Jul
28
වන අලි ප්‍රහාරයට ලක්වූ කථිකාචාර්යවරියට සැත්කමක්
වන අලි ප්‍රහාරයකට ලක්ව, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ යාපනය විශ්වවිද්‍යාලයේ, කිලිනොච්චි මණ්ඩපයේ කථිකාචාර්යවරිය අද (28) සැත්කමකට භාජනය කළ බව රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
අප කළ විමසීමකදී ඇය පැවසුවේ, අදාළ කථිකාචාර්යවරිය තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය.
පසුගිය 19 වන දා රාත්‍රියේ වන අලියෙකු පහර දීමෙන් බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරිය, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ගුවන් මගින් රැගෙන එනු ලැබීය.
කිලිනොච්චිය, අරිවියල්නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය තාක්ෂණ පීඨය තුළ පිහිටි නේවාසිකාගාරයේ නවාතැන්ගෙන සිටි මෙම කථිකාචාර්යවරියට, ඉන් පිටතට පැමිණි අවස්ථාවක නේවාසිකාගාරය ආසන්නයේදී වන අලියෙකු පහර දී තිබිණි.
කැලණිය ප්‍රදේශයේ පදිංචි ගයත්‍රි දිල්රුක්ෂි නමැති 32 හැවිරිදි එම කථිකාචාර්යවරිය, යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කිලිනොච්චි මණ්ඩපයේ තාක්ෂණ අංශයේ කථිකාචාර්යවරියකි.
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක වන ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිධාරිණියකි.
- මව්බිම