Jul 04

ආයුධ ගොඩ ගහගෙන ලේ ඉව අල්ලන කංජිපානි - තාරක පාතාල යුද්ධය


අවසන් වූයේ බිහිසුණු සතියකි.  මත්ද්‍රව්‍ය හා අවි ආයුධවලින් පත්තර මුල්පිටු පිරවූ සතියකි.  ශ්‍රී ලංකාවද චිකාගෝවක් බවට මොහොතකට පෙරළුෑ සතියකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මත් කුඩු ව්‍යාපාරිකයන් රටවැසියන් ත්‍රාසයට පත් කරද්දී, පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ අවි ආයුධ ගබඩාවේ වැටලීම රටවැසියා පුදුම කරවන්නට සමත් විය.

පළමුව සොයා ගැනෙන්නේ ආයුධ 12ක තොගයකි. එහි ටී - 56 අවි 11ක් හා ටී - 81 වර්ගයේ අවි එකක් තිබිණි. මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන පොට්ට කපිල නමැත්තා විසින් හෙළි කළ තොරතුරු මත විශේෂ කාර්ය බළකාය විසින් මෙම මුල් වැටලීම සිදු කර තිබේ. පොට්ට කපිලට මෙකී ආයුධ එවා ඇත්තේ ඔහුගේ පාතාල මිතුරකු වූ කහතුඩුවේ ගගන නමැත්තාය. පොට්ට කපිල සම්බන්ධ ආසන්නතම අපරාධ සිදුවීම වන්නේ, ඔහු මාතර නගරයේ සිදුවූ නිලේකා රන් භාණ්ඩ මංකොල්ලයේ පාර්ශ්වයක් වීමය. අදාළ මංකොල්ලය මෙහෙය වූයේ කොස්ගොඩ තාරකය. මංකොල්ලයට පෙර කුලියට නතර වී සිටි නවාතැනේ සිට මංකොල්ලයට යෑමට අවශ්‍ය රථ සැපයූයේ පොට්ට කපිලය. එකී චෝදනාවට අදාළව පොට්ට කපිල අත්අඩංගුවට පත් වුණි. ඉන් අනතුරුව ඇප ලබා පැමිණ සිටියදී ඔහුට ඇමැතුමක් එන්නේ කහතුඩුවේ ගගනගෙනි.

ගගනගේ සම්පූර්ණ නම වන්නේ විරිත්තමුල්ල ගමගේ ගගන චින්තකය. ඔහු සිටින්නේද දැනට බන්ධනාගාරගතවය. ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ පන්නිපිටිය දෙපානම අරලිය උයනේදී 2019 වසරේ පෙබරවාරි මස 21 වැනිදා යතුරුපැදියකින් පැමිණ ගිනි අවියකින් පපුවට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියකි. එලෙස ඝාතනයට ලක් වූයේ කොටහේන පදිංචි මනෝජ් සුදර්ශන නමැති 25 හැවිරිදි  අයෙකි. මෙකී ඝාතනයද කොස්ගොඩ තාරකගේ නියෝගයක් පරිදි සිදුව ඇතැයි කියවේ. එනම්, ගගන යනු කොස්ගොඩ තාරක වෙනුවෙන් සිපිරිගත වූවෙකි. එහෙව් ගගනගෙන් ලැබුණ දුරකථන ඇමැතුමක් මත පොට්ට කපිල විසින් මෙකී ආයුධ තමන් භාරයට ගෙන ඒවා හෝමාගම පිටිපන පස්මහල් වෙළෙඳසලක බිම් මහලේ සඟවා තබා ඇත. අදාළ වෙළෙඳසලේ හිමිකරු වන කෞශල්‍ය නමැත්තා එකී මුල් අත්අඩංගුවට ගැනීමේදී කියා සිටියේ ආයුධ සඟවා තැබුවේ තමන්ට පොට්ට කපිල විසින් සිදුකළ මරණ තර්ජන නිසා බවය. නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එය වෙනස් විය.

කෞශල්‍යගේ ව්‍යාපාරික ස්ථානයේ තිබී සොයා ගත් සජීවී අවි 12න් නතර වන්නට පොලිසිය සූදානම් වූයේ නැත. අදාළ මෙහෙයුම සිදු කළ, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මෙහෙයවන විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණ තොරතුරුවලට අනුව අවි 19ක් පමණ මෙලෙස තිබිය යුතුය. ඉතිරි ආයුධවලට සිදුවූයේ කුමක්ද යන්න ගැටලුවක් විය. ඒවා මෙතැනින් අතුරුදන්ව ඇති නම්, ඒවා සාමාන්‍ය සමාජයේ සඟවා ඇති නම්, කුමන හෝ අවස්ථාවක ඒවා එළියට පැමිණිය හැකිය. එබැවින් ඒවා සොයා එතැනින් එහාට විමර්ශන ආරම්භ විය.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, බාහිර සබඳතා අනුව, විශේෂයෙන්ම දුරකථන ඇමතුම් විශ්ලේෂණය අනුව රාජ්‍ය බුද්ධි සේවයටත් හෙළිවන්නේ කෞශල්‍ය විසින් නිතර දෙවේලේ එක්තරා දුරකථන අංකයකට අමතා ඇති බවය. එම අංකය කාගේද, කොහේද කියා සොයා බැලීමේදී, එය කෞශල්‍ය හා සමීප සබඳතා පවත්වන 32 හැවිරිදි කාන්තාවකට අයත් බව හෙළිවේ. එසේම, එකී කාන්තාවද මුල් ආයුධ 12 හමුවූ පිටිපනට ආසන්න ප්‍රදේශයේම නිවෙසක පදිංචිව සිටින බවද හෙළි වේ. ඒ අනුව හෝමාගම ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා වහාම අදාළ නිවෙස පරීක්ෂා කරන්නට පිරිස් යොමු කරයි. එහිදීද, අදාළ නිවෙසේ රහසේ සඟවා තිබියදී තවත් ආයුධ රැසක් සොයාගැනීමට හැකිවේ. එහි තිබී ගේ‍රනේඩ්  බෝම්බ 07ක්, රිපීටර් ගිනි අවියක් ඇතුළු තවත් අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට හැකි විය. නිවෙසේ සිටි කෞශල්‍යගේ සමීපතම කාන්තාවද පොලිස් අත්අඩංගුවට පත් වේ.

ආයුධ දාමය එතැනින් අවසන් වන්නේද නැත. කෞෂල්‍යගේ අනියම් බිරිය වන අත්අඩංගුවට පත්වූ නයනි විවේකා නම් 32 හැවිරිදි කාන්තාව විසින් ලබාදෙන පාපෝච්චාරණය අනුව අතුරුගිරිය ප්‍රදේශයේදී සුරේෂ් නමැත්තකු සතුව තිබියදී අතුරුදන් වූ එක් ටී - 56 අවියක් හමුවිය. එකී සුරේෂ් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පිහිටි, කෞශල්‍ය මින් පෙර පදිංචිව  සිටියා යැයි කියවෙන නිවෙසක සිවිලිමේ සඟවා තිබියදී තවත් ගේ‍රනේඩ්  බෝම්බ 04ක්, පිස්තෝලයක්, ගල්කටස් තුවක්කුවක්, රිපීටර් ගිනිඅවි උණ්ඩ තොගයක්, අත් විලංගුවක්, එයාර් රයිෆල් අවියක්, ජීව උණ්ඩ 600ක්, ඩෙටනේටර් 02ක් ආදී තොගයක් හමුවිය. එයත් සමඟ මුල් ගබඩාවේ තිබිය යුතු අවි 13ක් සොයාගෙන තිබිණි. නමුත් තවත් 5ක් සොයා ගැනීමට තිබේ. ඒ අනුව හබරකඩ - මුල්ලේගම ප්‍රදේශයෙන් තවත් එක් ටී - 56 ආයුධයක් සොයාගැනුණි. කෞශල්‍යගේ සාගර ට්‍රේඩර්ස් පස් මහල් වෙළෙඳසල ගොඩ නඟන්නටද ඔහුට මුදල් ලැබුණේ කෙසේද යන්නද විමර්ශනයට හේතු කාරණා වී ඇත. විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයෙන් අදාළ පරීක්ෂණ කටයුතු දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. සතිය අවසන් වෙද්දී ආයුධ ගබඩාවේ කතාව නතර වී තිබුණේ මෙතැනය.

කොස්ගොඩ තාරක විසින් මෙකී ආයුධ රැස් කළ බවත්, ඊට ප්‍රධාන හේතුව කංජිපානි ඉම්රාන් ඝාතනය කිරීමට බවත් ආරක්ෂක අංශ විසින් පැහැදිලි කරගෙන තිබේ. කොස්ගොඩ තාරකගේ ඉතිහාසයේ තාරකට සිටිනා බන්ධු - වෛරය වන්නේ කොස්ගොඩ සුජීය.

උසස් පෙළ ගණිත අංශයෙන් සමත් වූ තාරක පාතාලයට යන තැනට කටයුතු කරන්නේද කොස්ගොඩ සුජීය. ඒ තාරකගේ ඥාතියකු ඝාතනය කොට, ඉන් අනතුරුව ගමෙන් පැන ගොස් කුරුණෑගල සැඟව සිටි තාරකව ඝාතනය කරන්නට එළවා යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි. අවසානයේ තමා මරන්නට එන පිරිසගෙන් බේරීමට ගමට ආ තාරක තම පවුලේ අයවලුන් ඝාතනය කළ තැනැත්තාගේ පවුලටද රි - ටර්න් එක දුන්නේය. තාරකගේ නැඟණියද ඉන්ජිනේරුවරියකි. අධ්‍යාපනයෙන් ඉහළට යන්නට සිටි තාරකද ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වී, වතුරුවිල ඔහුගේ ගමේ කුඩා ඇඟලුම් කම්හලක් කරගෙන සිටි අයෙකි. සුජී ඇතුළු පිරිසගේ මරණ වරෙන්තුවෙන් බේරෙන්නට තාරකටද අවසානයේ පාතාලයට සම්බන්ධ වන්නට සිදුවිය.

“පොලිසිය මොනව හරි කළා නම් එදා කතාව වෙනස් වෙන්න තිබුණා. දැන් ඒවා කතා කරලා වැඩක් නෑ. ආයුධයක් අතට ගත්තේ නැත්තම් උන් මාවත් මරලා මගේ ගෙදර මිනිස්සුත් මරනවා. පණ බේරාගන්න පටන් ගත්තේ...” වරක් තාරකම එසේ කියා තිබිණි. පියා නැති පවුලේ බර කරට ගෙන, තමාද ඉගෙන ගෙන, බාල සහෝදර සහෝදරියන්ටද ඉගැන්වූ එකී තරුණයා අද වෙද්දී මෙරට විශාලම පාතාල ආයුධ ගබඩාවේ හිමිකරු බවට ආරක්ෂක අංශ සැක කරයි.

එහෙව් ආයුධ ගබඩාව තාරක විසින් ගොඩනඟන්නේ කංජිපානි ඉම්රාන් මරාදැමීමට යැයි කියන්නේ නම්, තාරක - කංජිපානි වෛරයේ ආරම්භය සිහි කළ යුතුය. එකී වෛරය ආරම්භ වන්නේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතේ ප්‍රතිඵලයක් ලෙසටය. මින් පෙර “මව්බිම” ලියා ඇති පරිදි ගෝඨාභය ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින විදුරංග නොහොත් විත්තා නමැත්තාව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී ඝාතනය කිරීමට බරපතළ උත්සාහයක් ගෙන ඇත. එයත් මෙතෙක් මෙරට ඝාතන ඉතිහාසයේ භාවිත නොකළ පරිදි සිරිංජරයක ආධාරයෙන් ඇසිඩ් ශරීරගත කිරීමට උත්සාහ කිරීමෙනි.  විදුරංග හෙවත් විත්තාට සයනයිඩ් එන්නත් කිරීමට පසුගිය ජනවාරි මාසයේ දිනෙක පස්වරුවේ උත්සාහ ගෙන ඇත්තේ තවත් පාතාල සාමාජිකයකු සමඟ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වාර්තා කාමරය වෙත යන අතරේය. එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාව විසින් මෙහෙය වූ අප්පන් හෙවත් රවීන්ද්‍රන් නමැත්තා ළඟම සිටි විත්තා රාජ්‍ය ඔත්තු සේවාව (SIS) හා හමුදා බුද්ධි බළකාය කළ බුද්ධි මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත්තේ ජනපති ඝාතන තැතේ චෝදනාවලටය.

අප්පන් විසින් විත්තාට ගිනි අවියක් පවා ලබාදී තිබුණු බව කියවුණු අතර  අප්පන්ගේ සිරුරේ ඔහුගේ බිරියගේ, මවගේ නමට අමතරව විත්තාගේ නම පවා කොටාගෙන තිබුණේය. ඊට හේතුව  කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරබත් කද්දී දෙමටගොඩ චමින්ද, අප්පන්ට ගහන්නට යද්දී බේරාගෙන ඇත්තේ විත්තා නිසාය. විදුරංගව ඝාතනය කරන්නට තැත් කිරීම පිටුපස සිටින්නේ කුඩු සෙල්විගේ පුතුන් බව කියැවේ. ජම්පටා වීදිය, මෝදර, මට්ටක්කුලිය, කිඹුලාඇළ, කොටහේන, ආමර් වීදිය, වරාය, බන්ධනාගාරය ආදී කොළඹ බොහෝ පෙදෙස්හි මත්ද්‍රව්‍ය ජාවාරමේ ආධිපත්‍ය පතුරුවාගෙන සිටි කුඩු සෙල්වි දරුවන් පස්දෙනකුගෙන් යුත් තැනැත්තියකි.  මෙරට කුඩු පාතාලයේ වැඩිම දුරක් පැමිණි කාන්තා චරිතය වූ සෙල්විට පුතුන් තිදෙනෙකි. ශිරාන්, රිමෝෂන් සහ කෙනිස්ටන් යනු ඔවුන්ය. වරක් දකුණේ පාතාලයේ ගැටුම් නිසාවෙන් කොළඹ රත් කළ කොස්මල්ලී ඝාතන සිදුවීමේද සිටින්නේ සෙල්විගේ පුතුන්ය. කොස්මල්ලී ඝාතනය රටට අමතක නොවන්නේ, අදාළ ඝාතනයෙන් පසුත් කඳෙන් වෙන් කරගත් හිස කොළඹ අලුත්කඩේ මහ පාරේ තිබියදී සොයාගැනීම හේතුවෙනි. මෙලෙස කොස්මල්ලීගේ හිස ගෙනැවිත් තබන්නේද සෙල්විගේ බාල පුතු වූ රිමෝෂන්ය.

කොස්ගොඩ සුජී හා කංජිපානි ඉම්රාන් හරහා සෙල්විගේ පුතුන් හට මෙකී ඝාතන කොන්ත්‍රාත්තුව ලැබී තිබිණි. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ ඝාතන ප්‍රයත්නයේ සියලු තොරතුරු දන්නා සිංහල එකා වූ විදුරංග හෙවත් විත්තාව ඝාතනය කරන්නට අණ ලැබිණි.

තාරක ගෑවෙන්නේ මෙතැනටය. සාක්ෂි වසන් කරන්නට ගිය අවස්ථාවේ ඊට මැදිහත් වන තාරක වහාම විත්තාව ඝාතනය කරන්නට ඉඩ නොදෙයි. මින් ප්‍රකෝපයට පත්වන කංජිපානි ඉම්රාන් මාධ්‍ය ඉදිරිපිටම කොළඹ අලුත්කඩේ අධිකරණ ගේට්ටුව අසලදී විදුරංගට හා තාරකට ප්‍රසිද්ධියේ මරණ වරෙන්තුවක් නිකුත් කරන්නේ  ‘කවදා හරි උඹලාව මරනවා’ යනුවෙන් කෑ ගසමිනි. එපමණක්ද නොවේ. කංජිපානි ඉම්රාන්ගේ මුදලින් යැපෙනා බන්ධනාගාර නිලධාරියකු වහා මැදිහත් වී විදුරංග ඝාතන තැත සැඟවීමට කටයුතු කරන්නේද මේ අතරේය. ඉන් නොනවතින ඔහු, විදුරංගව බේරාගත් තාරකට පාඩමක් උගන්වන්නටද සැලැසුම් කරයි.

අවස්ථා කිහිපයකදීම තාරකව වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කරන්නට අදාළ නිලධාරියා හා ඔහුට උපකාර කරනා ඉහළ නිලයන් උත්සාහ කරන්නේ ඒ අනුවය. අවසානයේ තාරක බූස්සට මාරු කරන්නට හේතුවන සිදුවීමද ඉතිහාසය වෙනස් කරන එකක් වනු ඇතැයි කිසිවකු සිතුවේ නැත.

තාරක හෙරොයින් ජාවාරමේ රජකු ලෙස නම් කරන්නට අදාළ නිලධාරීන්ට දැඩිව අවශ්‍ය විය. ඔහුව වැලිකඩ බන්ධනාගාරයෙන් එළවා දමන්නට ඇති එකම මාර්ගය එය බව ඔවුන් විශ්වාස කළේය. ඒ අනුව, තාරකව බූස්සට මාරු කරන්නේ ඔහුට අයත් යැයි කියා වැලිසරදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 225ක් නිසාය. සිද්ධික් විසින් තාරකට ලබාදුන්නා යැයි කියූ, සහල් මලුවල ඇසිරූ කුඩු කිලෝ 225 ගැන මින් පෙරද අපි හෙළි කළෙමු. ඒවා තාරකගේ බවත්, එබැවින් ඔහුව වහාම බූස්සට යැවිය යුතු බවත් රටේ ප්‍රධානීන්ට නිර්දේශ කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ය.

නමුත් කාලයා විසින් දැන් එකී හෙරොයින් තොගයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අලෙවි කරනු ලැබූ ඒවා බව තහවුරු කර තිබේ. අදාළ කුඩු තොගය ඇසුරුම් කිරීමේ සිට ප්‍රවාහනය කොට විකිණීම දක්වා සිටින්නේ ඔවුන් වග සාක්ෂිවලින් අනාවරණය වෙමින් තිබේ.

තාරක - කංජිපානි වෛරයේ ප්‍රතිඵලයක් හැටියට වෛරයේ මුලින්ම ඝාතනය වන්නට සැලසුම් කෙරුණේද කොස්ගොඩ තාරකවමය. තාරක මරා දමන්නට RPG  අවි පවා සූදානමින් තිබියදී හෙළි විය. ඒ ඔහු වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකට යවා, එහි සිට නැවත නඩු කටයුතු සඳහා කොළඹ රැගෙන එද්දී මරා දමන්නටය. එසේම තාරක මින් පෙර රඳවා සිටි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට ගාල්ලට රැගෙන එන අතරේ, කළුතරදී සමයංව ඝාතනය කළ ලෙසට ඝාතනය කරන්නට සූදානමින් සිටි පිරිසක් 2019 වසරේදී අත්අඩංගුවට ගන්නේ උණ්ඩ 3000ක්ද සමඟය. තාරකට එරෙහිව ඇති නඩුවලට, කළුතර, බළපිටිය, මොරටුව, ගල්කිස්ස, ගංගොඩවිල, හෝමාගම අධිකරණවලට රැගෙන එන අතර එම අවස්ථාවල පහරදීමට උත්සාහ කරන බව පාතාල මර්දන ඒකකද අනාවරණය කරගෙන තිබුණේය. තාරකගේ සතුරන් මෙම ඉලක්කය ගැනීමට පවරා තිබුණේ දකුණේ පාතාලයේ රණා, රාජු, කරන්දෙණියේ සුදු මල්ලි, පොඩි ලැසී ඇතුළු ගාල්ල බන්ධනාගාරයේ රජ කරන කණ්ඩායමටය. නමුත් ඔවුන්ට ඉලක්කයන් වෙත යෑමට අසීරු නිසා උෟරගහ මයිකල්වත් ලංකාවට එවූ බව කියැවෙන්නේය. ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ආර්.පී.ජී. ඇතුළු අවි ආයුධ රටට ඇතුළු වී ඇත්තේ වැලිගමට නුදුරු මිරිස්ස ප්‍රදේශයෙනි.

අදින් වසර 10කට පමණ පෙරදී කොස්ගොඩ සුජීගෙන් බේරෙන්නට ආයුධ අතට ගත් තාරකට දෛවයේ සරදමකට මෙන් දැන් කංජිපානි ඉම්රාන්ගෙන් බේරෙන්නට ආයුධ අතට ගන්නට සිදුව තිබේ.

කොස්ගොඩ තාරකට අයත් යැයි කියනා ආයුධ තොගවලට වඩා වැඩි ප්‍රමාණයක් වෙලේ සුදා හා මාක¾දුරේ මධුෂ් කල්ලිය සතුව ඇතිවා විය හැකිය.  මෙරට කුඩු පාතාලය හා ආරක්ෂක අංශවල දූෂිතයන් ගැන කරුණු සොයන්නට ලියුම්කරු දැරූ උත්සාහයන්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සතු ආයුධ පිළිබඳවද විවිධාකාර අත්දැකීම් ලැබිණි. ඒ ගැන වැඩි තොරතුරු ලියන්නට ගොස් අනවශ්‍ය අවදානමක් ගැනීම යහපත් නැත. කෙසේ වෙතත්, රට පුරාම ඇති පදම් ආයුධ නිදහසේ සඟවා ඇති බව වටහා ගත යුතුය. බොහෝ ආයුධ දැන් කෙළින්ම පාකිස්තානයෙන් හෝ ඉන්දියාවෙන් මෙරටට පැමිණේ. ඒ මුහුදෙන් එන කුඩු තොග හරහාය. විශේෂයෙන්ම, බහුදින ධීවර යාත්‍රාවලට අෑත දියඹේදී ආයුධ මාරු කරගන්නට විශාල නිදහසක් තිබේ. දශමයක හෝ සැකයකදී ක්ෂණිකව අදාළ ආයුධ මහ මුහුදට අතහරිනු ඇත. එසේම, බහුදින යාත්‍රාවලින් පටවන මාළු පෙට්ටි තුළ රටේ බොහෝ කෙළවරවල්වලට ආයුධ ප්‍රවාහනය කෙරෙනු ඇත. හෝමාගම පිටිපනදී අල්ලාගත් ආයුධ හේතුවෙන් රට පුරාම විසිරී ඇති ආයුධ තොග දැන් ලහි ලහියේ අත්හැර දැමීම හෝ, නැවතත් ටැංකි බෝට්ටුවලින් රටින් පිට කිරීම හෝ වේගයෙන් සිදුවෙමින් තිබේ.

ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් නොවේ නම් බොහෝ විට මෙරට පාතාලයට ලැබෙන්නේ කොටි ත්‍රස්තයන් විසින් සඟවා තබා ඇති ආයුධ තොගය. මුස්ලිම් පාතාලය හා දෙමළ පාතාලය (දෙමළ භාෂාව හැසිරවිය හැකි) එහිදී පෙරමුණේ සිටිති. ඔවුනට පහසුවෙන් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල දැනට යටි බිම්ගතව සිටිනා කල්ලි හා මිතුරුකම් ඇති කරගත හැකිය. අදාළ කැඩී ගිය කල්ලි සතුව සැඟවූ ආයුධ තිබෙන මුත්, ආරක්ෂක අංශවලට ඇති බිය නිසා ඔවුන් ඒවා සමඟ ක්‍රියාත්මක වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පහසුවෙන් ඒවා විකුණා මුදල් ලබාගැනීම සිදු කරයි.

කෙසේ හෝ, වත්මන් ජනපති, ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා, කොළඹ දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,  විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මෙන්ම තරුණ බන්ධනාගාර කොමසාරිස්වරයාද එක්ව රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි මුලිනුපුටා දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටිති. ඒ වෙනුවෙන් රට වැසියන් ඔවුනට ස්තූතිවන්ත වනු ඇත. සියල්ලට පළමුව දූෂිත නිලධාරීන් සොයා ඔවුන් ඉවත්කොට තම දෙපාර්තමේන්තු ශුද්ධ පවිත්‍ර කරගත යුතුය. ගොම තිබෙනා කළයට කිරි දමා වැඩක් නැත. එහි ගොම කළඳක් හෝ තිබේ නම් එසේමය.

Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.