Sep
11
15 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සහකාර විදුහල්පති
උපකාරක පන්ති පවත්වන අතරවාරයේ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු ඊයේ (9) පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් පානදුර දකුණ පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව කරන ලද දීර්ඝ විමර්ශනයකදී මේ බව හෙළිවූ බව පොලිසිය පවසයි.
පානදුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම දරුවා සැකකාර විදුහල්පතිවරයාගේ නිවස ආසන්නයේ ම පදිංචිව සිටින අතර, දරුවා සිංහල විෂයට මදක් දුර්වල වීම හේතුවෙන් එම දරුවා සැකකාර විදුල්හාල්පතිවරයා වෙත යොමු කර තිබේ.
සෙනසුරාද දිනවලදී විදුහල්පතිවරයාගේ නිවසට මෙම දරුවා පමණක් සිංහල විෂය ඉගෙනීම සඳහා ගොස් තිබුණු අතර ඉකුත් ජූලි මාසයේදී වරින් වර සැකකාර සහකාර විදුහල්පතිවරයා මෙම දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
පසුව මෙම දරුවාට සෑම දිනක ම නිවසට පැමිණෙන ලෙස සැකකරු පවසා ඇත බව දරුවාගේ ප්‍රකාශයකින් අනාරවරණය වී තිබේ.
ඒ අනුව, අගෝස්තු මාසයේදී වින්දිත දරුවා අදාළ උපකාරක පන්තිය සඳහා එම විදුහල්පතිවරයාගේ නිවසට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, දෙමාපියන් ඒ පිළිබඳව විමසීමේදී මෙම ලිංගික අපයෝජනය පිළිබඳව අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
පසුව, දරුවාගේ මව සහ ඇයගේ සහෝදරයා සැකකරුගේ නිවස ඉදිරිපිටට ගොස් ආවේගශීලිව හැසිරී සැකකරුට කම්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර සැකකරුගේ බිරිඳ බැගෑපත්ව ඔවුන් නිවාස තුළට කැඳවා රුපියල් ලක්ෂයක මුදලක් දී මෙය රහසක් වශයෙන් තබා ගන්නා ලස ආයාචනය කර ඇති බව දරුවාගේ මවගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබේ.
මුදල් දීම හේතුවෙන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකළ බව දරුවාගේ මවගේ ප්‍රකාශයෙන් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
56 හැවිරිදි සැකකරුගේ බිරිඳ පානදුර ප්‍රදේශයේ ම විදුහලක ගුරුවරියක බවත්, ඔවුන්ට ද පිරිමි දරුවෙකු සිටින බවත් අනාවරණය වී තිබේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
- මව්බිම