Aug 28

සිනමාවේ පිම්මක් පැන්න අමන්දාගේ රහස් මාට්ටු


අමන්දා හා හා පුරා කියලා දායක වුණු පළමුවැනි චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්. ෂෙලීනා එක්ක සිනමාවට මුහුවෙන්න ලැබුණු අවස්ථාව ගැන මුලින්ම කතා කරමු?

ෂෙලීනා කියන්නේ මම රංගනයට සම්බන්ධ  වුණු පළමුවැනි චිත්‍රපටය. එය මේ 21 වැනිදා ඉඳන් තිරගත වෙන්න පටන් ගත්තා. පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ. ඔවුන්ට මාව හඳුන්වලා දුන්නේ දිනෙත් ද සිල්වා. ඉතින් පළමුවැනි චිත්‍රපටය පවුලක් වගේ එකතුවෙලා නිර්මාණය කළා. අපි හරිම ආසාවෙන් විනෝදෙන් කළ නිර්මාණයක් මේක.

අමන්දා මේ රංගන අවස්ථාව එක පයින් භාරගත්තද? 

මට චිත්‍රපටයේ තිරපිටපත කියවන්න දුන්නා. මේ වගේ කුතුහලය පිරුණු චිත්‍රපට බලන්න මම කැමැතියි. ඉතින් ඒ නිසා මම චිත්‍රපටයට එකතු වෙන්න කැමැති වුණා. රහස් පරීක්ෂක කතාවක් සහ ආදර කතාවක් විධියට වෙනස් හැඩයක් මේ තුළ තිබ්බ නිසා ආසාවෙන් චිත්‍රපටයට එකතු වුණා.

ප්‍රධාන චරිතයකින් සිනමා ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ගැනත් සතුටු ඇති?

ඔව්. ගොඩක් සතුටුයි. මම හරි වාසනාවන්තයි කියලා මම හිතනවා. මම සාමාන්‍යයෙන් ආස නම් තමයි වැඩක් භාරගන්නේ. ඉතින් හොඳ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම සතුටක්. ඒ වගේම මේ චිත්‍රපටය දමිළ භාෂාවෙනුත් නිර්මාණය කළා. ඒ වෙනුවෙන් දමිළ හඬ කැවීම් ශිල්පීන් එකතු කරගත්තා. දමිළ භාෂාවෙනුත් හඬ කවලා තියෙන නිසා සිංහල, දමිළ හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න අවකාශය තියෙනවා.

රංගනයේදී අමන්දා මුලින්ම පය තිබ්බේ පුංචි තිරයට නේද?

ඔව්. මම මුලින්ම එකතු වුණේ කැලුම් පාලිත මහීරත්න අධ්‍යක්ෂණය කළ ‘විසුල අහස යට’ නිර්මාණයට. එහිත් මම  කළේ ප්‍රධාන චරිතයක්. ඒක මගේ රංගන ජීවිතේ හොඳ පිවිසුමක්. තවත් ලස්සන නාට්‍යයක් කරන්න පටන් ගත්තා. නමුත් ඒක මඟ නතර වුණා.

රංගනයට එන්න අවස්ථාව ලැබිලත් ඔබ නිර්මාණ ගොඩක පේන්න නැත්තේ තේරීම් නිසාද?

මට වැඩ හරියට එනවා කියලා මම ලොකුවට කියන්නේ නැහැ. නමුත් මට වැඩවලට ආරාධනා ලැබෙනවා. හැබැයි මම හරියට තෝරනවා. යම් නිර්මාණයකට සම්බන්ධ වෙන්න නම් ඒ ගැන මට ආසාවක් හිතෙන්න ඕනේ. මගේ හිතට සතුටු නිර්මාණයක් මම කරනවා. හොඳ වැඩක් ලැබුණේ නැත්නම් මම නොකර ඉන්නවා. ඒක මගේ ආඩම්බරකමක් නෙමෙයි. හිත සතුටු දෙයක් කළොත් එය ප්‍රේක්ෂකයන්ටත් විඳින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

නිරූපණයට නම් ඔබ හුරුපුරුදුයි. රංගනයේ අපි ඔබව දකින්නේ කලාතුරකින්. නමුත් ඔබට රංගනය වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවාද?

මගේ අඩුපාඩු ඇති. මොකද මම රංගන ක්ෂේත්‍රයට අලුත්, අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි මම කැමැති. චිත්‍රපටය බලපු අය නම් කිව්වා මම හොඳට චරිතය කරලා තියෙනවා කියලා. මම රංගනයට සාධාරණයක් කරනවද කියන දේ තීරණය කරන්න ප්‍රේක්ෂකයන්ට බාරයි.

ෂෙලීනා චිත්‍රපටයෙදි එකට රඟපාපු ප්‍රවීණ සහ ඔබේ පරපුරේ ශිල්පීන්ගෙන් හොඳ සහායක් ඔබට ලැබුණාද?

ඔව්. අනුජ් අයියා, දිනෙත් අයියා, නිරූපණ කටයුතු කරන කාලේ ඉඳන් මට හමුවුණු අය. යාළුවෝ නිසා එයාලා කොහොමත් මට හොඳ සහායක් දුන්නා. ඒ වගේම මේ චිත්‍රපටයෙදි මගේ අම්මා වුණේ වීනා ජයකොඩි මහත්මිය. තාත්තා වුණේ ජීවන් කුමාරතුංග මහත්මයා. ඔවුන් මම අලුත් කියලා පැත්තකට කළේ නැහැ. එයාලාගෙන් හොඳ සහායක් ලැබුණු නිසා අමාරු වැඩක් කරන්නේ කියලා හිතන්නේ නැතිව සැහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන් වුණා.

රංගනයෙදි ඔබට අභියෝගයක් වුණු දේවල් තියෙනවද?

මම පොඩි කාලේ ඉඳන් ඉදිරියට ගිහින් සින්දුවක් කියන්න, කතාවක් කරන්න පවා ලැජ්ජයි. මම කැලුම් පාලිත මහීරත්න මහත්මයාගේ නිර්මාණයකින් එළියට ආපු නිසා හොඳ ගුරුහරුකම් ලැබුණු නිසා මට රංගනයට බයක් දැනුණේ නැහැ. චිත්‍රපටයෙදී රඟපානවට වඩා හඬ කැවීම් කරද්දි අමාරුයි. මට චිත්‍රපටයෙදී ගොඩක් කෑගහන්න තිබ්බා. කොහොම හරි ඒ අභියෝගයට මම මුහුණදුන්නා. දැන් චිත්‍රපටය බලද්දි සතුටක් දැනෙනවා.

බොහෝ අය රංගනයට එන්න නිරූපණය පාලමක් කරගන්නවා. අමන්දාටත් රංගනයට එන්න හීනයක් තිබ්බද?

මට කවදාවත් රංගනයට එන්න හීනයක් තිබ්බේ නැහැ. රඟපෑම පැත්තෙන් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. මගේ මාමා ප්‍රියන්ත විජේකෝන් නිරූපණ කටයුතු කළ නිසා ඒවා දැකලා නිරූපණ ශිල්පිනියක් වෙන්න ආසාවක් ආවා. මම රොසෑන් ඩයස්ගෙන් නිරූපණය ගැන ඉගෙනගත්තා. බ්‍රයන්ව හම්බවුණේ ඊට පස්සේ. මට හොඳම අය මුණගැහුණු නිසා නිරූපණ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න පුළුවන් වුණා. රංගනයටත් ආරාධනා ලැබුණාම එයත් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ලැබෙන ප්‍රතිචාර එක්ක රංගනය තෝරාගැනීම ගැනත් සතුටුයි.

සිනමාවේ දිගටම රැඳෙන්න අදහසක් තියෙනවද?

හොඳ දෙයක් ලැබුණොත් ආසාවෙන් කරනවා. මම දෙයක් භාරගත්තොත් ඒ දේ කැපවීමෙන් කරනවා. හිතට කැමැත්තක් ඇති නොවන දෙයක් නම් නොකර ඉන්නවා.

අමන්දා රංගනයට සම්බන්ධ වෙනවට සැමියා කැමැතිද?

එයා කවදාවත් මට කිසිම දෙයක් කරන්න එපා කියලා නෑ. මම තෝරාගෙන හරි දේ කරනවා කියලා එයා දන්නවා. එයා මට කරන්න එපා කියන එක දෙයයි තියෙන්නේ. ඒ මගේ කොණ්ඩේ කපන්න එපා කියන එක. වීඩියෝ කෝල් එකක් ගත්තත් ‘කෝ කොණ්ඩේ, කොණ්ඩේ තව වවන්න’ කියලා තමයි කියන්නේ. එයා වගේම එයාගේ පවුලේ අයත් මට ගොඩක් ආදරෙයි. මට ඔවුන් නිදහස දීලා තියෙනවා. ඉතින් මට නිදහස දීලා මම කරන දේවල් අගය කරන පවුලක් මට ලැබුණු එක ගැනත් මට සතුටුයි.

අමන්දා ලංකාවේ ඉඳිද්දි සැමියා ඉන්නේ පිටරට. දෙන්නා එක තැනකට වෙන්නේ කවද්ද?

ඉක්මනට අපි දෙන්නා එක තැනකට වෙයි. මම එයා ළඟට යන්න ඉන්නේ. සැමියා ළඟට ගිහින් සතුටින් ඉන්න එක තමයි ඊළඟ බලාපොරොත්තුව.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයේ, රංගනයේ හදාගත්ත තැන අතහරින්න දුකක් නැද්ද?

හොඳ වැඩක් ලැබුණොත් මාව ඒ වැඩේට ඕනේ කිව්වොත් මම ලංකාවට ඇවිත් ඒක කරලා යාවි. අපි හොඳ පවුල් ජීවිතයක් තියාගන්න ඕනේ. ඒ නිසා පවුලට මුල්තැන දෙන්න සිද්ධ වෙනවා. සැමියා සහ එයාගේ පවුලේ අය මට හැම දෙයටම නිදහස දීලා තිබ්බ නිසා පවුල් ජීවිතය වෙනුවෙන් මගේ යුතුකමත් මම කරන්න ඕනේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.