්න පුළුවන්. ඊටත් වඩා මේ දෙන්න කැමතියි එහෙ යන්න.”

‘‘දැන් ඉන්න තත්ත්වෙ මතක තියාගෙන පරිස්සමෙන් යන්න.”

‘‘එහෙනම් රංග අපි ගිහිල්ල එන්නම්.”

තම ස්වාමිපුරුෂයාට එලෙස පවසමින් ඇය දරු දෙදෙනා සමඟ මහ ගෙදර බලා යෑමට නිවසින් පිට වූවා. එම නිවස පිහිටා තිබුණේ වැඩි ඈතක නොව මාර්ගයෙන් අනෙක් පසට වෙන්නයි.

ලහිරු ප‍්‍රනාන්දු විසි හැවිරිදි තරුණයෙකි. පදිංචිය මොරටුව ප‍්‍රදේශයේය. පාසල් අධ්‍යාපනය නිමා කර සිටි ඔහු නිවසට වී කාලය ගත කළේය.

එලෙසම ඔහු විනෝදාංශය ලෙස සිදු කළේ යතුරුපැදිය ධාවනය කිරීමයි. දෙමවුපියන් විසින් රැගෙන දුන් යතුරු පැදිය ඔහු ධාවනය කරන්නේ අධික වේගයෙන් පිස්සෙක් මෙන්ය. ඔහුගේ ෆේස්බුක් ගිණුමට ගියොත් එය හොඳින් දැක බලා ගත හැකිය. එයට අමතරව තම පෙම්වතියවද යතුරුපැදිය පිටුපස දමා සිදුකරන පිස්සු වැඩ කිහිපයක වීඩියෝ පටද ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර තිබුණි.

රාත‍්‍රී කාලයේ තවත් එවැනිම මී හරක් රැලක් සමග නීති විරෝධී ආකාරයට අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කිරීම ඔහුගේ තවත් එක් විනෝදාංශයක් විය. ඒ අතර මුදල්වලට යතුරුපැදි ධාවනය කරන කල්ලි සමග මොවුන් සබඳකම් පවත්වන්නෙකි.

දැනට සති දෙකකට පමණ ඉහතදී පානදුර ප‍්‍රදේශයේදී මොහුව පොලිස් අත්අඩංගුවට පත්වුණි. ඒ තවත් පිරිසක් සමග රාත‍්‍රී කාලයේදී අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීම හේතුවෙනි. ලෙස අත්අඩංගුවට පත්වූ ලහිරුව අධිකරණයට පවා ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා දඩ නියම කරමින් අවවාද කළේ යළි මෙවැනි ක‍්‍රියා සිදු නොකරන ලෙසයි.

එලෙස නීතියෙන් දඬුවම් ලැබුවත් ලහිරු සත පහකටවත් එය ගණන් ගත්තේ නැත. යළිත් සුපුරුදු පරිදි අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීමට පටන් ගත්තේය. සමහර අවස්ථාවල ඔහුගේ පෙම්වතිය ද එයට එක් වූවේ තරුණයෙකු මෙන්ය.

ගැබිනි මාතාවක් වූ නදීෂා තම දරු දෙදෙනා ද සමඟ සුදු ඉරෙන් පාර මාරු වීමට සැරසුනහ. ඒ සමග කොහේදෝ ගමනක් ගිය ලහිරු අධික වේගයෙන් එම මාර්ගයේ යතුරු පැදිය ධාවනය කළේය.

ගතවූයේ සුළු මොහොතකි. සුදු ඉරෙන් පාර මාරු වන නදීෂා ඇතුළු දරු දෙදෙනා ලහිරැ දුටුවේ සුදු ඉරට අඩි කිහිපයක් වන්නට මත්තෙන්ය. අධික වේගයෙන් පැමිණි නිසා ඔහුට කිසිවක් කරගත නොහැකි විය. එම නිසා මෙම පාපතරයා ගැබිනි මාතාව සහ අහිංසක දරු දෙදෙනා යට කරගෙන ගියේය.

රාත‍්‍රි ආහාර වේල ලබා ගනිමින් සිටි රංගට එක්වරම විශාල ශබ්දයක් සමග කෑගැසීමක් ඇසුණි. ක්ෂණිකයෙන් ඔහුගේ මතකයට නැගුනේ තම දරු දෙදෙනා සහ බිරිඳවයි. ඒ ඔවුන් පාර මාරුවීමට ගියේ එම මොහොතේ නිසාය.

දෑතේ තිබූ කෑම පිඟාන පසෙකට විසිකර දැමූ ඔහු මාර්ගය දෙසට දිව ගියේ ය. එහිදී ඔහු දුටු දෙයින් දැස් අදහා ගැනීමට නොහැකි විය. දරු දෙදෙනා සහ තම බිරිඳ ලේ විලක් මැද මාර්ගයේ තැන් තැන් වල වැටී සිටියේය.

සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ එම දර්ශන දැකීමෙන් ඔහුගේ සිහිය විකල් විය. ඒ සමගම එතැනට එක් රොක් වුණ පිරිස අනතුරට ලක් වූ දරු දෙදෙනා සහ ගැබිනි මාතාව පානදුර රෝහලට ඇතුළත් කළහ. එලෙස ඇතුළත් කරනවිටත් අවුරුදු හතක් සහ අවුරුද්දක් වයසැති සිඟිති දරු දෙදෙනා සිය අවසන් හුස්ම පොදද වාතලයට මුසු කරමින් සුරංගනා ලෝකය බලා ගොස් තිබුණි.

අනතුරට ලක් වූ ගැබිනි මව ද සිටියේ ඉතා අසාධ්‍ය තත්ත්වයේය. ඇයගේ කුසේ තිබූ දරු ගැබ ද විනාශ වී තිබුණි. මේ ලිපිය ලියන මොහොත වන විටත් වනවිටත් ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින්ය.

ඒ සමඟම මෙම දරුණු ගණයේ අනතුර සිදුකළ තරුණයාව ප‍්‍රදේශවාසීන් පොලිසියට බාර දුන්නේ ඔහුට පහර කිහිපයක්ද එල්ල කරමින් ය. පොලිසිය පරීක්ෂණ සිදු කර යළි මෙම සැකකාර තරුණයාව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ ලබන 18 වැනිදා දක්වා මෙම සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

රංග කොතරම් දුප්පත් දුප්පත් තරුණයෙකුද කියා කිවහොත් අනතුරෙන් මියගිය දරු දෙදෙනාගේ නිසල දේහයන් ඔහුගේ නිවසේ තබා ගැනීමටවත් ඉඩ නොමැති විය. එම නිසා එම දේහයන් තබා තිබුණේ තම මවගේ නිවස තුළයි. ඒ සමගම රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන එම තරුණිය සිතින් අනේක වාරයක් මැරි මැරී ඉපදෙනවා ඇත. ඒ තම ශරීරයේ වේදනාවට වඩා දරු දුක දරා ගැනීමට නොහැකිවයි.

රටේ සමස්ත ජනතාවම පවා තවමත් පවසන්නේ ‘‘පාපතරයෙක් සිදු කළ අපරාධයක මහතක තරම” කියාය.

මෙම අනතුර සිදු කර සුළු මොහොතකට පසු විවිධ මාධ්‍ය ඔස්සේ එය රට පුරා ප‍්‍රචලිත විය. එහිදී බහුතරයක් මිනිස්සු පැවසුවේ මෙවැනි අසහනකාරී සහ මිනිස්සුන්ට කරදර වන ආකාරයෙන් යතුරු පැදි පදින බහුතරයක් මෙරට සිටින බවයි. ඒ සමගම පොලිසියේ ඇසද ඒ කෙරෙහි යොමුවුනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දින කිහිපයක් යන්නට මත්තෙන් එලෙස මාර්ග වල අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන කල්ලි කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් ළඟ තිබී එන්ජින් ධාරිතාව වැඩි, අධික ශබ්දයෙන් යුතු නාදරටා සවිකර තිබූ සහ විවිධාකාරයේ විදුලි බල්බ සවි කර තිබූ යතුරුපැදි කීපයක්ද සොයා ගැනිණි.

මාර්ග වල අධික වේගයෙන් මී හරකුන් මෙන් යතුරුපැදි ධාවනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ කාලය දැන් පැමිණ ඇත. එම නිසා මෙවැනි පිරිස් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙනවා සේම ඔවුන්ගේ මනස ද සෑදිය යුතුය. එසේ නොමැති වුවහොත් ලහිරුලා වැනි නීතිය සත පහකටවත් ගණන් ගන්නේ නැති පිරිස් තවත් බිහි වනු ඇත. එසේ වුවහොත් වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක ජනතාවටයි.

ගයාන් සමරසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.