Nov 01

අපිට වෙන්නෙ වහ කන්න - බලයා කිලෝව රුපියල් 140 යි. ලින්නා කිලෝව 60 යි


කොරෝනාවේ උපත ගැන අදටත් අභිරහසකි. එහෙත් කොරෝනා මිනිසුන් අතරට පැමිණියේ චීනයේ වූහාන් නගරයේ මත්ස්‍ය වෙළෙඳසලකින් බව ලෝකයේ ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. මේ වන විට මෙරට ගම්, නියම්ගම් පුරා කොරෝනා දුවමින් සිටින්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳුන්ගේ කර මතිනි. දැන් කොරෝනා වසංගතය මෙරට සමාජ ව්‍යාප්තියක අබියසටම පැමිණ ඇති බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. උද්ගතව ඇති තත්ත්වය අතිශය භයානකය. මේ වන විට මෙරට බොහෝ ප‍්‍රදේශවලින් කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබෙන බවද සැබෑය. පෑලියගොඩ මාළු වෙළෙඳපොළ මෙරට කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන බව ද රහසක් නොවේ.

‘‘හැමදාම පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නෙ පාන්දර 1.30 ට විතර. දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුඩුව දක්වා ධීවර වරායන්වල මාළු පෑලියගොඩට එනවා. රට මැද වැව් ආශ‍්‍රිත ධීවරයන් වැව් මාළු අරගෙන එනවා. පුත්තලම, හලාවත ඇතුළු ප‍්‍රදේශවල ඉස්සො ෆාම්වලින් ඉස්සො ගේනවා. බස්නාහිර පළාතේ නගරවල මාළු වෙළෙන්දො වගේම නුවරඑළිය, වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල, බිබිල, මොනරාගල, රත්නපුරය, කුරුණෑගල ලංකාව පුරාම නගරවල මාළු වෙළෙන්දො දිනපතා මාළු රැගෙන යන්න පෑලියගොඩට එනවා. පාන්දර හය, හත වෙනකොට මාළු තොග වෙළෙඳාම අවසාන වෙනවා. ඊට පස්සෙ හවස් වෙනකම් සිල්ලර වෙළඳාම කෙරෙනවා. දවසකට විශාල පිරිසක් මාළු වෙළෙඳපොළේ ගනුදෙනු කරනවා. 

පෑලියගොඩ වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෝ, සේවකයො උණ, කැස්ස, ඇඟපත අමාරුවට වේදනා නාශක බොන්න පටන්ගෙන දවස් කිහිපයකට පස්සෙ 18 වැනිදා තමයි අහඹු ලෙස පී. සී. ආර්. පරීක්‍ෂණ කළේ. එකසිය පස් දෙනෙක් පී. සී. ආර්. කරලා හතළිස් නවදෙනෙක් පොසිටිව් වුණා. මේ වෙනකොට මාළු කඬේම අටසීයකට වැඩි ප‍්‍රමාණයකට කොරෝනා වැළඳිලා කියලා හඳුනාගෙන තියෙනවා. ඔවුන් අතරින් තව කී දාහකට මේ වෛරසය පැතිර ගිහින් ද කියලා හිතා ගන්නවත් බෑ...’’ එසේ පවසා සිටින්නේ පෑලියගොඩ මාළු වෙළෙඳසලේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි මහතාය. ඔහුගේ කතාව දෙසවනේ රැව්පිළිරැව් දෙන විට සිත භීතියෙන් වෙළිණි. අශ්වයා ඉස්තාලය බිඳගෙනම ගොස්ය.

පසුගිය මාර්තු මාසයේදී, මහ මැතිවරණයට පෙර ප‍්‍රථම වතාවට කොරෝනා රෝගීන් මෙරටින් වාර්තාවීමත් සමග මුළු රටම ලොක්ඩවුන් කරමින් මනා සෞඛ්‍ය පාලනයකින් යුක්තව කොරෝනා වසංගතය පාලනය කළේය. පාර්ලිමේන්තුව විසුරුවා තිබුණු පසුබිමක මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා නොවෙන තැනටම වසංගත තත්ත්වය පාලනය කළේය. පසුගිය මාසයේදී දෙවැනි කොරෝනා රැල්ල මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් කර්මාන්ත ශාලාවෙන් පොකුරු ගැසෙන විට මෙරට ශක්තිමත් ආණ්ඩුවක් පැවතිණි. සුළු බලයක් සහිත නොව, තුනෙන් දෙකකට වැඩි ජනතා බලයක් සහිත ආණ්ඩුවක් තිබේ. එහෙත් දෙවැනි කොරෝනා රැල්ල උපන්ගෙයින් පිටතට පැමිණීම පාලනය කරගැනීමට එම ආණ්ඩුවට නොහැකි විය.

‘‘පෑලියගොඩ වෙළෙඳපොළට කොරෝනා ආවේ මිනුවන්ගොඩ පොකුරෙන්. කාගෙන්, කාට ප‍්‍රථමයෙන් වැළඳුණා ද කියලා කියන්නත් බෑ. එක සැරයට පොකුරක් වාර්තා වුණා. මේ වසංගත තත්ත්වයේදී අපේ මිනිස්සුත් හරියට පරිස්සම් වුණේ නෑ. ප‍්‍රථම කොරෝනා රැල්ලේදී වගේ මෙවර රටේ කිසිම කෙනෙක් මේ පැතිර යන වසංගත තත්ත්වයේ භායානකකම තේරුම් ගෙන නෑ. මේ වෙනකොට මුළු රටම අවදානමකට වැටිලා තියෙන්නෙ ඒ නිසයි. පෑලියගොඩ මාළු වෙළෙඳපොළ ආශ‍්‍රිත වෙළෙඳසල්වල වේදනා නාශක පෙති, පානයන් විශාල වශයෙන් අලෙවි වන බව දැනගත්තම මමයි, ලේකම්තුමයි කතා කරලා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළා. ඊට පස්සෙ තමයි මාළු කඬේ සේවකයන්, වෙළෙන්දන් අහඹු ලෙස පී. සී. ආර්. පරීක්‍ෂණ කළේ. 18 වැනිදා උදේ දහයට විතර තමයි පී. සී. ආර්. පරීක්‍ෂණ කරන්න පටන් ගත්තේ. එතකොට ඉන්නෙ මාළු කඬේ සේවකයන් සහ සුළු ව්‍යාපාරිකයන් පිරිසක් විතරයි. පාන්දර 1.30 හේ ඉඳලා 8 වෙනකොට මාළු තොග වෙළෙඳාම ඉවරයි. ගැනුම්කරුවො, විකුණුම්කරුවො ගනුදෙනු කරගෙන පිට වෙලා. ඒ අය රට පුරාම විසිරිලා ගියා...’’

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සභාපතිවරයාගේ කතාවෙන් තේරුම් යන්නේ මේ වන විට කොරෝනා වෛරසය කරදිය වළල්ල පුරාවටත්, රට මැදටත් ගොස් අවසාන බවය. එමෙන්ම මෙරට පුරා ජීවත් වන ධීවර පවුල් ලක්‍ෂ දෙකකට වැඩිය. මෙරට ධීවර කර්මාන්තයෙන් යැපෙන සෘජු මෙන්ම වක‍්‍ර ශ‍්‍රමිකයන් සහ ඔවුන්ගෙන් යැපෙන සංඛ්‍යාව ලක්‍ෂ විසිපහකට වැඩිය. මෙරට ආර්ථිකයට ධීවර කර්මාන්තයෙන් ලබාදෙන දායකත්වය අති විශාලය. පෑලියගොඩ මාළු කඩෙන් කොරෝනා වෛරසය පැතිරී යෑමත් සමඟ මේ වන විට ධීවර කර්මාන්තයම අකර්මන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙන බවද වාර්තා වේ.

‘‘මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුර පටන් ගත්ත දවසෙ ඉඳලා මීගමුව, හලාවත බහුදින ධීවර යාත‍්‍රා මුහුදට යෑම අඩු වුණා. මුහුදු ගිහින් එන බෝට්ටුවලින් මාළු බා ගත්තෙත් උපරිම ආරක්‍ෂිතව. මුහුදේදී කොරෝනා හැදෙන්නෙ නෑ. ඒත් අපේ මිනිස්සු ආරක්‍ෂා වුණා. පෑලියගොඩ මාළු කඩෙන් කොරෝනා රෝගීන් හඳුනාගැනීමත් එක්ක මුහුදු ගිහින් ආපු බෝට්ටුවල මාළු බා ගන්න විදිහක් නැතිව බෝට්ටුකාරයො ලත වෙනවා. රුපියල් ලක්‍ෂ විස්ස, තිහ වියදම් කරගෙන මුහුදු ගිහින් මාළු අල්ලගෙන ඇවිත් අලෙවි කරන්න මිලක් නැති වුණොත් බෝට්ටුකාරයන්ට වෙන්න මුහුදට පනින්න. ඒ වගේම කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු වගේ එදා වේල හොයාගන්න මුහුදු යන ධීවරයො ඉන්නවා. රටේ මිනිස්සු සති දෙක, තුනක් මාළු නොකා හිටියොත් දවස ගානෙ මුහුදු ගිහින් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ට වෙන්නෙ වහ කන්න...’’ සමස්ත ධීවර ප‍්‍රජාව වෙනුවෙන් එසේ හඬ අවදි කළේ සුජිත් සමන්තය. ඔහු සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපතිය.

‘‘ඉදිරි මාසවලදී හොඳට මාළු අහු වෙනවා. මාදැල වට කරනවා. තෙප්පම මුහුදට යනවා. පොඩි බෝට්ටුව මුහුදට යනවා. වළාල කාලයට ධීවර කර්මාන්තයේ වයසක මනුස්සයත් මුහුදට යනවා. ධීවර කර්මාන්තයේ වසන්තය වළාල කාලය. ඒ කාලය කොරෝනාට බිලි වුණොත් ආයෙත් කාලයකට ධීවරයන්ට නැඟිට ගන්න බැරි වෙනවා. මේ වෙනකොටත් මාළු, කරවල මිල හොඳටම බැහැලා. ලින්නා කිලෝව රුපියල් හැටයි, හැත්තෑවයි. බලයා කිලෝව එකසිය හතළිහයි. කරවල කිලෝව රුපියල් හැත්තෑවට, අසූවට අඩු වෙලා. ඒ මිලට මාළු, කරවල දීලා වියදම්වත් පියවගන්න බෑ. සුනාමියෙන් නන්නත්තාර වුණෙත් ධීවර ප‍්‍රජාව. දැන් කොරෝනා වසංගයත් ගෙලටියනයක් වෙලා තියෙන්නෙ ධීවරයන්ට...

‘‘මාළුවලින් කොරෝනා වෛරසය ආසාදනය වන බවට සමාජය තුළ අනියත බියක් ඇති කරපු නිසා තමයි මිනිස්සු මාළු කන්නෙ නැතිව ගියේ. ඒක අමූලික බොරුවක්. වෙන රටවල මිනිස්සු සෝස් වර්ග එක්ක මාළු අමුවෙන් කෑවට, අපේ රටේ මිනිස්සු මාළු කෑමට ගන්නෙ හොඳට දෙතුන් වතාවක් වතුරෙන් හෝදලා, මිරිස් තුනපහ දාලා තම්බලා. ගැඹුරු තෙලේ බැඳලා. ඒ නිසා මාළුවල කොරෝනාට ජීවත් වෙන්න බෑ. මාළුන්ගෙන් කොරෝනා හැදෙන්නෙ නෑ කියලා අපිට විශ්වාසයි. එහෙම වුණා නම් මේ වෙනකොට ධීවර ගම්මානවල සේරම මිනිස්සුන්ට කොරෝනා. අදටත් අපේ මිනිස්සු මාළු කනවා. කිසිම කෙනෙකුට කොරෝනා ආසාදනය වෙලා නම් නෑ. දැන් මා ළඟ ධීවරයෝ කිහිපදෙනෙක් ඉන්නවා. මේ කොල්ලො කියන කතාවට චුට්ටක් කන් දීලා බලන්න...’‘ සුජිත් සමන්ත දුරකථන ඇමතුමට වෙනත් කෙනෙක් සම්බන්ධ කළේය. ඔහු සුරේෂ්ය. බහුදින යාත‍්‍රා හිමියෙකි. මේ ඔහු කියන කතාවය.

‘‘මාළු දිහා නොබලන තත්ත්වයට රටේ ජනතාව තුළ බියක් ඇති කෙරෙව්වා. සමහර වෛද්‍යවරුත් කිව්වා මාළුවලින් කොරෝනා වෛරසය ආසාදනය වෙන්න ඉඩ තියෙනවා කියලා. මස් කඩකාරයො ඒක වාසියට අරගෙන සමාජ මාධ්‍ය හරහා මාළු භීතියක් පැතිරෙව්වා. මිනිස්සු තියා පූසෙක්වත් මාළු දිහා බලන්නෙ නැති තැනට පත් වුණා. සමහර මිනිස්සු මාළු ලෑලි දිහා බලන්නෙ ත‍්‍රස්තවාදියෙක් දිහා බලන විදිහට. මාස ගණන් මුහුදෙ ඉඳලා නෙළාගෙන ආපු මාළු අස්වැන්න ධීවර වරායන්වල බෝට්ටුවල තැම්බෙනවා. ඒ මාළු කරවලවලටත් විකුණගන්න මිලක් නෑ. ධීවර වරායන්වල ගේට්ටු අරින්නෙත් නෑ. ධීවර සංස්ථාව කියනවා මාළු ගන්නවා කියලා. ඒ වුණාට අපේ මාළු තවම බෝට්ටුවල අයිස් වෙනවා. ලක්‍ෂ විස්ස, විසිපහ වියදම් කරලා මුහුදු ගිහින් මාළු අල්ලගෙන ඇවිත් කර ගන්න දෙයක් නෑ. බෝට්ටුවේ ගිය මිනිස්සුන්ට පඩි ගෙවා ගන්න විදිහක් නෑ. ඒ දුප්පත් මිනිස්සුන්ට ගෙදරට හාල්, තුනපහ ටික ගන්නවත් දැන් සල්ලි නෑ. අපේ ප‍්‍රශ්න කතා කරන්නත් කෙනෙක් නෑ. අපේ සංගම්වල නමට නිලධාරීන් ඉන්නවා. අපි ඒ සංගම්වලට සාමාජික මුදල් ගෙවනවා. ඒත් අපි අසරණ වෙච්ච වෙලාවට කතා කරන්න කිසිම නිලධාරියෙක් නෑ...’’

සුරේෂ්ගේ කතාව සැබෑය. සමාජ මාධ්‍ය හරහා මාළු සම්බන්ධයෙන් අනියත බියක් පතුරුවමින් සිටී. මාළු මිලට ගැනීමේදී සිදු වන
ගනුදෙනුවේදී අවදානමක් ඇති බව සැබෑය. මාළුන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය සිදු වේද, යන්න මෙරට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර සමාජගත කළ යුතුය. එමෙන්ම පෑලියගොඩින් මතු වූ කොවිඞ් රෝගීන් සමඟ මෙරට ධීවර කර්මාන්තයට අත් වීමට යන ඉරණම ගැන මෙරට මාළු අපනයන කර්මාන්තයේ නියැළී සිටින කර්නල් වීරතුංග මහතාද අපට කරුණු කාරණා පැහැදිලි කළේය.

‘‘කොවිඞ් දෙවැනි රැල්ලකට අපි සූදානම් වෙලා සිටියා නම් අද අපේ රටට මෙවැනි ඉරණමක් අත් වෙන්නෙ නෑ. ඒ වගේම මෙරට පළමු කොවිඞ් රැල්ලේදී සෞඛ්‍ය නිලධාරීන්, බලධාරීන් එක මිටට එකතු වෙලා රට වහලා දැඩි තීරණ අරගෙන පාලනය කළා. මේ සැරේ ඒ කිසිම දෙයක් නෑ. රටේ ජනතාවත් මේ වසංගතයෙන් වැළකෙන්න කිසිම සූදානමක් නැති බවයි පේන්නෙ. ඒ වගේම චීනයේ වූහාන්වලින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත කාලෙත් මස්, මාළු කන්න එපා කියලා මත පැතිරුණා. පෑලියගොඩ මාළු මාර්කට් එකෙන් කොරෝනා රෝගීන් හමුවීමත් සමඟ මාළුවලින් කොරෝනා බෝ වෙනවා කියලා කතා පැතිරෙනවා. මුහුණු පොතේ පූසො කියනවා ‘අනේ මාළු නම් එපා’ කියලා. 

මේවා ඇත්තටම විහිළු කතා. කොරෝනා ව්‍යාප්තියටත් වඩා වේගයෙන් පැතිරෙන මේ කතා ගැන වහාම විද්‍යාත්මක පරීක්‍ෂණයක් කර, එහි ප‍්‍රතිඵල සමාජගත කිරීමට අදාළ නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතුයි. තවදුරටත් මේ කතා සමාජය තුළ පැතිරෙන්න ඉඩ හැරීම මෙරට ධීවර කර්මාන්තයට විශාල හානියක්. අපනයන වෙළෙඳපොළටත් බලපෑමක් වෙනවා...’’ පැතිර යන වසංගත තත්ත්වය තුළ මිනිසුන් භීතියට පත්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් මෙවැනි ව්‍යසනකාරී පසුබිමක භීතිය වපුරමින් බොරදියේ මාළු බෑමට ප‍්‍රයත්න දරන කාලකණ්ණි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය.

මිනුවන්ගොඩ කොවිඞ් පොකුර විසිරී ගියේ සමීපතයන් ඇසුරෙහිය. එහෙත් පෑලියගොඩ කොවිඞ් පොකුර මාළු ව්‍යාපාරිකයන් මාර්ගයෙන් රට පුරා විවිධ ප‍්‍රදේශවලට විසිරී යන්නාහ. එහෙයින් මේ වන විට අපේ රට පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයක බව
කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

චීනයේ ඇඟලූම් කර්මාන්තශාලාවක සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟ මිලියන හතරකට ආසන්න පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කර ඇති බව පසුගිය දිනක එරටින් වාර්තා විය. කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳි චීනය එහි ඇති බරපතළකම හොඳින් දැන සිටී. එක් රෝගියෙක් හඳුනාගැනීමත් සමඟ පුද්ගලයන් මිලියන හතරක් පී. සී. ආර්. පරීක්‍ෂණයට භාජන කරන්නේ එහෙයිනි. එමෙන්ම ලෝකය පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණ පිරිස් ද මිය යන ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු ද අනතුරු ඇඟවීම් කරන්නාහ. එහෙත් කොරෝනා වසංගතය වේගයෙන් පැතිර යන, දිනෙන් දින කොරෝනා මරණ වාර්තා වන අපේ රටේ මිනිස්සුන්ට තවමත් කොරෝනා වසංගතයේ බරපතළකම නොතේරීම ජාතියේ කරුමයකි.

දැන් අපට ඉතිරි වී ඇත්තේ කොරෝනා මාරයාගේ දෑස්වලින් වහන් වී සිටීමට පරිස්සම්වීම පමණි. තම ජීවිතය තමා විසින්ම සුරක්‍ෂිත කරගැනීම පමණි. ඊට වඩා කියන්නට ඇත්තේ අපට අත් වූ ඉරණම ගැන සිහිපත් වන විට හදවත හිරි වැටී දෑස්වලින් කඳුළු පනින බවය...
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.