Sep 16

තරුණියට ගිනි තැබු සිද්ධියේ තවත් තොරතුරු රැසක් එළියට


කෑගල්ල අලපලාවල නිලපලාගම්මන ප්‍රදේශයේ නිවෙසක වහලයේ උළු කැටයක් ඉවත් කර කාමරයක ඇඳක් මතට පෙට්රල් වක් කර ගිනි තැබීමෙන් තරුණියක් බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට පෙරේදා (15දා) අලුයම ඇතුළත් කර ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ නිලපලාගම්මන ප්‍රදේශයේ පදිංචි අවිවාහක 20 හැවිරිදි තරුණියකි.

මෙම තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී මාතලේ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තරුණයා විසින් අලපලාවල පෙම්වතිය ඔහුගේ නිවෙසට රැගෙන ගොස් තිබිණි. පසුව තරුණ යුවළ විවාහ නොවී මංගල ඡායාරූපයක්ද ගෙන ඇති බව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව කෑගල්ල පොලිසිය කියයි.

පසුව තරුණිය පෙම්වතාගේ නිවෙසේ සිටියදී මාතලේ ප්‍රදේශයේ තවත් තරුණයකු සමඟ සම්බන්ධතාවක් ඇති කරගෙන එම තරුණයාගේ ලොකු අම්මා පදිංචි දඹුල්ල, සීගිරිය ප්‍රදේශයේ නිවෙසකට තරුණිය රැගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි. පසුව මාතලේ පෙම්වතා සිය පෙම්වතිය දඹුල්ල, සීගිරිය ප්‍රදේශයේ සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන එම නිවෙසට ගොස් තරුණියට පිහියෙන් ඇන බරපතළ තුවාලද සිදු කර තිබිණි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය තරමක් සුවය ලබා සිටියදී ඇයගේ මවුපියන් විසින් ඇය යළි නිලපලාගම්මන නිවෙසට රැගෙන විත් ඇති බවත් පොලිසිය කියයි.

අසනීප තත්ත්වය තරමක් සුව වූ තරුණිය පසුව බීඩි කර්මාන්තයේ නියැළී සිට ඇත. පසුගියදා 14දා සවස තරුණිය බීඩි ඔතා බීඩි වට්ටියද ඇඳ අසල තබා ⁣රාත්‍රි නින්දට ගොස් තිබේ.

නිවෙසේ සිට ඇත්තේ තරුණියගේ මවුපියන් හා බාල සහෝදරයා පමණි. සැකකරු පෙරේදා (15දා) අලුයම තරුණිය නිදාගෙන සිටි කාමරයේ ඇඳට ඉහළින් වහලයේ උළු කැටයක් ඉවත් කර පෙට්රල් හලා පන්දමක් දල්වා පන්දම තරුණිය නිදා සිටි කාමරයේ ඇඳට දමා ඇති බවත් පොලිසිය කියයි.

එම ගින්නෙන් තරුණිය පිලිස්සුම් තුවාල ලබා ඇති අතර ඇය නිදා සිටි ඇඳ සම්පූර්ණයෙන්ම පිලිස්සී ඇති බව පොලිසිය කියයි. නිවෙසේ කාමරයක නිදා සිටි පියා ගින්න කුමක් දැයි සොයා ගත නොහැකිව මිදුලට පැමිණෙන අවස්ථාවේදී දියණියගේ පෙම්වතා දුවන අයුරු දැක තිබිණි.

පසුව තරුණියගේ බාල සහෝදරයා පියාට දන්වා ඇත්තේ අක්කා ඇඳේ පිලිස්සෙමින් සිටින බවය. පසුව පියා, මව, බාල සහෝදරයා පැමිණ පිලිස්සෙමින් සිටි තරුණියට වතුර ගසා ඇවිළෙමින් සිටි තරුණිය උස්සාගෙන තරමක් දුරට බේරාගෙන අසල්වැසි නිවෙසක ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

පසුව බරපතළ පිලිස්සුම් තුවාල ලබා ඇති තරුණිය පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් කියා ඇත්තේ පාන්දර යම් පුද්ගලයෙක් වහලයේ ඇවිදින ශබ්දයක් ඇසුණු බවත් පසුව උළු කැටයක් ඉවත් කර පෙට්රල් දමා පන්දමක් වහලයේ සිට ඇඳට දැමූ බවත්ය.

පරීක්ෂණ පැවැත්වූ පොලිසිය කියා සිටියේ යම් පුද්ගලයෙක් තරුණියගේ නිවෙසට පැමිණ නිවෙසේ විදුලිය විසන්ධි කර නිවෙසින් පිටත තිබූ යතුරුපැදි දෙකක වයර් ගලවා දමා ලීයක් උළු වහලයට තබා වහලයට නැඟ බූලියකින් පෙට්රල් හලා ගිනි තබා පලා ගොස් ඇති බවත්ය. මෙම අනතුරින් පියාගේ හා තරුණියගේ බාල සහෝදරයාගේ දෑත් පිලිස්සී ඇති බව පොලිසිය කියයි.

පසුව පොලිසිය සැකකාර තරුණයාගේ මාතලේ පදිංචි මවට දුරකථනයට ඇමැතුමක් ගෙන දරුවා සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ පුතා පසුගියදා (14දා) කොළඹ යන බව පවසා නිවෙසින් පිටව ගිය බවත්ය. මෙම සැකකරු කලක් යුද හමුදාවේ සේවය කොට රාජකාරිවලින් නීතියෙන් ඉවත් කර ඇති බවත් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අනුරපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තවදුරටත් විමර්ශන සිදු කරයි.

චමින්ද ජයලත් - මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.