Jun
17
ඉන්දියානු තානාපති නිලධාරීන් දෙදෙනෙක් පාකිස්තානයේදී අතුරුදන්
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනකු පෙරේදා (15දා) පෙරවරුවේ සිට ආගිය අතක් නැතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
මෙම දෙදෙනා ඔත්තුකරුවන් බවට චෝදනා කරනු පිණිස පාකිස්තානයේ ආරක්ෂක අංශයක් විසින් ඔවුන් පැහැරගනු ලබන්නට ඇතැයි පුවත්පත අනුමාන කරයි.
අදාළ නිලධාරීන් දෙදෙනා යම් ස්ථානයක් කරා යෑමට උදෑසනින් පිටත්වූ නමුත් අදාළ ගමනාන්තයට ළඟාවීමට පෙර කිසියම් පිරිසක් ඔවුන් පැහැරගෙන ඇතැයි සැක කෙරේ. මෙම අතුරුදන් වීම පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළ කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව මේ අතර පාකිස්තාන බලධාරීහු පවසති.
මෙයට සති දෙකකට පෙර ඉන්දියාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉන්දියානු ආරක්ෂක ආයතනයක ඔත්තු බැලීමේ යෙදී සිටියදී ඉන්දියානු පොලිසිය විසින් අල්ලාගැනීම සහ ඔවුන්ට පැය 24ක් ඇතුළත රටින් පිට විය යුතු බවට නියෝග කිරීමට එකට එක කිරීමක් වශයෙන් පාකිස්තානය මෙය කරන්නට ඇතැයි ප්‍රකාශ වී තිබේ.
Source - මව්බිම