Jul 26

‘ඕලු’ පුංචි පැටව් එක්ක ගෙවන සුන්දර ජීවිතේ නොකියූ රහස


පසුගිය දවසක මංජුලාගේ දුවගෙයි, පුතාගෙයි උපන් දින සැමරුම සිද්ධ වුණා නේද?

ඔව්. මගේ පුතාගේ නම ඕලි. දුවගේ නම බිනෝලි. පුතාට වයස අවුරුදු පහයි. දුවට වයස අවුරුදු දෙකයි. ඉතින් පුතාගෙයි, දුවගෙයි දෙන්නගෙම උපන් දින සැමරුම පසුගිය ජූලි 01 වැනිදා සිදුකළා. ඒ වගේම ඊට කලින් දවසේ සර්වෝදය පෝෂණ මධ්‍යස්ථානයේ ඉන්න අවුරුදු තුනට අඩු දරුවන් වෙනුවෙන් දානමය කටයුත්තකුත් කළා.

දරුවන්ගේ උපන් දින සාදයේ සැරසිලි කළෙත් මංජුලා කියලා ආරංචියි?

උපන් දින උත්සවයේ සැරසිලි නිදිවරාගෙන කළේ මම. මුහුද තේමාවට අරගෙන තමයි ඒ සැරසිලි සියල්ල කළේ. පුතා හරි ආසයි මුහුදට. ඉතින් එයාලගේ ආසාව වෙනුවෙන් මම කැපවෙලා සැරසිලි මගේ අතින්ම කළා.

පුතයි, දුවයි දැන් මංජුලාගේ ජීවිතය වැඩිපුර වෙන් කරගෙන?

එයාලා තමයි මගේ ජීවිතේ. පුතාගෙයි, දුවගෙයි වැඩත් එක්ක තමයි දවස ගෙවෙන්නේ. දුව නම් හරිම හුරතල්. ගැහැනු ළමයි කොහොමත් හුරතල්නේ. මම වැඩි කාලයක් දරුවෝ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ.

'ඕලු' නිසානේ බොහෝ දෙනා ඔබට ළෙන්ගතු වුණේ. ඒ මතකයට තවමත් ප්‍රතිචාර ලැබෙනවාද?

ඔව්. 'ඕලු' නිසා මට ලොකු ප්‍රේක්‍ෂක ආදරයක් ලැබුණා. ඒ ආදරය තාමත් දැනෙනවා. ප්‍රේක්‍ෂකයන් ඒ මතකය එක්ක, ඒ චරිතය එක්ක තවම ළෙන්ගතුයි. මම ඕලු නාට්‍ය කරලා අවුරුදු පහළොවකට වැඩියි. මට ටෙලි නාට්‍ය කිහිපයකින් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න පුළුවන් වුණා. ඒ හැම චරිතයකින්ම ප්‍රේක්‍ෂකයෝ මාව මතක තියාගෙන ඉන්නවා.

මේ දවස්වල ඔබව පුංචි තිරයෙනුත් මුණගැහෙනවා. කොහොමද රංගන කටයුතුවලට කාලය වෙන් කර ගන්නේ?

හිරු නාළිකාවෙන් විකාශය වෙන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයට එකතු වෙලා ඉන්නවා. මම තෝරලා බේරලානේ වැඩ කරන්නේ. දවස් කිහිපයනේ රූගත කිරීම් වෙනුවෙන් වෙන් කරන්නේ. ඒ නිසා රංගනයට ලොකුවට කාර්යබහුල වෙන්නේ නම් නැහැ.

'සිහින ගෙනෙන කුමාරියේ' නාට්‍යයෙන් ඔබව දකිද්දී ප්‍රේක්‍ෂක ප්‍රතිචාර කොයි විදිහටද ලැබෙන්නේ?

ඒ නාට්‍යයෙත් මම රඟපාන්නේ ලස්සන, ආදරණීය චරිතයක්. ඉතින් ඒ චරිතයටත් බොහෝ දෙනාගේ ආදරය ලැබෙනවා. ගොඩක් අය කියන්නේ රඟපාන්නේ නැතිව ඉන්න එපා කියලා.

මංජුලා කියන්නේ කාලයක් පුංචි තිරයට නැතිවම බැරි කෙනෙක්. දැන් ඔබ පුංචි තිරයේ නිතර පේන්න ලැබෙන්නේ නැහැ. ඔබේ හැකියාවෙන් හරි ප්‍රයෝජනය ගන්න බැරිවීම ගැන දුකක් නැද්ද?

පොඩි දුකක් තියෙනවා. හැබැයි වෙන කෙනෙක්ගේ රංගනයක් වුණත් බලලා සතුටු වෙන්න පුළුවන්. මම රංගනයට ආදරෙයි. හැබැයි දැන් මම පවුල සහ දරුවෝ වෙනුවෙන් මුල්තැන දෙනවා. දරුවන්ට මේ කාලේ අපේ ආදරය, රැකවරණය අවශ්‍යයි. අපි අපෙන් දරුවන්ට වෙන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. එයාලා එක්ක ගෙවන මේ සුන්දර කාලය ආයෙත් එන්නේ නෑනේ. ඒ නිසා මම එයාලා වෙනුවෙන් කාලය වෙන් කරනවා.

ඔබ රංගන කටයුතුවලට එකතු වෙනවට සැමියාගේ අකැමැත්තක් නැද්ද? ඔහු ඔබට වාරණ දාන්නේ නැද්ද?

එයා මට වාරණ දාන්නේ නැහැ. මොකද එයා දන්නවා මම තෝරලා බේරලා හොඳ දේවල් කරන්නේ කියලා.

සිනමා නිර්මාණ කිහිපයකටත් ඔබේ රංගනය මුහු කළානේද?

ඔව්, රන් කොල්ලා සහ තට්ටු දෙකේ ඉස්කෝලේ කියන චිත්‍රපටවලට සම්බන්ධ වුණා. චිත්‍රපටවලට නම් ලොකු කාලයක් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඉතින් මම කාලය වෙන්කරගෙන, තෝරා බේරාගෙන සිනමා නිර්මාණවලටත් සම්බන්ධ වෙනවා.

තවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?

මට අනුරාධපුරයේ රූගත කිරීම් කරන ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. දරුවන්ගේ වැඩකටයුතුත් එක්ක දීර්ඝ ටෙලි නාට්‍යයකට මට කාලය වෙන්කරන්න අමාරුයි.

ඔබ ජීවිතයේ හීන දැක්ක හැම දෙයක්ම ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද?

මම මගේ ජීවිතය ගැන හීන දැක්කා. මම හීන දැකලා නතර වුණේ නැහැ. මම ඒ වෙනුවෙන් කැපවෙලා, උත්සාහයෙන් වැඩ කළා. මම පාසලෙන් අයින් වෙනකොටම පුංචි කාර් එකක් ගත්තා. අවුරුදු 22 වගේ පුංචි වයසකදී මම මුල්ම ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා. ඒ වගේම මම දරුවන්ගේ පැත්තෙන් පුතෙක්, දුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙනුවෙන් බාරහාර වුණා. ඉතින් මට ඒ දේවල් ලැබුණා. ඒ සතුට මට තියෙනවා.

ඔබේ ජීවිතයේ ඔබ ලබාගත්ත දේවල් ගැන සතුටු වෙනවද?

අපි අපේ ජීවිතයේ ඒ ඒ කාලවලදී විශේෂත්වයක් දිය යුතු දේවල්වලට විශේෂත්වයක් දිය යුතුයි. මම මගේ ජීවිතේ ආපස්සට හැරිලා බැලුවම හොඳ නිර්මාණවල, හොඳ අධ්‍යක්‍ෂවරුන් යටතේ වැඩ කළා. ඒ වගේම දැවැන්ත වෙළෙඳ දැන්වීම් ආයතනවල වෙළෙඳ නිරූපිකාවක් ලෙස කටයුතු කළා. මගේ ජීවිතය දිහා ආපස්සට හැරිලා බලද්දී මට සතුටුයි. මට රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනාගේ ආදරය ලබන්න පුළුවන් වුණා. ටෙලි නාට්‍ය නිෂ්පාදනයට එකතු වෙන්න පුළුවන් වුණා. මට ඒ ඒ ක්‍ෂේත්‍රවලින් ස්ථාවරයකට එන්න පුළුවන් වුණා. දැන් මගේ ජීවිතය දුවයි, පුතයි. මට මගේ ජීවිතය ගැන ලොකු තෘප්තියක් තියෙනවා.

දැන් නිෂ්පාදන කටයුතුවලින් අයින් වෙලාද?

මම දැන් බබාලා වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ. ඒ නිසා නිෂ්පාදන කටයුතුවලිනුත් ටිකක් අයින් වුණා. ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් ඉල්ලීම් දෙකක් ආවා. ඒත් දැන් මේ තියෙන තත්ත්වය එක්ක ඒවට යොමුවීමේ ගැටලු තියෙනවා. කොහොම වුණත් ඉදිරියේදී මංගල සාරි, ගවුම් එකතුවකින් ව්‍යාපාර කටයුත්තක් අරඹන්න සැලසුම් කරගෙන ඉන්නේ. ලස්සනට, වෙනස් විධියට අඳින්න මම වගේම අනෙක් තරුණියොත් කැමැතියිනේ. ඒ නිසා ඒ වගේ පැත්තකට අවධානය දෙන්න මම කල්පනා කළා.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

ව්‍යාපාර කටයුතු වගේම මගේ දරුවෝ දෙන්නා ගුණ යහපත් දරුවෝ කරගන්න බලාපොරොත්තු තමයි මට තියෙන්නේ.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.