Jul
24
දාහකින් සොයා ගන්න බැරි දරුවෙක් ගමට අහිමි වුණා, ගම්වාසීහු කඳුළු වුගුරවයි
‘‘අම්මෝ... වතුරවිල ගමට වුණ විපතක්. දාහකින් හොයා ගන්න බැරි දරුවකු අපිට අහිමි වුණා. මේ විපත කළ රියදුරාට නිසි දඬුවම් දෙන්න’’ යැයි වතුරවිල ගම්මානයේ හමුදා සෙබළාගේ අවසන් කටයුතු සඳහා එක්රොක් වූ දහස් ගණන් ජනයා කඳුළු වගුරුවමින් තම වේදනාව දරාගත නොහැකිව පැවසීය.
ලංකාවේ පළමු වතාවට ගුවන් පාලමක් උඩ නුගේගොඩ දී රිය අනතුරකින් මියගිය 14 විජයබා පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ලලිත් ගොඩගේ රණවිරුවාගේ ආගමික කටයුතු සිදුකර අවසන් කටයුතු පූර්ණ හමුදා ආචාර ගෞරව මත බටපොල, මානන්ගොඩ පොදු සුසාන භූමියේ දී පෙරේදා (22 දා) සිදු කෙරිණ.
1988 මැයි 08 ගොඩගේ මුණිපාල හා ගම්මැදේ හේමලතා මෑණියන්ට දාව උපන් ලලිත් ගොඩගේ 2007.11.25 ආධුනික සෙබළකු ලෙස යුද හමුදාවට එක්විය. පසුව මුලතිව් පුදුකුඩුඉරිප්පු, පුදුමාතලම් එල්.ටී.ටී.ඊ. සටන් සහිත ප්රදේශවල යුද මෙහෙයුම් සඳහා යෙදී සිටියදී දෙවරක්ම අනූනවයෙන් බේරුණු ඔහු පසුව පනාගොඩ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අතර ඉකුත් 20 දා රාජකාරි නිල රථයෙන් ගමන් ගනිද්දී අනතුරට ලක්විය.
මෙලෙස මියගියේ ලාන්ස් කෝප්රල්වරයකු ලෙසත්, දේශපුත්ර පූර්ණ භූමි, උතුරු නැගෙනහිර සංග්රහවී මානුෂීය මෙහෙයුම් පදක්කම් 1, 2 හා සේවා පදක්කම් හා සේවා ඇගයීම් පදක්කම් 2 කින් ගෞරව නාමය රටට ලබා දීමෙන් බව 14 විජයබා පාබල රෙජිමේන්තුවේ විධායක අධිකාරි කපිතාන් එල්. එල්. කේ. එම්. අල්විස් මහතා පූර්ණ හමුදා ආචාර පුද කරමින් පැවසීය.
බටපොල, මානන්ගොඩ පොදු සුසාන භූමියට 2000 ට වැඩි පිරිසක් මෙම සෙබළාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අතර ඔහු අවාසනාවන්ත ලෙස රුදුරු රියදුරුගේ බිල්ලට හසුවීමෙන් බිරිඳත්, දරුවන් දෙදෙනාත් සෝ සයුරේ ගිල්වමින් මළහිරු බැස ගිය ඉකුත් බදාදා මිහිදන් කෙරිණි.
එල්. පී. ඞී. බන්දුරත්න - දිවයින