Jun 11

චිචී, ටට්යානාට අක්කී කියන හේතුව හෙළි වෙයි


මාර ලස්සන කෙල්ලක්.. ගමේ කෑල්ලක්ද කොහෙද…
සමහර වෙලාවට උයන දේ රහ නැති වුණත් මම එයාව සතුටු කරන්න බොරුවට රහයි කියනවා…

චිචී… චිචී කවුද කියලා නොදන්න කෙනෙක් නැති තරමට චිචී කවුද කියලා දන්නවා… ඇයි චිචීට චිචී කියන්නේ… චිචීව නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ නොදන්නා කෙනාටත් චිචීව හඳුන්වලා දෙන්න ඉස්සර මට එහෙම අහන්න හිතුණා.

"මම ඉපදුණ අලුත… ඒ කියන්නේ මම චූටියාම කාලේ අපේ අයියලා ගිහින් තියෙනවා පුංචි සාදයකට. එතකොට මගේ දෙවෙනි අයියටත් අවුරුදු දෙකක් තුනක් ඇති. මෙයා පාටියට ගිහින් පෙරේතයෙක් වගේ අම්බානකට කට්ලට් අරන් සාක්කුවේ දාගෙන..”

ඒක දැකපු ඇන්ටි කෙනෙක් කියලා පුතා සාක්කුවේ දාගන්න එපා. ඔයාට ඕන තරම් අරන් කන්න කියලා. එතකොට මගේ දෙවෙනි අයියා කියලා නෑ ඒවා මගේ චිච්චි මල්ලිට කියලා. චූටි මල්ලිට හරි පුංචි මල්ලිට හරි කියන එක තමා චිච්චි මල්ලි කියලා කියන්නේ…”

දෙවෙනි අයියා මට දිගටම චිච්චි මල්ලි කියලා තමා කතා කරලා තියෙන්නේ. ඊටපස්සේ අනිත් අයට චිච්චි චිචී වෙලා… චූටි එකා කාලේ ඉඳන් එහෙම තමා මම චිචී වුණේ…. දවසක් මාර වැඩක් වුණානේ…

තාත්තා මාව දවසක් තානාපති කෙනෙකුට හඳුන්වලා දුන්නා. මේ මගේ පුතා චිචී කියලා… ඇත්තටම තාත්තාට වෙලාවකට මගේ නම අමතක වෙනවා. චිචී කියලම තමා මට කියන්නේ… තාත්තා මගේ නම චිචී කියද්දී මේ තානාපතිතුමා බයවෙලා වගේ මගේ දිහයි තාත්තා දිහායි බැලුවා…. ඈ බං මොකද්ද කොල්ලට තිබ්බ නම වගේ ප්‍රශ්නයක් තමා ඒ ඇස්දෙකේ තිබුණේ… ඒ තානාපතිතුමාගේ රටේ භාෂාවෙන් චිචී කියන්නේ ගෑනුන්ගේ උඩුකයටලු….

චිචීට චිචී නිසා අන්න එහෙම ඇබැද්දිත් වෙලා තියනවලු….

තමන්ගේ පුතාට තානාපති කෙනෙකුට හඳුන්වා දෙන්න තරම් හයියක් තියෙන මේ තාත්තා කවුද? මට හිතෙන්නේ 2009 මැයි 19 දවස මතක තියෙනතාක්… ඒ කියන්නේ 35 වසරක් දෙරණ මළගමක් කළ යුද්ධය අවසන් කළ දිනය මතක තියෙනතාක් ඒ තාත්තාගේ නම ශ්‍රී ලංකාවේ ජන්මලාභය ලද ඒ ජන්ම ලාභය ලද. භූමියට ආදරය කරන කිසිම කෙනෙකුට අමතක වෙන්න විදිහක් නෑ…. අවසන් මානුෂීය මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක මාහැඟි කාර්යභාරයක් ඉටුකළ වත්මනෙහි රටෙහි වගකීම බාරගත් ජනපති ගෝඨාභය රාජපක්ෂට බාප්පා කියන පුංචි පුතු මගේ ගීතය සමඟ මෑතකාලීනව ආදරණීය ජනප්‍රසාදයක් ඇතිකරගත් මේ අලුත් තාත්තාගේ නම රෝහිත රාජපක්ෂ….
ටට්යානා හමුවෙලා දැන් කොච්චර කාලයක් ගතවුණාද?
අවුරැදු 10ක්….

ඇය හඳුනාගත්තේ කොහොමද?
මම එයාව ඉස්සරලම දැක්කේ ඇඩ් එකකින්, ගමක ගෑනු ළමයෙක් කහපාට ගවුමක් ඇඳගෙන දුවගෙන එනවා. මම ඒ ඇඩ් එක ඉස්සරලාම බලද්දී හිටියේ ජිම් එකක. මම ළඟ හිටපු සර්ට කීවා සර් බලන්නකෝ මාර ලස්සන කෙල්ලක්. ගමේ කෑල්ලක්ද කොහෙද? කොහොම හරි එයාව හොයාගන්න ඕනෑ කියලා… එහෙම කිව්වාම සර් කීවා මේ ඕවා නැතුව ඔය කරන වැඩේ කරන්න කියලා. ඊටපස්සේ අවුරුදු දෙකක් තුනක් විතර මම හෙව්වා කවුද මේ ඇඩ් එකේ හිටිය කෙල්ල කියලා. සර්ට එදා මම කීවේ සර් ගමේ වුණත් කමක් නෑ සර්… හොඳ කෙල්ලක් නම් කියලා…. බොරු කියන්න ඕනෙ නෑනේ. මම මුලින්ම කැමැති වුණේ එයාගේ පෙනුමට…. එයා ගැන අවුරුදු දෙක තුනක් හොයද්දී එයා අඳුරන යාළුවෙක් මට හම්බවුණා… ඒ යාලුවා හරහා ඔන්න අඳුනාගත්තා… අඳුනාගෙන ආශ්‍රය කළේ අපි යාළුවෝ වගේ… අවුරුදු 3ක් විතර කට්ටක් කාලා තමයි ඔන්න යන්තම් කෙල්ලව අඳුරගත්තේ… ඒ කාලේ එයා ….. වැඩිය කතාබහ කරන්නෙත් නෑ. අවුරුද්දක් විතර යාළුවො වගේ ඉඳලා මම ඇහුවා ඔයා මට කැමතිද කියලා.

චිචී ටට්යානාට ඉස්සරෝම ආදරෙයි කියලා කීවේ කොහෙදිද කියලා අමතක වෙන්න විදිහක් නෑ.
ෆෝන් එකෙන් කීවේ… අපි හොඳ යාළුවෝ වුණාම එයා එයාගේ ප්‍රශ්න ඔක්කොම මට කියන්න පටන් ගත්තා. දවසක් එයා ඔය එක එක කතන්දර ගොඩක් කියවා කියවා හිටපු, හොඳටම තරහ ගිහින් හිටපු වෙලාවක මම හිතුවා වෙන දේ වෙච්චදෙන් මම එයාට කැමතියි කියලා කියලා දානවා කියලා… මම කීවා මම ඔයාට කැමතියි කියලා. එයා කතාකරන්න බැරුව ෂොක් වෙලා තත්ත්පර ගාණක් ඉඳලා ෆෝන් එක තිබ්බා. මම හිතුවා අනාථයි තමා කියලා. මම ඒ වෙද්දී එයා කැමති අකමැති හැමදේම ගැන හොඳ අවබෝධයකින් එයා ගැන හොඳ අධ්‍යනයකින් හිටියේ. එයා පසුව මට කැමැතියි කීවාම අපි ආදරේ කරන්න පටන් ගත්තා.

නිදහසේ ආදරය කරන්න වාතාවරණයක් තිබ්බාද?
අපිට ගෙදරින් ක්‍රීඩා කරන්න, යාළුවෝ ආශ්‍රය කරන්න, ආදරේ කරන්න හැමදේටම නිදහස දීලා තිබුණා…. මගේ ලොකු අයියා සම්පූර්ණ නිර්මාංශ. අම්මා තාත්තා නිර්මාංශ. දැන් මමත් නිර්මාංශ. අපි අරක්කු සිගරුට් බොන්නෙ නෑ… ඒ හින්දා ඇත්තටම මම පිස්සු කෙළියේ නෑ… මම කවදාවත් අම්මාගෙන් තාත්තාගෙන් කෙලින් ඇහුවේ නෑ මම ටට්යානා තෝරාගන්නද කියලා. ජාති ආගම් භේද දුප්පත් පොහොසත් භේද ආදරයේදී මගේ ගාව නෑ.

ටට්යානා ඔබට කැමතිවුණේ ඔබ මහින්ද රාජපක්ෂගේ පුතා වුණ නිසාද?

නැහැ… මම අනිත් කෙනාගේ හිත රිදුණත් ඇත්ත කියනවා. ඇත්තටම මට බොරු කියන්න අමාරුයි. මම එයා මගේ යාළුවෙක් වෙලා ඉද්දි එයාට සමාජය පෙන්වලා දුන්නා. මටත් ගැහැනු ළමයි හුඟාක් යාළුවෝ ඉන්නවා. එයාටත් වැඩිපුරම ඉන්නෙ යාළුවෝ පිරිමි ළමයි. ඒත් විශ්වාසය සහ අවබෝධය අපි අතර තිබුණා. එයා මට කැමති වුණේ ඒවාට.

ඔබ ටට්යානාට කැමති වුණේ?
මූලිකම හේතුව එයාගේ නිහතමානිකමට…. ජාති ආගම් කුල මල භේද එයා ගණන් ගන්නෙ නෑ… ගමේ ගියාම ආච්චි කෙනෙක් දැක්කත් කතා කරනවා… දේශපාලන පවුලකට සම්බන්ධ වෙන ලේලියකට ඒ ගුණය තියෙන්නම ඕන… වරදක් පෙන්වලා දුන්නම එයා බුද්ධිමත්ව එය වටහා ගන්නවා… ඒවාට තමා මම කැමති වුණේ….

කවදාවත් ඔබ ඇයට බොරුවක් කියලා නැද්ද?
හිත රිදුණත් ඇත්තම තමා කියන්නේ. එයා උයන්න හරියට උත්සාහ කරනවා. සමහර වෙලාවට උයන දේ රහ නැති වුණත් මම එයා සතුටු කරන්න බොරුවට රහයි කියනවා. කේක් නම් ඇත්තටම රහට හදනවා. එහෙම බොරුවක් තමා කීවොත් කියන්නේ.

දෙන්නගෙන් වැඩිපුර තරහ යන්නේ කාටද?
එයාට…. මුල් කාලේ මම නිසා තමයි වැඩිපුර රණ්ඩු ඇතිවුණේ. මට තරහා ගියාම එයා ෆෝන් එක තියලා මගේ තරහ නිවෙනතුරු නිශ්ශබ්දව ඉන්නවා. මම ඉතින් හරි මං වැරදියි කියලා වැරැද්ද එයාගේ වුණත් මම ම වැරැද්ද බාරගෙන එයා එක්ක යාළුවෙනවා. දැන් බබා බලාගෙන මහන්සියි කියද්දි මම තරහ නිවෙන්න කෝපි එහෙම හදලා දෙනවා. මම හොඳ කෝකියා. මම රහට උයලා ටට්යානාට කන්නත් දෙනවා.

අපි බඳිමු කියලා එයාට කීවේ කොහේදීද?
අපි ක්‍රීඩාවලට, ඇවිදින්න යන්න හරි ආසයි නේ…. කන්දක් මුදුනකදිම තමා එයාට ඒ ප්‍රපෝසල් එක ගෙනාවේ.

නිර්වාන් කවද්ද ඔය දෙන්න අතරට ආවේ…?
2019 ඔක්තෝබර් 30… ටට්යානා බයේ හිටියේ හැවොලින් දවසේ පුතා ඉපදෙයිද කියලා. හැවොලින් ඩේ එක ඔක්තෝබර් 31…. ඔක්තෝබර් 30 නිර්වාන් ඉපදුණා…

ඉපදෙන්න ඉන්නෙ කොලු පැටියෙක් කියලා දැනගත්තෙ කොයි කාලෙදිද?
ප්‍රොපෙසර් හේමන්ත දොඩම්පහල මාස 3 ½දී කීවා කොල්ලෙක් තමා කියලා… ටට්යානා නම් ඒක දැනගන්න ආසා වුණෙත් නැහැ… මාස 6දී ප්‍රොපෙසර් ඒක ෂුවර් කරලම කීවා. කොහොමත් අපේ පවුලට ඉන්නෙම, එන්නෙම කොල්ලො තමා… එයා ඉපදෙන්න ඉස්සර මම එයාට නිර්වාන් කියන නම තියන්න හිටියේ… නිර්වාන් රේන් ඒ තමා එයාගේ නම…. ඉපදුණ වෙලාව අනුව දුන්නු අකුරැවලත් ඒ අකුර තිබුණා… මම බෞද්ධ දර්ශනයට හුඟාක් කැමතියි. ඒ පොත්පත් හුඟාක් කියවනවා… ඒ දර්ශනය අනුව තමා නිර්වාන් කියන නමට කැමති වුණේ.

පුංචි පුතා කවදා හරි දේශපාලනයට ආවොත් ඒ නම ගැලපෙනවද?
ඒ නම දේශපාලනයට ගැලපෙන්නෙ නෑ… එයා දේශපාලනයට එයි කියලා හිතලා මම නම තිබ්බෙත් නෑ… එයාගේ කැමැත්ත කොහොම වෙයිද දන්නෙ නෑ. මම නම් දේශපාලනයට කැමති නෑ… අපි පුංචි කාලේ ඉඳන් තාත්තා ගෙදර නෑ… දේශපාලන වැඩ…. මගේ දරුවන් ඒ අත්දැකීම විඳිනවට මට කැමති නෑ…. අයියට අයියාගේ බිරිඳත් එක්ක ගෙවන්න තියන කාලය හරි අඩුයි. මගේ ජීවිතය එහෙම වෙනවට මම කැමති නෑ…

ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්නේ කොහොමද?
මම මගේම ව්‍යාපාරයක් කරනවා. ටට්යානාත් ඒකට උදව් කරනවා. කාබනික පොල්, පළතුරැ, එළවළු ටින් කරලා ඇමෙරිකාවට යුරෝපයට මාලදිවයිනට වගේ රටවලට යවන එක තමා මගේ ව්‍යාපාරය. ලංකාවේ මොනවා කළත් ඒක දේශපාලනීකරණය කරනවා. මම ඒකට කැමති නෑ. ඒකයි පිටරටත් එක්ක ව්‍යාපාර කරන්නේ.

අධ්‍යාපන කටයුතු දැන් ඉවරද?
මම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා… ටට්යානා මාස්ටර්ස් කළා… ඒ දේවල් දැන් සම්පූර්ණයි….

ආයෙත් ගුරුවරයෙක් වෙන්න අදහසක් නැද්ද?
කොළඹ ගංගාරාමයේ ආචාර්ය කිරින්දේ අස්සජී හාමුදුරුවෝ තාම කතා කරනවා දහම් පාසලේ උගන්වන්න එන්න කියලා. ඒත් දැන් වෙලාවක් නැහැ. මමයි ලොකු අයියයි දෙන්නම ගංගාරම දහම් පාසලේ ඉගැන්නුවා.

සිංහල, පාලි, සංස්කෘත ඉගෙන ගන්නත් ගංගාරාමයට ඔබ ගියා නේද?
සිංහල, පාලි, සංස්කෘත ඔක්කොම ඉගෙන ගත්තේ ගංගාරාමයේ අස්සජී හාමුදුරුවන්ගෙන්…. අපි තුන්දෙනාටම සිංහල, පාලි, සංස්කෘත හොඳට පුළුවන්. ටට්යානා කතෝලික වුණත් එයත් ගංගාරාමයට හුඟාක් කැමතියි. පන්සල ළඟින් ගියත් අපි අස්සජී හාමුදුරැවෝ බලන්න යමුද අහනවා. පොඩි හාමුදුරුවෝ එක්කත් ලොකු බැඳීමක් අපිට තියෙනවා. ඒත් අස්සජී හාමුදුරුවන් එක්ක මට තියෙන බැඳීම වෙනමම එකක්… මට ඕනෑම කාරණාවක් විවෘතව කතා කරන්න පුළුවන් අස්සජී හාමුදුරුවෝ එක්ක. උන්වහන්සේට හුඟාක් විවෘත අවබෝධාත්මක මනසක් තිබෙන්නේ.

නිර්වාන් පුතු හැදෙන්නේ බෞද්ධ දර්ශනය අනුවද…. නැත්නම් කතෝලික ධර්මය අනුවද?
බෞද්ධ දර්ශනය අනුව එයාගේ ජීවිතේ ගොඩනැගෙයි. බබාට මස් මාංශ දෙන්නෙත් නෑ…. එයත් දැන්ම නිර්මාංශ. එක දවසක් හාල්මැස්සො තම්බපු වතුරින් සුප් එකක් දීලා ඒක ඇලජික් වුණා. එදා ඉඳන් නිර්මාංශ. හැබැයි එයා කතෝලික හින්දු මේ හැම ධර්මයක් ගැනම ඉගෙන ගනියි. අම්මා කතෝලික නිසා මම හැදුනෙත් එහෙම…

ජ්‍යොතිෂය විශ්වාස කරනවද?
ලොකු විශ්වාසයක් නෑ….

ඇයි එහෙනම් පුතාට කේන්දරයක් හැදුවේ…?
සම්ප්‍රදාය අනුව… කේන්දරේ හැදුවට ඒක තියෙන්නෙත් හදපු හාමුදුරුවෝ ළඟමයි.

කවුද හාමුදුරුවෝ…?
ඕමල්පේ සෝභිත හිමි.

කේන්දරය බලලා කීව විශේෂ දෙයක් තියෙනවද?
ම්… ම්…. එහෙමමත් නෑ… කේන්දරේ වැඩිය කාටවත් පෙන්වන්න එපා කීවා…

තාත්තා කෙනෙක් වෙච්ච දවසේ මොකද හිතුණේ…?
ඒක වෙනස්ම හැඟීමක්… වගකීම් සහගත ආදරයක් පපුවට දැනුණා….

වැඩිපුරම ආදරේ පුතාටද? බිරිඳටද?
මුලින්ම හමුවුණේ ටට්යානා…. එදා ආදරවන්තිය අද බිරිඳ…. මුල්ම ආදරේ ඇයටයි.

පුතාගේ සීයායි පුතායි අතර තියෙන්නේ කොහොම බැඳීමක්ද?
අපි බැඳපු දවසේ ඉඳන් තාත්තා හැමදාම හින්ට් ගහනවා කවද්ද දැන් මම සීයා කෙනෙක් වෙන්නේ කියලා. පුතාව ඉපදුන ගමන් වඩා ගත්තෙත් තාත්තා… හැමදාම බබාව තාත්තාට බලන්න විජේරාම ගෙදරට අරන් යනවා… සීයාව දැක්කෙ නැත්නම් බබා අඬනවා… නිදා ගන්නෙත් නෑ… තාත්තාටත් එයා නොබලා ඉන්න බෑ. ඇත්තටම තාත්තා කාගෙ වුණත් දරැවන්ට ආදරෙයි…. වෙලාවකට සීයයි මුණපුරයි ෂර්ට් නැතිව නිදාගන්නවා…. තාත්තගේ ඇඟපුරා මගේ කොලුපැටියා නගිනවා.

මොකද්ද මේ චිචීට තියෙන බලු පිස්සුව….?
ආ… බල්ලෝ පහක් හයක් මට ඉන්නවා… පැටවු ආදරෙන් හදාගන්න අයට දෙනවා… මම උන්ව හොඳට පුහුණු කරනවා…. මගේ බල්ලන්ට වෙනම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් කරනවා… බල්ලා කතාකරන විදිහට බලු පේජ් එකේ මම කතා කරනවා… ගෙදර ගැන දේශපාලනය ගැන ලෝකය ගැන මට කියාගන්න ඕනෑ ඔක්කොම බල්ලගේ පිටින් දාලා කියලා දානවා…. 12,000ක් විතර මගේ බලු පේජ් එකේ ඉන්නවා.

පුතා වෙනුවෙන් කළ මියුසික් වීඩියෝ නිසා චිචීට රටේ මිනිස්සුන්ගෙන් බැණුම් අහන්නත් වුණා නේද?
අතිශය සුළුතරයකගෙන් බැණුම් ඇහුවා….

ඔබගේ ඉල්ලීමක් අනුවද එයා ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කළේ….?
නැහැ… මම එය රූපවාහිනියේ ප්‍රචාරය වනතුරු දන්නේ නැහැ… රූපවාහිනියෙ ප්ලේ වුණ බව දැනගත්තම මම කිව්වා මගෙන් ඉල්ලුව නම් ඔර්ජිනල් කොපියක් දෙනවා ඇයි ඩවුන්ලොඩ් ගත්තේ කියලා….

ජාතික මාධ්‍යයකින් මෙවැනි වීඩියෝවක් ප්‍රචාරය කිරීම වැරදියි කියන පිරිසට ඔබ දෙන උත්තරය මොකක්ද?
දේශපාලන ව්‍යුහයක් තුළ බැලුවොත් අපි කරන සියල්ල වැරදියි…. රාජ්‍ය මාධ්‍ය වෙච්ච පලියට ට්‍රෙන්ඩින් වැඩිනම් ඕඩියන්ස් එක ඉල්ලන දේ දීමේ වැරැද්දක් නෑ…. එහෙම නම් රැජිනගේ මංගල්‍යය ජාතික රූපවාහිනියෙන් පෙන්වපු එකත් වැරදියි… ගීතය රස නොවිඳ ඒ පුද්ගලයා දිහා බලන්නේ ඇයි? එහෙම නම් මට විතරක් බණින්නේ ඇයි? මේ වගේ තවත් පවුල් වීඩියෝ රූපවාහිනියේ ප්‍රචාරය වුණානේ… මම හරහා මගේ තාත්තාට බාප්පාට අයියට මඩ ගහන එක වැරදියි… මම විශ්වාස කරනවා මේ රටේ වැඩි පිරිස මේ ගීතය දිහා ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් බලන එකක් නැතිවෙයි කියලා…

කොහොමද මේ ගීතය නිර්මාණය වුණේ…?
ජීවිතේ හැම වැදගත් දෙයක්ම මම වීඩියෝ කරගන්නවා… ඒ මතක තමා මේ… අර බබාට රෝස මල් පෙති දාන්නේ වැලන්ටයින් දවසේ…. ලස්සනට ගීතය ලීවේ මාලිනී ලියනගේ. සංගීතය රදීෂ් වැන්දබෝනා… වීඩියෝ එක මන්ජිත්ගේ…මුලදී මේ වීඩියෝ එක බලලා තාත්තා ඇහුවා ඇයි යූ ටියුබ් දාන්නෙ නැත්තෙ කියලා.. මම කීවා ඇස්වහ කටහව වදී… බබා ටිකක් ලොකු වෙච්ච දෙන් කියලා…

වීඩියෝ එක බලද්දී පුතාගේ ප්‍රතිචාර කොහොමද?
අල්ලන්න හදනවා අත දික් කරනවා… ඒකේ ඉන්නේ එයාගේ අම්මා තාත්තා සීයා එයාගේ ඇහැට පුරුදු චරිතනේ. එයාට දැනෙනවා ඇති නේද එයා ළඟ ඉන්න අය නේද මේ කියලා…

දේශය පුවත්පත – සංජු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.