Jul
11
කොන්ක්‍රීට් වනන්තරේ පර්චස් 01 ක් රජ ගෙයක් කළ කැටයම් මල්ලි
මහපාරේ ගමන් කරන වාහනවල ශබ්දය අධිකය. ඝෝෂාකාරී මේ පරිසරය තුළ නම් හිතට කිසිදු නිදහසක් නැත.
වෙහෙසකාරී ගත දැන් නිබඳවම සොයන්නේ මානසික නිදහසයි.
“මෙතැනින් උඩට ගිහින් බලමු”
බිම් මහලේ අයිනක තිබූ තරප්පු පෙළක් වෙත ළඟා වූ අපි ටයිල් අතුරන ලද පඩි කිහිපයක් නැඟ වටපිට බැලුවෙමු.
අදහාගත නොහැකිය. එහි ඇත්තේ අපූරුවට කෘත්‍රිමව සැකසූ ගල් ගුහාවකි. අපි එතුළින් තවත් ඉදිරියට පියනැඟුවෙමු.
ගුහා පෙදෙස අවසන් වන්නේ වීදුරු ෙදාරක් සහිත වායු සමීකරණය කළ කාමරයකිනි.
“එන්න.... එන්න...”
නීතිඥ නිශාන්ත සඳලාල් විජේන්ද්‍ර මහතා සිනාමුසු මුහුණින් අප පිළිගත්තේය.
“අපි ආවා පර්චස් එකේ ලස්සනම ලස්සන කාර්යාල සංකීර්ණයක් බලන්න. මේක නිකම් ගෙදරක් වගේනේ. හැමදේම තිබෙන බව පෙනෙනවා” මම කීවෙමි.
නීතිඥ මහතාගේ මුහුණේ යළිදු ඇඳුණේ මනස්කාන්ත බවකි.
“මට නිදහසේ ඉන්න ගෙදර වගේ තැනක් හදාගන්න වුවමනා වුණා. ඇත්තටම ඒක මම හිතුවටත් වඩා අපූරුවට ගොඩනැඟුණා”
මේ පර්චස් එකේ මාලිගාව පුදුමාකාර නිර්මාණශීලී මන්දිරයකි. මෙවැනි මන්දිරයක් විජේන්ද්‍ර නීතිඥ මහතාට ගොඩනඟා ගන්න වුවමනා වුණු කාරණාව කුමක්ද?
අපි එතැනින් මේ මන්දිරයේ තොරතුරු මුල සිට ගළපන්නට කල්පනා කළෙමු.
“නීතිඥ වෘත්තියේ යෙදෙන මම හැම වෙලාවෙම හිතුවේ නිදහසේ මොහොතක් ගත කරන්න පුළුවන් තැනක් තිබෙනවා නම් කොයිතරම් හොඳද කියලා.”
“දවස පුරාම නඩුහබ එක්කම පැටලිලා හිටපු මගේ මනසට ඒ නිදහස ඕනෑ බව තදින් දැනුණා.”
විජේන්ද්‍ර නීතිඥ මහතා මේ වෙද්දී අවිස්සාවේල්ල, සීතාවක හන්දියේ පුංචි කාර්යාල කාමරයක් පවත්වාගෙන ගියේය. බිම් මහලේ තිබූ මේ කාර්යාලය ඉදිරියෙන්ම තිබුණේ බස් නැවතුම්පොළයි.
පර්චස් එකක පමණ බිම් කොටසකට සීමාවී තිබුණු මෙම ගොඩනැඟිල්ල ගතට සිතට සුවය ගෙනදෙන තෝතැන්නක් බවට පත්කිරීමට සැලසුම් කරන්නේ ඒ අනුවය.
“ඊට පස්සේ මම මේ ගැන මගේ යාළුවෙකුට කිව්වා. ඔහු තමයි ශානකව මා ළඟට එක්කරගෙන ආවේ.
ශානක එතරම් උසමහත නැති කොණ්ඩය වවාගත්, කනේ කරාබුවක් දමා සිටි අමුතුම තාලේ තරුණයෙකි. ඔහු රැකියාව හැටියට කළේ ත්‍රීවීලර් පැදවීම.
“මම ශානක දිහා බලපු ගමන් හිතුවේ, ඔහු මත්ද්‍රව්‍යයට නැඹුරු කෙනකු කියලයි. මේ මනුස්සයට මේක කරන්න පුළුවන්ද කියන හැඟීම මට එක පාරටම ආවා. ඒත් මම මගේ යාළුවගේ වචනය පිළිඅරන් පුංචි ඉඩකඩක් දීලා වැඩේ කරන්නේ කොහොමද කියලා බැලුවා.
මේ ආකාරයට දින කිහිපයක් ගෙවී ගියේය. ශානක තවත් මිතුරකු සමඟ පැමිණ උඩුමහලේ තැනක කොන්ක්‍රීට් හාන්සි පුටුවක් ඉදිකරන්නට පටන් ගත්තේය. මුලින්ම ඔහු කළේ කොන්ක්‍රීට් කම්බි නවා ඒ සිමෙන්ති පුටුවේ ආකෘතිය නිර්මාණය කිරීමය.
“මට ඒක දැක්කම පොඩි විශ්වාසයක් ඇතිවුණා. ඊට පස්සේ මම එයාට අවශ්‍ය අනිත් පහසුකම් ටිකත් සැලසුවා”
ශානක සිමෙන්ති හාන්සි පුටුව කදිමට නිම කළේය. ඒ අනුව අදියරෙන් අදියර නීතිඥ විජේන්ද්‍ර මහතාට වුවමනා කරන පරිසරය ඔහු විසින්ම සැලසුම් කරන ලදී. නීතිඥ මහතා ඒ නිර්මාණය සාර්ථකව කර ගැනීමට අවශ්‍ය වැඩි උපදෙස් හා නිසි අමුද්‍රව්‍ය සැපයීය.
“ඇත්තටම ඊට පස්සේ නම් මට හිතාගන්න බැරිවුණා. ශානක කිසිම කලබලයක් නැතිව වේලාව අරන් එක් එක් මහලට අවශ්‍ය කලාත්මක වටපිටාව හැදුවා. ඒ අනුව බිම්මහලේ සිට උඩුමහලට වන තරප්පු පේළිය වටා ඇති බිත්ති, ගල් ගුහාවක් වගේ. ඊළඟ මහලේ ජල තටාකයක්, ඊළඟ මහලේ වාඩිවෙලා සතුටු සාමීචියේ යෙදෙන්න හැකි සිමෙන්ති බංකු සහිත තැනක් හා උඩුමහලේ හාන්සි පුටුව හා ඒ නිදහස් කලාපය ගොඩනැඟුණා.
ඒ වගේම ඒ හැම මහලකම බිත්තිවල විවිධ කැටයම් නිර්මාණ ශානක අතින් ඉදිවුණා. ඇත්තටම ශානකව බොහෝ දෙනා දන්නේ ‘කැටයම් මල්ලී’ කියලා. ඒ තරමටම ඔහු දැන් ප්‍රසිද්ධයි. නීතිඥ මහතා සිනාසෙමින් කීවේය.
කැටයම් මල්ලී එහෙමත් නැත්නම් ශානක ජීවත් වන්නේද අවිස්සාවේල්ල උසාවිය අසලය. පෙනුමෙන් අමුතුම චරිතයක් වූ ශානකයේ අභ්‍යන්තරය ඊට හාත්පසින්ම වෙනස්ය.
“මම කාලෙක ඉඳලා කොණ්ඩේ වවන්නේ පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න. මම මස්, මාළු කන්නේ නැති කෙනෙක්. හුඟක් වෙලාවට ඇසුර තියෙන්නේ පන්සල් එක්ක.
මේ දවස්වලත් ගමේ පන්සලේ කැටයම් වැඩ ටික නොමිලේම කරන්න භාර අරගෙනයි ඉන්නේ.” ඔහු සිනාසෙමින් කීවේය.
විවාහකයකු වූ ශානක එක්දරු පියෙකි. මුල් කාලයේදී ඔහු රැකියාව ලෙස කළේ මේසන් වැඩවලට අත්උදවු දීමය. මේ කාලය තුළ ඔහුට ඕන වුණේ සිමෙන්තිවලින් අලුත් අලුත් නිර්මාණ කිරීමටය. එහෙත් ඔහුට ඒ සඳහා කිසිවකුගෙන් උදවු උපකාර ලැබුණේ නැත. ඒ අනුව ශානක විහාරස්ථානවල පින් පිණිස කරන මෙවැනි වැඩවලට දායකත්වය ලබා දුන්නේය.
“ඔහොම තමයි මම ටිකක් විතර මිනිස්සු අතරට ගියේ. ඉතිං මේ සර්ගේ වැඩේ බාරගන්න කොටත් මම සල්ලි ගැන, මහන්සිය ගැන, කාලය ගැන හිතන්නේ නැතුව තමයි වැඩේට බැස්සේ”
ශානක අන්තර්ජාලය බෙහෙවින් පරිහරණය කරන පුද්ගලයෙකි. ඔහු ඒ හැම ඩේටා කාඩ් එකක්ම පාවිච්චි කළේ අලුත් අලුත් කැටයම් නිර්මාණ දැක ගැනීමටය.
“විජේන්ද්‍ර සර්ගේ රාජකාරි පුටුව තියෙන තැනට උඩින් බිත්තියේ මම හිම වැටෙන කැටයම් නිර්මාණයක් කළේ එහෙමයි. ඒ වගේම මේ බිත්තිවල ඇති බොහෝ නිර්මාණවලට අවශ්‍ය පසුබිම මම හදාගත්තේ ඒ විධියටයි”
“කොහොම වුණත් දැන් සර් හින්දා මම හුඟාක් ප්‍රසිද්ධ වෙලා. ඇත්තටම මට ඒකට හුඟාක් සතුටුයි.” ශානක අවසන් වශයෙන් කිව්වා.
මේ කතාබහ අවසන් කරන්න කලින් අපි යළිත් නිශාන්ත සඳලාල් විජේන්ද්‍ර මහතා දෙසට හැරුණෙමු. ඒ ඔහු මේ සුවදායි පරිසරය තුළින් ලබන ආස්වාදය දැන ගැනීමේ අටියෙනි.
“මම මහා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඒ වගේම සල්ලි පස්සෙ දුවන කෙනෙකුත් නෙවෙයි. සාධාරණ විදිහට හම්බකරලා සැනසිල්ලේ ජීවත් වෙලා මැරෙන්නයි මට ඕන”
“ඉතිං එහෙම හිතලා මට අයිති මේ පර්චස් එකක් වගේ තියෙන බිම් ප්‍රමාණයේ මට අවශ්‍ය පරිසරය හදාගත්තා. මගේ බිරිය වගේම එකම පුතත් මෙතැනට කැමැතියි”
“මේ වගේම මගේ රාජකාරි පුටුව ළඟ තිබෙන මේ ජල ටැංකිය දිහා බලන්න. ඒ දිහා බලාන ඉන්නකොට හිතට දැනෙන්නේ පුදුමාකාර නිදහසක්. සහනයක්.”
“ඇත්තටම මේ ගොඩනැඟිල්ලේ හැම තැනකටම මම හුඟාක් කැමැතියි.
නැවතිලා මොහොතක් ගත කරන්න පුළුවන් තැන් තමයි මේ හැම තැනකම තියෙන්නේ. මෙහි ඇති වර්ණ. විදුලි ආලෝකය පවා මට විශේෂිතයි.”
අපි මේ අලංකාර ගොඩනැඟිල්ල හදන්න කොපමණ මුදලක් වැය වුණේ දැයි දැනගන්න කැමැති වුණා. එහෙත් අපේ නීතිඥ මහතා ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.
“කොයිතරම් මුදලක් වැය වුණාද කියලා මම ඇත්තටම ගණන් බලා නැහැ. අවශ්‍ය බඩු මම දන්නා හඳුනන හාඩ්වෙයාර් කරන මහත්වරුන්ගෙන් ලබා ගත්තේ මුදල් හිමිහිට දෙන පොරොන්දුව මත. ඉතිං ණයට ගත්ත බඩුවලට මුදල් මම ටික ටික ගෙව්වා.
විජේන්ද්‍ර නීතිඥ මහතා මේ ගොඩනැඟිල්ලේ වඩාත් කැමැති අනිත් ඉසව්ව එළිමහනේ ඇති රූපය ය.
ඒ රූප දිහා එක එක පැත්තට ගිහින් බලද්දී පෙනෙන්නේ එක එක විදිහට. හරියට ‘මොනාලිසා’ චිත්‍රය වගේ.
ඒ හැරුණුකොට ඉදිරිපස නිර්මාණය කර ඇති බොහෝ කැටයම් හරිම ආකර්ෂණීයයි. මේ පොඩි එකා ඒ තරම් දක්ෂයෙක් කියලා මම මුලින් නම් හිතුවෙ නැහැ. ඇත්තටම ඔහු දක්ෂයෙක්.”
නිර්මාණ ශිල්පියකුගේ දක්ෂතාව ඔහුගේ සේවය ලබාගන්නා තැනැත්තාගේ හදවත සතුටු වන සේ තම සේවය උපරිමයෙන් ලබා දීමය. ශානක ලියනගේ තරුණයා ඒ අභියෝගය භාරගෙන මනාව ඉටුකළේය. අද බොහෝ දෙනා ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය.
සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායා - අනුරුද්ධ මැදවත්තේගෙදර
Source - මව්බිම