Sep
26
මගේ වචන චක්‍රලේඛයක් ලෙස සලකන්න, නැති නම් දැඩි පියවර
ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටලු සවිඤාණිකව අවබෝධ කරගෙන විසඳුම් දීම, ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ සෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” යනුවෙන් නිලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කළේය.
හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ. “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතා ගැටලුවලට සවන් දුන්නේය.
මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඔවුහු සඳහන් කළහ.
අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුළත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග කරනු ලැබීය.
සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. සති කිහිපයක් තුළ සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කෙරිණි.
වසර ගණනාවකට පෙර ගම්බිම් අතහැර ගියද, සාකච්ඡාවට පැමිණ සිටි ගම්මු ජනාධිපතිතුමා ගත් තීරණ නිසා සිය ගම්බිම්වල ජීවත්වීමට නැවත අවස්ථාව උදා වූ බව ප්‍රීති ඝෝෂා කරමින් පැවැසූහ.
පහන් විජේසේකර - මව්බිම