Jul 25

මාවිත්තර කෝටිපතියා පරලොව යැව්ව හැටි, අබිරහස් මරණයේ සුලමුල


පසුගියදා පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ගුරු ගම්මාන පාරේ සිදුවූ මිනිස් ඝාතනයක සුලමුල සොයාගන්නට ඉවහල් වූයේ මෙලෙස ලැබුණු මහජනතාවගේ තොරතුරක්ය. ඒ පසුපස හඹා ගිය පොලිසිය එම ඝාතනය සිදුකළ ඝාතකයන් දෙදෙනා හා ඝාතනය සිදු කිරීමෙන් පසු පැහැරගෙන ගිය රන් බඩු හා මුදල් සොයා ගැනීමට හැකි විය.

ලැබුණු තොරතුරට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්ට දින 14ක් ඇතුළත මෙම අබිරහස් මරණයේ සුලමුල අනාවරණය කරගත හැකි විය.

සිද්ධියෙන් ඝාතනය වන්නේ 51 හැවිරිදි කෝටිපති ව්‍යාපාරියකු වන   ප්‍රසන්න සාගර කුමාර නමැත්තෙකි. ඔහු ඝාතනය වන්නේ පිළියන්දල, මාවිත්තර, ගුරු ගම්මාන පාරේ මහල් තුනක සුවිසල් නිවෙසකදීය. නිවෙසට යාබදව ඔහු හෝටලයක්ද පවත්වාගෙන ගියේය.

සිය බිරිය හා දරු දෙදෙනා සමඟ පසුගිය ජූලි මස 5 වැනිදා රාත්‍රියේ නින්දට ගොස් සිටියදී ඝාතකයන් ඔහුට පහරදී මරා දමා තිබිණි. මෙහිදී ඝාතකයන් බිරියටද පහර එල්ල කර තිබූ අතර ඉන් අනතුරුව ඇය බියවද්දා හෝටල් හිමියා සතු රන් පවුම් 15ක මාලයක් ඇතුළු රන් බඩු විශාල ප්‍රමාණයක් පැහැරගෙන ගොස් තිබිණි.

සිද්ධිය පිළියන්දල පොලිසියට දැනුම්දීමත් සමඟ විමර්ශන ඇරැඹිණි. එහෙත් කිසිදු හෝඩුවාවක් නොලැබිණි. නිවෙසේ එක් ජනේලයක තිබී ඇඟිලි සලකුණු 3ක් පමණ සොයාගත හැකි විය. තවදුරටත් සිදු කළ පරීක්ෂණයේදී සුවිසල් නිවෙසට යාබද තවත් හෝටලයක තිබූ සී.සී.ටී.වී. කැමරාවක දර්ශන විමර්ශනයට එක්කර ගැනිණි.

පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකුත්, බුද්ධි අංශ කණ්ඩායමකුත් සාගරගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ ඇරැඹුවද ඔවුන් කිසිවකුටත් හෝඩුවාවක් ලබාගත නොහැකි විය. ඒ නිසා ඔවුන් සමහරුන්ගේ සැකය එල්ල වූයේ සාගරගේ බිරිය වෙතය.

“අපිට දන්න දේවල් කියන්න. අපිට මේකට උදවු කරන්න.”

තුවාල ලත් සාගරගේ බිරියගෙන් නොයෙක් ප්‍රශ්න විමසමින් එම නිලධාරීන්ට අවශ්‍ය වූයේ ඇගේ ප්‍රකාශය මත කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමටය. එහෙත් ඒ වනවිටත් සාගරගේ බිරිය ඇය දන්නා සියලු දේ හා එදින සිදුවූ සියල්ල එකක් නෑර පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට කියා තිබුණාය. ඒත් ඔවුහු ඉන් සෑහීමකට පත් නොවූහ.

තවත් කණ්ඩායමක් පිළියන්දල, මාවිත්තර පාරේ පිහිටි සාගරගේ හෝටලයට යාබදව පිහිටි තවත් හෝටලයක වූ සී.සී.ටී.වී. කැමරාවක දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබිණි. අලුයම 1.42ට පමණ පුද්ගලයන් දෙදෙනකු මාවිත්තර, ගුරු ගම්මානය දෙස සිට විකල්ප හන්දිය දෙසට කඩිමුඩියේ ගමන් කරන අයුරු එම රූප රාමුවල සටහන්ව තිබිණි. ඒ පිළිබඳ විමර්ශනයක යෙදුණු එම කණ්ඩායමද එම පුද්ගලයන් දෙදෙනා කවුදැයි හඳුනා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද ඉන් කිසිදු සතුටුදායක ප්‍රතිඵලයක් නොලැබිණි.

මේ අතර ප්‍රසන්න සාගරගේ ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ විශේෂ අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමක්ද විමර්ශන අරඹා තිබුණේය. ඒ බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාට දුන් නියෝගය අනුවය.

බස්නාහිර දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය අපරාධ විසඳීමේලා දක්ෂ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකකයකි. පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ප්‍රමුඛ නිලධාරීහු විසින් බස්නාහිර දකුණ පළාතේ සිදුවූ අබිරහස් මිනිස් ඝාතන රැසක සුලමුල අනාවරණය කර ගැනීමට තරම් දක්ෂයෝ වූහ.

ඔවුන් අතින් විසඳුණු අපරාධ ගණන බොහෝය. බස්නාහිර දකුණ ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම් රැසක් මැඬපැවැත්වීමටත් ඊට අදාළ පාතාල කෙරුමන් කොටුකර ගැනීමට බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට හැකි විණි.

සාමාන්‍යයෙන් වසමක අපරාධයක් වූ සැණින් එම අපරාධය පසුපස ගොස් ඊට සම්බන්ධ අපරාධකරුවන් කොටු කරගෙන අපරාධයේ සුලමුල අනාවරණය කර ගැනීම සිද්ධිය වූ වසමට අයත් පොලිසිය විසින් සිදු කළ යුත්තකි. ඒත් සාමාන්‍ය පොලිස් රාජකාරිවලට අමතරව වෙනත් රාජකාරිද වසමක පොලිසියක් විසින් සිදු කිරීම නිසා වසම භාර උසස් නිලධාරීහු අපරාධ විසඳීම සඳහා පුහුණුවක් ලැබූ විශේෂ ඒකක මෙවැනි අපරාධ විසඳීම සඳහා යොදවනු ලබති. ඒ අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට, ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත විමර්ශන ඇරඹූ තවත් කණ්ඩායමකට හා බුද්ධි නිලධාරීන්ටද අමතරව බස්නාහිර දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයද කෝටිපති ව්‍යාපාරික ප්‍රසන්න සාගරගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණවලට එක් කරගෙන තිබිණි.

එය සෙසු විමර්ශන කණ්ඩායම්වල ඇතැම් නිලධාරීන්ගේ නොසතුටට හේතු වුවද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය අනුව එම ඒකකය ක්‍රියාත්මක වීම නිසා කිසිදු නොසතුටු නිලධාරියකුට ඊට එහායින් කරන්නට කිසිවක් නොතිබිණි.

කෙසේ වෙතත් සාගරගේ ඝාතනය පිළිබඳ කෙරෙන පොලිස් විමර්ශනවල කිසිදු සාර්ථකභාවයක් නොතිබුණු අතර කාගේත් සැකය එල්ල වූයේ එක් පැත්තකටම පමණි.

මේ අතර මාධ්‍ය මඟින් සාගරගේ ඝාතනයේ සවිස්තරාත්මක වාර්තා හා සී.සී.ටී.වී. කැමරා දර්ශන ප්‍රචාරය කිරීමත් සමඟ බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට එම රූප රාමු පෙළ දැකීමත් සමඟ කිසියම් මතකයක් නැඟිණි. ඒ අනුව එම පුද්ගලයා දන්නා කියන හිතවත් නිලධාරියකුට මේ බව කීවේ තවත් තොරතුරු රැසක්ද සමඟිනි.

“සර් ඊයේ අර පිළියන්දල මර්ඩර් එක ගැන සී.සී.ටී.වී. කැමරාවල පෙන්නපු දෙන්නගෙන් කෙනෙක් මම ටිකක් දන්නවා. මිනිහා අඩිප්පල පැත්තේ කෙනෙක්. මිනිහා මේ දවස්වල.......”

මෙම රහසිගත තොරතුර ලැබුණේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් අනිල්ටය (69598). ඔත්තුකරුගේ කතාවට සවන්දුන් කොස්තාපල්වරයා කැමරාවේ සටහන් රූප රාමුවේ ඉන්න පුද්ගලයා ගැන තවත් කරුණු ඔහුගෙන් විමසන්නට විය. ලැබුණු තොරතුරු සියල්ල වහා ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා වෙත දන්වා සිටීමට අනිල් පසුබට නොවීය.

“ඔයාලා කට්ටියක් දැන්ම යන්න. ඔය පැත්ත අයිති වෙන්නේ ආරච්චිකට්ටුව පොලිස් ඒරියා එකට. මිනිහා ගැන හොඳට තොරතුරු හොයන්න. ලැබෙන හැම තොරතුරක්ම මට කියන්න.”

පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ නියෝගයෙන් ආරච්චිකට්ටුව, වැලිපිලැස්ස, අඩිප්පල ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමට එදිනම සවස් වනවිට සැකකාර පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයාගැනීමට හැකි විය.

“සර් මිනිහා හෙට උදේට ග්‍රාමසේවක හම්බවෙන්න අනිවාර්යෙන්ම එනවා. මිනිහට අයිඩෙන්ටියක් නැහැ. ඒක හදාගන්න තමයි ගමට ඇවිත් ඉන්නේ. ග්‍රාමසේවක මහත්තයට කියලා ෆෝර්ම් එක පුරවාගෙන මිනිහා හෙටම කොළඹ යනවා”

ලැබුණු එක් තොරතුරක එසේ සඳහන් විය. මේ සියලු තොරතුරු සොයාගැනීමට නිලධාරීන්ට වැඩි වෙහෙසක් ගන්නට සිදුවිය. එදින රාත්‍රිය නිදි වර්ජිතව තැන් තැන්වල රැඳුණු නිලධාරීන්ගේ මූලික බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ සැකකරු අතරමඟදී කොටුකර ගැනීමටය. රැහැයියන්ගේ නාදයත්, මදුරු කරදරයත් විඳදරා ගනිමින් රැය පහන් කළ නිලධාරීනට උදෑසනම ඇමතුමක් දුන් ස්ථානාධිපති ජයන්ත පෙරේරා ග්‍රාමසේවක මහතාගේ කාර්යාලය තියෙන මාර්ගයේ තැන්තැන්වල ගමේ මිනිසුන් මෙන් ස්ථානගත වී සිටින ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

“ඕ.අයි.සී. මහත්තයාගේ උපදෙස් අනුව අපි තැන් තැන්වල ස්ථානගත වුණා. හරියටම උදේ නවය වෙනකොට සැකකාරයා ආවා. ඔත්තුකරු අපිට සංඥාවකින් එයාව පෙන්නුවා, පුද්ගලයා ඔහු බව. අපි එකපාරටම ගිහින් මිනිහව අල්ලගත්තා.

මිනිහා හොල්මන්, අන්දුන් කුන්දුන්. අපි පොලිසියෙන් කියලා මිනිහාගේ අතේ තියෙන දේවල් චෙක් කළා. එතකොට මිනිහා කිව්වා අයිඩෙන්ටිය හදාගන්න ග්‍රාමසේවක මහත්තයා ගාවට යනවා කියලා.

අපි මිනිහව අරගෙන ඇවිත් තවදුරටත් ප්‍රශ්න කරනකොට මිනිහා කිව්වා අයිඩෙන්ටියේ ෆෝර්ම් එක පුරවාගෙන ඉවරවෙලා ඒක හදාගන්න යාළුවා හම්බවෙන්න කඩුවෙලට යන්නයි හිටියේ කියලා. යාළුවා හරියට 12ට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා කියලා. යාළුවා කවුද කියලා ඇහුව්වාම කිව්වා එයා මහින්ද කුමාර කියලා.”

පොලිස් ඒකකයේ නිලධාරියකු පළමු සැකකරු අත්අඩංගුවට පත්වූ ආකාරය හෙළි කළේ එසේය. අත්අඩංගුවට ගත් සැකකරු ජූඩ් සුමිත් නමැත්තෙකි. අඩිප්පල, වැලිපැලැස්ස ප්‍රදේශයේ පදිංචි ඔහු විවාහක එක්දරු පියෙකි. ඒත් බිරිය ඔහු අතහැර ගොසිනි. පියා මියගොස්ය. මව සිටින්නේ ඔත්පළවය. හය වසර වනතෙක් අධ්‍යාපනය ලැබූ ජූඩ්ට සොරකම් කිරීමේ චෝදනා රැසක්ද එල්ල වී තිබිණි. වරක් තණකොළ කපන මැෂිමක් සොරකම් කිරීමේ වරදකට හසුවූ ඔහු වායු රයිෆලයක් සොරා ගැනීමේ වරදට මීගමුව බන්ධනාගාරගතව සිටි අයෙකි.

කොරෝනා වසංගතය රට පුරා පැතිරී යෑමත් සමඟ ඇප ලබාගෙන තිබීම නිසා මෑතකදී නිදහස ලබා ඇත.

“හරි. ඒ සේරම හරි... දැන් උඹ අපිට ඇත්ත කියන්න ඕන. උඹලා නේද අර පිළියන්දල හෝටලේ මුදලාලිව මැරුවේ”

පොලිස් නිලධාරීන් ජූඩ්ගෙන් විමසීය. ඔහු ඊට පිළිතුරක් දුන්නේ නැත.

“ඇත්ත කියපන්...... අපි සේරම හොයාගෙන ඉවරයි. බොරු කියන්න එපා. උඹලා මුදලාලිව මරලා යන ඒවා සේරම කැමරාවල තියෙනවා. බොරු කියන්න ලෑස්ති වෙන්න එපා හොඳද?”

පොලිස් නිලධාරියකු තවදුරටත් එසේ කියද්දී ජූඩ් නිරුත්තර විය. ඔහු කරබාගෙන සිටියේය. යළි හිස එසවිය.

“ඔව්... සර්...... මමයි මහින්දයි තමයි” ජූඩ්ගේ ඒ ප්‍රකාශයත් සමඟ තවත්  විස්තර කතා කරමින් නිලධාරීන් සැරසුණේ දහවල් ‍ෙදාළහට කලියෙන් කඩුවෙල බස් නැවතුම්පොළ වෙත යෑමටය. ඒ ජූඩ් බලාපොරොත්තුවෙන් ඔහුගේ මිතුරා වූ මහින්ද එතැන රැඳී සිටින නිසාය. ජූඩ්වද පටවාගෙන පැමිණි පොලිස් රිය කටුනායකින් අධිවේගී මාර්ගයට පිවිස ‍ෙදාළහට විනාඩි කිහිපයකට මත්තෙන් කඩුවෙලට ළඟා විය.

“උඹ බහින්න එපා. ජීප් එකේ ඉඳගෙනම අපිට උඹේ යාළුවා පෙන්නපන්කො”

නිලධාරීන්ගේ නියෝගයට අවනත වූ ජූඩ් කඩුවෙල බස්නැවතුමේ ඔහු එනතුරු ඇඟිලි ගණිමින් සිටි සිය මිතුරා වූ මහින්ද කුමාරව නිලධාරීන්ට පෙන්වූයේ වෙන කරන්නට දෙයක් නැතිම තැනය. නිලධාරීහු වහා ගොස් මහින්ද කුමාරවද කොටුකර ගත්හ. සිවිල් වෙස්ගත් පොලිස් නිලධාරීන් මහින්ද කුමාර කොටුකර ගන්නා තුරුම ඔහුට ඒ වගක් වැටහුණේ නැත. සැණෙකින් ඔහු නිලධාරීන් පැමිණි වාහනයට තල්ලු විය.

සැකකරුවන් දෙදෙනා රැගත් නිලධාරීන් කෙළින්ම ගියේ නුගේගොඩ, බස්නාහිර පළාත් දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙතය. සැකකරුවන් ස්ථානාධිපතිවරයා වෙත යොමු කෙරිණි.

“ආ....... මෙයාලද බඩු... කොහොමද ඉතින්. හැමදාම හැංගිලා ඉන්නද හැදුවේ”

පොලිස් පරීක්ෂක ජයන්ත මුව පුරා නැඟුණු සිනහවකින් යුතුව සැකකරුවන් දෙස බලමින් කීවේය.

“තමුන්ගේ ගෙවල් කොහේද?” පොලිස් පරීක්ෂකවරයා මහින්ද කුමාරගෙන් විමසුවේය.

“ගිරිතලේ සර්”

ඔහු කීවේය. මහින්ද ගිරිතලේ පදංචිකරුවකු වූවාට වසර පහක්ම ඔහු ගමට ගොස් තිබුණේ නැත. ඔහු යුද හමුදාවේ සොල්දාදුවෙකි. පසුව ඔහු හමුදාවෙන් ඉවත් වී ඇත. මහින්ද විවාහ වී සිටින්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙනි. ඒත් ඔහුගේ බිරිය සිටින්නේ විදේශගතවය. අම්මයි, අයියයි, අක්කයි සමඟ ගිරිතලේ පදිංචිව සිටි මහින්දට වයස අවුරුදු 32කි. හරිහැටි අධ්‍යාපනයක් නොලැබූ මහින්දද සොරකම් කිහිපයකට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වූ අයෙකි. ඔහු කලක් තැන් තැන්වල පිහිටි හෝටල්වල වැඩ කළේය. මරාදැමුණු සාගර ව්‍යාපාරිකයාගේ හෝටලයේද ඔහු “රූම් බෝයි” කෙනකු ලෙස ඉකුත් ජනවාරි මාසය පුරාම සේවය කර ඇති බව ප්‍රශ්න කිරීමේදී නිලධාරීන් දැනගත්තේය.

මිනුවන්ගොඩ ලක්ෂ 20ක මංකොල්ලයකට සම්බන්ධ වූ මහින්ද පසුව පොලිස් අත්අඩංගුවට පත්ව මීගමුව බන්ධනාගාරගතව සිටියේය.

මෙසේ සැකකරුවන් දෙදෙනාගේම කරුණු කාරණා සොයාගත් නිලධාරීන් ඊළඟට කළේ සාගර ප්‍රසන්න නම් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමය.

සාගර ඝාතනය කළේ ඇයි? එය මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූ එකක්ද? නැතහොත් මුදල් හා රන් පැහැරගැනීමේ අදහසින් කළ දෙයක්ද? නැතහොත් ඉඩකඩම්, දේපළ ප්‍රශ්නයක් මත සිදුවූවක්ද? ඊට සම්බන්ධ වූ වෙනත් අය සිටිත්ද? පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වූයේ මෙවැනි ප්‍රශ්නවලට මොවුන්ගෙන් නිවැරැදි පිළිතුරු ලබාගැනීමය.

“ඉස්සෙල්ලාම මට කියපන් උඹලා දෙන්නා කොහොමද අඳුනන්නේ කියලා. උඹ ආරච්චිකට්ටුවේ. මහින්ද උඹ ගිරිතලේ. කොහොමද උඹලා දැන හඳුනාගත්තේ”

පොලිස් පරීක්ෂක ජයන්ත සැකකරුවන් දෙදෙනාගෙන් විමසන්නට විය. මොහොතක් නිහඬව පොලිස් පරීක්ෂකවරයා දෙස තියුණු ලෙස බලා සිටි මහින්ද හීන්සැරේ මුව විවර කළේය.

“මීගමුව හිරගෙදරදි සර්”

“ඒ කොහොමද?”

“මම රොබරියකට මීගමුව හිරේට ගියා. ජූඩුත් සොරකමක් කරලා එහෙ ආවා. එතකොට තමයි දෙන්නා හඳුනගත්තේ.....”

“හරි. ඊට පස්සේ”

ඉන් පසුව පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත ජූඩ්ගෙන් වෙනම ප්‍රකාශයක්ද, මහින්ද කුමාරගෙන් තවත් ප්‍රකාශයක්ද සටහන් කරගැනීම සිදුවිය. ඒ දෙන්නා සාගරගේ ඝාතනය ගැන කියන්නේ එකම කතාවක්ද යන්න දැනගන්නටය. ප්‍රකාශ ලබාගැනීමේදී ඔවුන් දෙදෙනා කියන්නේ එකම කතාවක් බව පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට වැටහුණේය.

“මුන් දෙන්නා මහර රිමාන්ඩ් වෙලා ඉන්නකොට තමයි යාළුවෙලා තියෙන්නේ. ඔය මහින්ද කුමාර ගිය අවුරුද්දේ ජනවාරියේ මැරුණු සාගරගේ හෝටලයේ රූම් බෝයි කෙනෙක් විධියට වැඩ කරලා තියෙනවා. එතකොට මිනිහා දකිනවා සාගර ගාව පවුම් බර ගාණක මාලයක්, බේ්‍රස්ලට් එකක්, තවත් මාල එහෙම තියෙනවා. හැමදාම හෝටලයට එකතු වෙන සල්ලිත් මහින්ද කුමාරට පේනවා. මේ සේරම ගැන මහින්ද කුමාර හිරගෙදරදි ජූඩ්ට කියනවා.

“මචං. මම හිටපු හෝටලේ අයිතිකාරයාගේ අතේ, කරේ රත්තරන් පුරවලා. හැමදාම ලක්ෂ ගාණක බිස්නස් එකක් කරනවා. මිනිහා අතේ තමයි සේරම සල්ලි තියෙන්නේ. මම ඕකේ මාසයක් විතර වැඩ කළා. මිනිහයි, ගෑනියි, ළමයි දෙන්නයි නිදාගන්නෙත් එක කාමරේ. ඒකේ ‍ෙදාර වහන්නෙත් නැහැ. ජනෙල්වල ගි්‍රලුත් නැහැ. හෝටලයේ පිටිපස්ස පැත්තේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙල. දෙමුද ගේමක්?”

“උඹේ අයිඩියා එක හොඳයි. දැනෙන්නේ නැහැනේ. බලමුකො මේකෙන් එළියට ගිහින්”

මහින්ද කුමාරගේ කීම අනුව ජූඩ්ද ඔහුගේ අදහසට කැමැති වුවද පොලිසියට මාට්ටු වී යළි හිරගෙදරට ඒමට ජූඩ්ට එතරම් කැමැත්තක් නොවීය.

“අහුවෙන්නේ නැහැ බං. සී.සී.ටී.වී. කැමරා නැති තැනුත් තියෙනවා. බය වෙන්න එපා”

දෙදෙනා මෙසේ කතිකා කරගත්තද ඔවුනට ඇප ලබාදීමේ අධිකරණ දින සඳහා තවත් දිගු කාලයක් තිබිණි. ඒ අතර ඔවුන්ගේ වාසනාවටදෝ රට පුරා කොරෝනා වසංගතය පැතිර යෑම නිසා පසුව ඇප අස්සන් කරන තුරු ඇප මත මොවුන්ව මුදාහැරීමට බන්ධනාගාරය කටයුතු කළේය. ඒ අනුව මුලින්ම නිදහස් වූයේ ජූඩ්ය.

“මට උඹේ හෑන්ඩ් ෆෝන් නොම්මරේ දීපන්... උඹ ආවට පස්සේ කතා කරන්නම්”

ජූඩ් එදා හිරගෙදරින් සමුගත්තේ මහින්දගේ ජංගම දුරකථනයේ අංකයද ලබාගෙනය. ඊට දින කිහිපයකට පසු මහින්දටද ඇප ලැබුණේය.

“ඉන් පස්සෙ තමයි මේ දෙන්නා කතා කරගෙන මේ හෝටලයට එන්නේ. මහින්ද තමයි මොළකරු. මිනිහා ආමිකාරයානේ. ඔය හෝටලයට පිටුපස වෙන්න තියෙන්නේ වෙලක්. ඉන් පස්සේ හෝටල් තාප්පේ. වෙලට ගියාම හෝටලේ හොඳට පේනවා. ජූලි මාසේ පස්වැනිදා තමයි මෙයාලා කොළඹ ඉඳලා එන්නේ. එතකොටම එක්කෙනෙක් යකඩ පොල්ලක් අරගෙනමයි එන්නේ. ඒක අඩි දෙකහමාරක් විතර දිගයි. මෙයාලා හාඩ්වෙයාර් එකකට ගිහින් තියෙනවා ගෙදර කැත්තට ගහන්න යකඩ පොල්ලක් ඕන කියලා රුපියල් හාරසියයක් දීලා තමයි ගන්නේ. තව මෙයාලා එතකොටම ටෝච් එකකුත්, ඉස්කුරුප්පු නියනකුත් ගේනවා.

සවස පහට විතර කැස්බෑවට ඇවිත් බස් එකේ නැඟලා හෝටලය පේනතෙක් මානයට ඇවිත් විස්තර බලාගන්නවා. පස්සේ පිළියන්දල බාර් එකකට ගිහින් බියර් කෑන් 4කුත් සල්ලිවලට අරගෙන හෝටලය පිටුපස්සේ තියෙන වෙලට වෙලා රෑ 7.30 වෙනකම්ම අර බියර් ටින් බොනවා”

පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් දෙදෙනා ඝාතනය සඳහා පැමිණි ආකාරය කියන්නට විය. වෙලේ සිට බියර් බොමින් සාගර මුදලාලිගේ හෝටලය දෙසට සිය දෙනෙත් යොමා සිටින මොවුන්ට හෝටල් පරිශ්‍රය තුළ සිදුවෙන සියලු දෙයක්ම පැහැදිලිව පෙනෙන්නට විය.

පළාත අඳුරින් වෙළාගත්තද හෝටලය හා නිවෙස වටා ඇති ඒ විදුලි බුබුළු දැල්වීමත් සමඟ හෝටලය තුළ සිදුවන්නේ කුමක්දැයි මොවුන්ට දැකගත හැකි විය.

“හෝටලේ වහලා මුන් නිදාගන්කම් ඉඳිමු” මහින්ද ජූඩ්ට කීවේය. අවස්ථාව උදා වනතුරු මදුරුවන්ගේද ගැහැට විඳිමින් ඔවුහු වෙලේ රැඳී සිටියහ.

මධ්‍යම රාත්‍රිය උදාවිය. හෝටල් පරිශ්‍රය තුළ නිශ්ශබ්දතාවක් රජ කෙරිණි.

තවත්  මොහොතක් ගත විය.

“අපි අතනින් ඇතුළට යමු. එතැන කැමරා නැහැ”

මහින්ද ජූඩ්ට කීවේය. ඒ සමඟම මහින්ද ඒ අසල තිබූ මුගුරක්ද අතට ගත්තේය. දෙන්නාම ගෙනැවිත් තිබූ ඇඳුම්වලින් මුහුණු වසා ගත්හ. ඇස් දෙකත් නහයත් හැරෙන්නට මුළු මුහුණම රෙද්දෙන් වැසී ගොසිනි. මහින්ද අත තිබූ ග්ලවුස්ද ජූඩ්ට දුන්නේය. ජූඩ් අත යකඩ පොල්ලක් විය. දෙන්නාම වෙල දිගේ ගොස් හෝටල් තාප්පයෙන් පැන ජනේලයක් විවර කොට සාගරගේ නිදන කාමරය පිහිටි මාලයට ඇතුළු වූහ. ජනේලයේ ගි්‍රල් ගසා නොතිබිණි.ඒ බව මීට කලින්ම මහින්ද දැන සිටියේය.

“බය වෙන්නේ නැතිව වරෙන්”

මහින්දගේ කීමට ජූඩ්ද හීන්සැරේ පය තබමින් මහින්ද පසුපස ගමන් කරන්නට විය. ඔවුන්ගේ ඉලක්කය සාගරගේ නිදන කාමරයට යෑමය. සාගර කිසි දිනෙක නිදන කාමරයේ ‍ෙදාර වසා දමන්නේ නැත. මහින්ද ඒ බව දැන සිටියේය. මොහොතකින් දෙදෙනාම කාමරයට ඇතුළු වූහ. බිරිය හා දරුවන්ද සමඟ සාගර කාමරයේ ඇඳ මත නිදා සිටියහ. ඔහු නිදා සිටියේ මුණින් අතටය. ඔවුන්ගේ කිසි හැලහොල්මනක් නැත. ඒ ඔවුන් තදින් නින්දට වැටී සිටි නිසාය. ජූඩ් මහින්ද දෙස බැලීය.

“ගහපන් පොල්ලෙන්”

ඒ සමඟම ජූඩ් දෑත බදා යකඩ පොල්ලෙන් ඇඳ මත නිදා සිටි සාගරගේ හිසට යකඩ පොලු පහර තුනක්ම එල්ල කළේය. හිසෙන් විහිදුණු රුධිරයෙන් ඒ අවට නැහැවී ගියේය.

සාගර නැඟුවේ හීන් කෙඳිරියක් පමණි. යකඩ පොලු පහරත් සමඟ ඇඳ මත නිදාසිටි බිරියත් දියණියත් ඇහැරිණි.

“ඇයි....... මොකද මේ?”

මුහුණු වසාගත් දෙදෙනකු ඇඳ අසල වූහ. ඔවුන් අත පොලුය. බියට පත් බිරිය කෑගසන්නට උත්සුක විය. ඒ සමඟම ඇගේ හිසටද තදබල පහරක් එල්ල විය. ඒ මහින්ද අත තිබූ ලී මුගුරෙනි. ඉන් ඇගේ හිසටද තුවාල සිදුවී ලේ ගලන්නට විය.

“උඹලට මොනවද ඕන. අපිට කරදර කරන්නේ නැතිව ඕන දෙයක් අරගෙන යන්න. අනේ මගේ දරුවන්ට මුකුත් කරන්න එපා”

ඇය දියණිය තුරුලු කරගෙනම අපරාධකරුවන්ගෙන් ඉල්ලා සිටියාය. ඒ මොහොතේ දියණිය ඇය සමඟ සිටියද පුතු ඇඳ මත නින්දට වැටී සිටියේය.

“හරි පලයන් අර කාමරේට” මහින්ද සාගරගේ බිරියට හා දියණියටද ඒ අසල වූ නාන කාමරයට යන ලෙස තර්ජනය කරන්නට විය.

“කෝ මුගේ රත්රන් බඩු”

මහින්ද සාගරගේ බිරියගෙන් විමසීය. බියට පත්ව සිටි ඇය ගැහෙන හදවතින් සිය දරුවාද තුරුලු කරගෙන කටහඬ අවදි කළාය.

“තියෙන තැන දන්නේ නැහැ. කොට්ටේ යට තමයි යතුර තියෙන්නේ”

සාගරගේ බිරිය අපරාධකරුවන්ට කීවාය. ජූඩ්ව යකඩ පොල්ලද සමඟ නාන කාමරය අසලට යවන මහින්ද පොලු පහර කා ඇඳ මතට වැටී සිටි සාගරගේ කොට්ටය ඔසවා යතුරු කැරැල්ල සොයාගන්නට විය. කොට්ටය යට සාගරගේ පවුම් පහළොවේ රන් මාලය සමඟ යතුරු කැරැල්ලද විය. මහින්ද රන් මාලය සිය සාක්කුවේ දමා ගත්තේය.

“ඉන් පස්සේ මම ගෙදර තියෙන කබඩ් ඇරලා අපි රත්රන් බඩුයි සල්ලියි හෙව්වා. ඒ හොයනකොට මහත්තයගේ පර්ස් එක හම්බ වුණා. ඒකේ ලක්ෂයක විතර සල්ලි තිබුණා. පස්සේ කබඩ් අවුස්සලා බලනකොට තවත් මාල දෙකකුයි සුරයකුයි, බේ්‍රස්ලට් එකකුයි, මැණික් ගල් 15කුත් මට හම්බවුණා. මම ඒවා ජූඩ්ට නොපෙනෙන්න මගේ සාක්කුවේ දාගත්තා.

ඉන් පස්සේ අපි තවත් රත්රන් බඩු තියෙනවද ඇහැව්වා. එතකොට නෝනා කිව්වා තව බඩු නැහැ. ඕන නම් මගේ කරාබු දෙකත් ගලවලා දෙන්නම් කියලා. ඒකත් ගලවලා දුන්නා

මේ සේරම ගත්තට පස්සේ මම කිව්වා අපි යන්නේ නැහැ එළියේ ඉන්නවා. කාටවත් මේ ගැන කිව්වොත් උඹලවත් මරනවා කියලා”

සැකකාර මහින්ද පොලිසිය හමුවේ කියන්නට විය. නිවෙසින් පිටව යන්නට මොහොතකට පෙර ජූඩ්ගේ දෙනෙත් නිවෙසේ තිබූ ජංගම දුරකථන දෙකක් වෙත යොමු විය. එතැනට ගිය ඔහු මහින්දට නොපෙනෙන්නට එතැන තිබූ වටිනා කැමරා දුරකථනය සඟවා ගත්තේය. ඉන්පසු ඔවුහු නිවෙසට ඇතුළු වූ ජනේලයෙන්ම පිටව ගොස් තාප්පයෙන් වෙලට පැන වෙල දිගේ මහ පාරට ගියහ.

“වෙල දිගේ යද්දි ජූඩ් මට කිව්වා එයා ඒ ගෙදර තිබිලා කැමරා ෆෝන් එකක් අරගෙන ආවා කියලා. මම ඒකට ජූඩ්ට බැන්නා. ඇයි යකෝ ෆෝන් එක ගත්තේ. ඕවයින් තමයි අපි මාට්ටු වෙන්නේ. කෝ ගනින් ෆෝන් එක කියලා මම ඒක අරන් කෙසෙල් කොටුවක් යට තියෙන වතුර වළකට විසි කළා.”

මහින්ද පොලිසිය හමුවේ කීවේය.

“එතකෙට අර යකඩ පොල්ල, ග්ලවුස්, මුහුණු වහපු රෙදි කෝ...”

“ඒවත් වෙලට විසි කළා සර්”

“ඉන් පස්සේ....?”

ඊට පස්සේ අපි පාරට ඇවිත් පාරේ යන ත්‍රීවීලරයක් නතර කරගෙන කොට්ටාවට ගියා. එතැනින් වෙන ත්‍රීවීලර් එකක හෝමාගමට ගියා. පස්සේ හෝමාගම පොලිසිය ළඟ හෝටලයක් ළඟට ගිහින් ඒ හෝටලේ බෝඩ් එකේ ගහලා තිබුණු ෆෝන් නොම්මරේට කතා කළා. බලනකොට එයා හෝටලේ අයිතිකාරයා. අපි කිව්වා අපිට කාමරයක් දෙන්න කියලා. ඒ පාර එයා හෝටලයට කතා කරලා අපිට කාමරයක් දුන්නා”

“එතකොට හෝටලෙන් උඹලව භාරගත්තද?  උඹලගේ අයිඩෙන්ටිය චෙක් කළේ නැද්ද?”

පොලිස් නිලධාරියකු මොවුන්ගෙන් විමසීය.

“ජූඩ්ට අයිඩෙන්ටියක් නැහැනේ සර්. මට එකක් තියෙනවා. ඒත් මම ඒක දුන්නේ නැහැ. මා ගාව තිබුණා මීට කලින් අහුලපු අයිඩෙන්ටියක්. ඒක තමයි දුන්නේ. ඒක බලලා ඒ හෝටලේ කෙනා විස්තර පොතේ ලියාගෙන ආයෙත් මට ඒක දුන්නා”

පසුදාට උදාවන තුරු ඔවුහු එම හෝටලයේ රැඳී සිටියහ. හෝටල් කාමරය තුළදී මහින්ද සාක්කුවේ තිබූ මුදල් පසුම්බියක් එළියට ඇද්දේය.

“ඔය මොකක්ද?”

“මේක මහත්තයාගේ පර්ස් එක”

පසුම්බියේ තිබූ මුදල් ගණන් කළ මහින්ද ඉන් රුපියල් 95,000ක මුදලක් ජූඩ් අත තැබීය. පසුම්බියේ රුපියල් එක්ලක්ෂ අනූවක් විය. ඉතිරිය මහින්ද ගත්තේය.

උදෑසන නැඟිටගත් ඔවුහු දිය නා අහවර වීමෙන් අනතුරුව අදාළ හෝටල් බිල්පත්ද ගෙවා දමා මහරගම, පමුණුවට ගොස් සාප්පුවකින් අලුත් ඇඳුම් කිහිපයක් මිලදී ගත්හ. ඒවාද රැගෙන ඔවුහු බියගමට ගොස් හෝටල් කාමරයක් මිලයට ගෙන කාන්තාවන් දෙදෙනකුද ගෙන්වාගෙන එහි කාලය ගත කළහ. සියල්ල අවසානයේ දෙදෙනාම ගියේ අවිස්සාවේල්ල ප්‍රදේශයටය. ඒ මහින්ද නතර වී සිටි බෝඩිම් කාමරයටය. එහිදී මහින්ද ජූඩ්ට යෝජනාවක් ගෙනාවේය.

“අපි අර මාලේ විකුණලා සල්ලි අරගමු” ජූඩ්ද ඊට එකඟ විය. පවුම් පහළොවේ මාලය හැරෙන්නට සාගරගේ ගෙදර තිබූ සෙසු රන් බඩු සොරාගන්නා අයුරු ජූඩ් දැක තිබුණේ නැත. ඒ වගක් මහින්ද ජූඩ්ට කීවේද නැත.

“දැන් ඕක විකුණන්න යනකොට උඹගේ අයිඩෙන්ටිය ඉල්ලයිනේ.”

“ඔව්. ඒකත් ඇත්ත. මම හඳුනන ත්‍රීවීලර් කොල්ලෙක් ඉන්නවා. මම උෟට කියලා මේක විකුණා ගන්නම්”

එසේ කී මහින්ද මිතුරු ත්‍රීවීලර් රියැදුරකු සමඟ රන්බඩු අලෙවිසලකට ගොස් සාගරගේ පවුම් පහළොවේ රන් මාලය 12 ලක්ෂ තිස්පන් දහසකට විකිණුවේය. ඉන් 3,35,000ක් බේ‍රා්කර් ගාස්තු හැටියට ත්‍රීවීලර් රියැදුරාට දුන්නේ කිසිවකුටත් ඒ ගැන නොකියන ලෙසට පොරොන්දුවක්ද දෙමින්ය. පසුව ඉතිරි මුදල්ද සඟවාගෙන මහින්ද යළි කාමරයට ගොස් ජූඩ් මුණගැසුණේය.

“ලක්ෂ 6යි බං ගන්න පුළුවන් වුණේ”

“ඇයි ඊට වඩා වටිනවනේ. අද පවුමක් කීයද?”

“ඕවා කර කර ඉන්න ගියොත් වැඩේ මාට්ටු වෙන්න පුළුවන්. උඹ මේ ලක්ෂ 3 තියාගනින් මම ඉතුරු ලක්ෂ තුන ගන්නවා”

“දැන් අපි මොකද කරන්නේ...?”

මහින්ද ජූඩ්ගෙන් විමසන්නට විය. ජූඩ් එවිට මහින්දට කීවේ මෙවැන්නක්ය.

දැන් උසාවියේ ඇපයට අස්සන් කරන්නත් එපැයි. අයිඩෙන්ටිය හදාගන්න ඕන. මම ගෙදර ගිහින් ග්‍රාමසේවකගෙන් ඒ ෆෝර්ම් අරගෙන එන්නම්”

“හරි උඹ ඒවා සේරම හදාගෙන බ්‍රහස්පතින්දා දවල් 12ට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකට වරෙන්. මම නොවරදවාම එතැනට එනවා. මගේ යාළුවෙක් ඉන්නවා උෟට කියලා අයිඩෙන්ටිය හදාගන්න පුළුවන්.”

එසේ කී මහින්ද එදින ජූඩ්ගෙන් සමුගත්තේ තමාද ගිරිතලේ සිය ගම බලා යන බව කියමින්ය. වැලඳ ගැනීමෙන් අනතුරුව දෙදෙනා දෙදෙනාට සමුදුන්හ. මහින්ද ගිරිතලේ බලා පිටත්ව ගිය අතර ජූඩ් ආරච්චිකට්ටුවේ, අඩිප්පල සිය ගෙදර බලා පිටත්ව ගියේය. ඒ ඊට පසුදාම ජාතික හැඳුනුම්පතට අවශ්‍ය ලියකියවිලි රැගෙන බ්‍රහස්පතින්දා දහවල් 12ට කඩුවෙලට පැමිණෙන අදහසින්ය.

බස්නාහිර දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට මහින්ද කොටු වන්නේ ජූඩ් පොලිස් නිලධාරීන්ද සමඟ කඩුවෙල බස් නැවතුමට පැමිණි මොහොතේදීය.

“මහින්ද ගිරිතලේට ගියත් ගෙදර යන්නේ නැහැ. එහෙ හෝටල් කාමරයක නතර වෙනවා. එහෙම ඉඳලා එයාගේ ඥාති පුතෙක් හෝටලයට ගෙන්වාගෙන අර සාගරගේ ගෙදරින් සොරකම් කරපු සල්ලිවලින් කොටසකුයි, රත්රන් මාල දෙකයි, බේ්‍රස්ලට් ඇතුළු අනෙක් බඩුයි මෙයාට දෙනවා, අරන් තියාගන්න ආයෙත් ඇවිත් ගන්නකම් කියලා”

“පස්සේ අපි මහින්දගෙන් ප්‍රශ්න කළා. ගිරිතලේට ගිහින් එයාගේ ඥාතියාවත් සොයාගෙන මහින්ද දුන්නු රත්රන් බඩු සේරම අපි හොයාගත්තා”

“දෙන්නගේ ප්‍රකාශ මත මාවිත්තර වෙලට ගිහින් වෙලේ තිබිලා මුහුණු ආවරණ දෙකක්, ග්ලවුස්, කැමරා ෆෝන් එක, යකඩ පොල්ලක්, බීපු බියර් ටින් හතරෙන් දෙකකුත් සොයාගත්තා.”

විමර්ශනය සිදු කළ පොලිස් නිලධාරියෙක් කීවේය.

ඒ අනුව අබිරහසක් වන්නට ගිය මිනිස් ඝාතනයක සුලමුල දවස් 14ක් ඇතුළත විසඳීමට බස්නාහිර පළාත් දකුණ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට හැකි විය.

නොයෙකුත් සැකසංකා මතු වෙමින් නොයෙකුත් පැති හරහා විමර්ශන සිදුවූ මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සුලමුල මේ වනවිට හෙළි වී අවසානය. ඒ බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම නිරන්තර උනන්දු කරවමින් විමර්ශනය සිදු කිරීමට අවශ්‍ය උපදෙස් නිතිපතා ලබාදීම නිසාය.

වරෙක සිදුවීමේ සැකය ප්‍රසන්න සාගර මහතාගේ බිරිය වෙත එල්ල වෙමින් තිබිණි. අද ඇය ඒ චෝදනා සියල්ලෙන්ම සම්පූර්ණයෙන්ම නිදහස්ය. ඇය ඒ සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කරන්නට පොලිස් අධිකාරි අබේසේකර මහතා මුණගැසුණාය. එහිදී ඇය මටද මුණගැසිණි.

“එදා ඉඳන් අද වෙනතුරු මම හරිම පීඩනයකින් හිටියේ. පිළියන්දල පොලිසියේ අය මගෙන් නොයෙකුත් ප්‍රශ්න කළා. සිද්ධිය වුණු විධිය කියන්න කිව්වා. දන්න දෙයක් තියෙනව නම් කියන්න කිව්වා. උදවු කරන්න කිව්වා. මම කියපුවා ලියාගෙන ගියා. මේ නිසා මම ලොකු මානසික පීඩනයකින් හිටියේ.

මගේ ඔළුවේ එක පැත්තකට මැහුම් 8ක් දැම්මා. තව අත් දෙකටත් මැහුම් දැම්මා. ඔක්කොම මැහුම් 21ක්. ඒ ගැන කිසිම තැනක සඳහන් වුණේ නෑ

මුල ඉඳලම මම සැකකාරියක් බවට පත් කරලයි තිබුණේ.

“දැන් ඇත්ත නැත්ත 200%ක් ඔප්පුවෙලයි තියෙන්නේ. ඒ ගෞරවය හිමි වෙන්න ඕන මේ මහත්තුරුන්ට. මානසික පීඩනයක් නොදී වුණු සිද්ධිය තේරුම් අරගෙන අද මාව ඒ සියලු අපහාසවලින් නිදහස් කළාට මගේ ජීවිතය  අවදානමෙන් මුදාගත්තට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් මේ නිලධාරීන්ටත් මම ණයගැතියි. මට මගේ දරුවෝ දෙන්නත් මගේ සහෝදරයාත් උදවු කළා. එයාලා මට සෙවණැල්ලක් වගේ හිටියා. අද සියල්ලම විසඳිලා. මට මහත්තය නැති වුණා. ඒත් මම හිටියේ දැඩි මානසික පීඩනයකින්. අද සත්‍ය හෙළි වුණා. ඒ ගැන ස්තුති කරන්නයි මට ඕන.” ප්‍රසන්න සාගර කුමාර මහතාගේ බිරිය නිශාන්ති ප්‍රදීපා සේනාරත්න මහත්මිය “මව්බිම” පුවත්පතට විශේෂ ප්‍රකාශක් කරමින් කියා සිටියාය.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.