Jun
27
කොළඹට සහ කටුනායකට බෝම්බ දැම්ම කොටි නියමුවෝ ගැන හෙළිවූ රහස්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සතුරා බවට පත් වී ඇත්තේ කැනඩාවයි. මේ සතුරු ක්‍රියා ගැන නිරීක්ෂණය කිරීම 2015 බලයට පත් මෛත්‍රිපාල - රනිල් යහපාලන රජය අහෝසි කළේය. එසේම හිටපු විදේශ ඇමැති මංගල සමරවීර කොටි හිතවාදී කැනඩා සංවිධාන වූ කැනේඩියන් ටැමිල් කොන්ග්රස්, නැෂනල් කවුන්සිල් පෝ කැනේඩියන් ටැමිල්ස් සහ වර්ල්ඞ් ටැමිල් කෝඩිනේටින් කමිටි යන සංවිධානවල තහනම ඉවත් කරනු ලැබීය.
ඔහු මෙය සිදු කළේ බුද්ධි අංශවලින් එම සංවිධානවලින් තර්ජනයක් නැතැයි වාර්තා ඉදිරිපත් වූ බව දක්වමිනි. එහෙත් ඇත්ත තත්ත්වය නම් එකී සංවිධාන දිගින් දිගටම ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාමාර්ග ගෙන යෑමට ක්‍රියා කිරීමයි. එසේ වූවත් කීපදෙනකු හැර කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික පාර්ශ්ව ඊට එරෙහිව වචනයක්වත් පැවසුවේ නැත.
අද අපි හෙළි කරන්නේ වසර 11 ක් තිස්සේ වැළලී තිබූ අභිරහසයි. මේ තොරතුරු දැන් අනාවරණය වී ඇත.
2009 පෙබරවාරි 20 දා කොටි කමිකාසේ හෙවත් මරාගෙන මැරෙන නියමුවන් දෙදෙනකු කොටුවේ ගුවන් හමුදා මූලස්ථානයට සහ කටුනායක ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේදී මරුමුවට පත් වූහ. මොවුන් පැද වූ ස්ලින් -143 යානාවලින් එකක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගැටී විනාශ වූ අතර අනිත් යානාව කටුනායකදී වෙඩි තබා බිම හෙළනු ලැබීය.
මේ කොටි යානා පැද වූ කොටි ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ද එසේත් නැත්නම් අනාථයන් ලෙස කැනඩාවට ගොස් ගුවන් යානා පුහුණුව ලැබූ කොටින්ද?
වසර 11 කට පසු දැන් හෙළි වී ඇත්තේ මරුමුවට පත් වූ කළු කොටි නියමුවන්වූ රූබන් සහ ශ්‍රීධරන් කැනඩා ද්‍රවිඩයන් බවයි. මේ බව තහවුරු වූයේ පසුගිය මැයි 18 දා කැනඩා කොටි ජාලය විසින් මියගිය කොටි නියමුවන් දෙදෙනා සැමරීමයි.
මේ කොටි ත්රස්තයන් දෙදෙනා කව්දැයි දැන ගැනීමට එකල බුද්ධි සේවාවට හැකි වුයේ නැත. එහෙත් 2009 මාර්තු 1 දා යාපනයේ අච්චුවේලිහි පදිංචිකරුවෝ දෙදෙනෙක් ගුවන් මගින් කොළඹට පැමිණියහ. ඔවුන් දෙදෙනා පැවසූවේ එක් කොටි නියමුවෙක් අච්චුවේලිහි සිවරූබන් මුරුත පිල්ලේ බවයි.
මේ සිවරූබන් කොටි සංවිධානයේ ඉම්රාන් පාන්ඩියන් බළකායට බැඳී සිටි අයෙක් බව පැවසූ සාක්කිකරුවන් දෙදෙනා ඔහුගේ එක් සොහොයුරියක් ජර්මනියේ සිටින අතර අනිත් සහෝදරිය සහ මව වන්නියේ සිටින බවත් හෙළි කරනු ලැබීය.
මියගිය සිවරූබන් තම මස්සිනා යැයි පැවසූ එක් සාක්කිකරුවෙක් 2007 දී අච්චුවේලි සිට ඔහු සහ පවුලේ අය වන්නියට පැමිණි බවද අනාවරණය කර ඇත. එහෙත් සිවරූබන් සහ ශ්‍රී ධරන්ගේ මියයෑම ගැන ටොරොන්ටෝ නුවර පැවැති සමරුවේදී ඔවුන්ගේ ඡායාරූප ඉදිරියේ හඬා වැලපුනේ එක් කොටි නියමුවකුගේ පියා බව දැන් තහවුරු වී ඇත.
මෙම කොටි නියමුවන් දෙදෙනාට අදාළ තොරතුරු කැනඩා රජය වසන් කළේය. කොළඹට සහ කටුනායකට ප්‍රහාර එල්ල කිරීමට පැමිණිමේදී මරුමුවට පත් කොටි නියමුවන් දෙදෙනා ගැන ශ්‍රී ලංකා රජය එකල මෙරට සිටි කැනඩා මහ කොමසාරිස්ගෙන් විමසූ විට ඔහු පැවසූවේ කැනඩාව තුළ ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට නිදහස ඇති බවයි. එසේ නම් සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කළ අල්කයිදා නියමුවන් සැමරීමට කැනඩාව ඉඩ දෙන්නේද යන්න කළ විමසීමට මහ කොමසාරිස්වරයා ප්‍රතිචාර දැක් වූයේ නැත.
කොටි ගුවන් ප්‍රහාර එල්ලවන සමයේ ආරක්ෂක හමුදාව විසින් කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි ජෝර්ජ් ජුලියන් ඇතුළු කොටි සිව්දෙනෙක් අල්ලා ගනු ලැබීය. එහෙත් කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එම කොටි මුදා ගැනීමට පියවර ගනු ලැබීය. මේ තොරතුරු මේ දක්වාම වසන් වී තිබිණි.
එසේම වන්නි මෙහෙයුමින් පසු සී 4 නමැති ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1000 කට වැඩි සංඛ්‍යාවක් හමුදාව විසින් සොයා ගනු ලැබීය.
මේ පුපුරණ ද්‍රව්‍යවලින් මෙරට පිපිරීම් 600 කට අධික සංඛ්‍යාවක් සිදු කළ හැක. මෙම පුපුරණ ද්‍රව්‍ය මුලතිව් මුහුදෙන් මෙරටට ගෙන ආවේ කොටි ප්‍රවාහන ජාලයේ ප්‍රධානී රවි සංකර් කනගරාජායි.
සංකිලි නමින් හඳුන්වනු ලැබූ රවි සංකර්ට එරෙහිව වවුනියා මහාධිකරණය වසර 30 ක සිරදඬුවමක් නියම කෙරුණි. එහෙත් ඔහු පැන ගියේය. සංකිලි සිටින්නේ කොහේදැයි පොලිසියට හෙළි වූයේ නැත. මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව සංකිලි අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය ලවා ප්‍රකාශයට පත් කළ රතු වරෙන්තුව යහපාලන රජය සමයේ එකවරම අහෝසි විය. කැනඩා ආරංචි මාර්ග මේ සතියේදී පැවසූවේ රවිශංකර් හෙවත් සංකිලිට කැනඩා රජය එරට පුරවැසි බව ලබා දී ඇති බවයි.
එහෙත් මේ බිහිසුණු ත්‍රස්තයාව ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස 2020 නොවැම්බර් 20 දා ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ ජය ලැබීමෙන් එකවරම දේශපේ‍්‍රමීහු ලෙස හඳුන්වාගත් ශ්‍රී ලාංකික පාර්ශ්ව කැනඩා රජයට බල කළේ නැත.
එසේම කටුනායකට සහ කොළඹට බෝම්බ දැමූ මරාගෙන මැරෙන කොටි නියමුවන් දෙදෙනා පුහුණුව ලැබුවේ කැනඩාවේ කුමන ගුවන් යානා පැදවීම පුහුණු කරන පාසලෙන්ද සහ ඔවුන් කැනඩාවට පැමිණි ආකාරය ගැන තොරතුරු හෙළි කිරීමට ද කැනඩාව ඉදිරිපත් වූයේ නැත.
කැනඩාවේ කොටි සබඳතා ගැන තවදුරටත් හෙළි වූයේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සහ බිරිය ඇඩෙලාව කැනඩා නියමුවකු පැදවූ මාලදිවයින එයාර් ටැක්සි නමින් හඳුන්වන ගුවන් යානාවකින් ඉරනමඩු ජලාශය වෙත ගෙන ඒමයි.
මෙවන් පසුබිමක් මැද සිවරූබන් සහ සිරිහරන් නමැති කොටි නියමුවන් දෙදෙනාගේ ඡායාරූප කොටි වෙබ් අඩවියකින් ප්‍රකාශයට පත් වූවත් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඔවුන්ගේ ඡායාරූප ප්‍රකාශයට පත් වූයේ නැත. එහෙත් වසර 11 කට පසු කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට පැමිණි කොටි නියමු ශ්‍රීධරන් කඳවුරු භූමියේ වැටී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් විශේෂයෙන් Exclusive ඉදිරිපත් කිරීමට ඉරිදා දිවයිනට හැකි වී ඇත.
මෙම නියමුවා පැදවූ ස්ලින් යානාව ඉන්දීය බෝපෝර් අවිවලින් එල්ල කළ වෙඩි ප්‍රහාර වැදී බිම වැටුන බවට වාර්තා වූවත් පසුව පැවැති මරණ පරීක්ෂණයට ඉදිරිපත් වූ එක් ගුවන් හමුදා භටයෙක් පැවසූවේ තමා ටී 56 අවියෙන් එල්ල කළ ප්‍රහාරවලින් කොටි යානාව කඩා වැටුන බවයි.
එහෙත් කැනඩා රජය නිහඬ විය. මෙවන් පසුබිමක් මැද කැනඩා අගමැති ජස්ටින් ටූඩෝ පසුගිය මැයි 11 දා ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා රජය වගවීමේ ක්‍රියාදාමය ආරම්භ කළ යුතු බව කියා සිටියේය.
එසේම කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැනද විරෝධය දක්වනු ලැබීය.
කැනඩාවේ ද්‍රෝහි ක්‍රියා වසර ගණනාවක් තිස්සේ දියත් වූයේ කැනඩා කොටි ඩයස් පොරාව නිසාය.
මේ ඊට නිදසුන්ය.
1. ශ්‍රී ලංකා ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ මානව හිමිකම් උල්ලංඝනය කරන්නකු යැයි. 2013 දී අගමැති ස්ටීවන් හාපර් ප්‍රකාශ කිරීම
2. 2004 ජුනි 28 සිට ජුනි 30 දක්වා කොටි ඩයස් පොරොවේ විදේශ ඒජන්තවරු 22 ක කණ්ඩායම වන්නියට කැඳවූ ප්රභාකරන් අරමුදල් එකතු කරන ලෙස ඔවුන්ට කළ නියෝගය ඇතුළත් රහස් ලියවිලි ශ්‍රී ලංකාවට ලබා නොදීම.
3. මෙම රහස් ලියවිලි කැනඩා රහස් පොලිසිය දියත් කළ ඔපරේෂන් ක්රිබල් මෙහෙයුමෙන් හමුවිය.
4. කැනඩාවේ නොවස් කෝෂියා බැංකුවේ සහ කැනඩා ට්‍රස්ට් බැංකුවේ කොටි අරමුදල් ඇති බව වසන් කිරීම.
5. ටැමිල් ඊළම් සොෂෙයිට් නමැති කොටි සංවිධානයට ඩොලර් මිලියන 3 ක් කැනඩා රජය ලබාදීමට අදාළ තොරතුරු ශ්‍රී ලංකාවට දැනුම් නොදීම.
6. කැනඩාවට පැමිණි සන්සී කොටි නැවේ සිටි කොටි හමුදා ක්‍රියාකාරීන් 117 කට දේශපාලන රැකවරණ ලබාදීම - මොවුන් කව්දැයි ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවලට තොරතුරු ලබාදීම තහනම් වීම.
මේ අතර යහපාලන රජය කැනඩා කොටි හිතවාදීන්ට ශ්‍රී ලංකාවට පැමිණ උතුරට යෑමට දොර විවෘත කරනු ලැබීය.
ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි හා කැනඩාවේ කොටි හිතවාදී තෙනන් ශාන්ටද මුලතිව් වෙත යෑමට මෛත්‍රිපාල - රනිල් යහපාලන රජය ඉඩ දුන්නේය.
මුලතිව් වෙත ගිය ජෝන් ටෝරි මුලතිව් හි හමුදා කඳවුරක් කුමකට දැයි ප්‍රශ්න කළේය.
ඔහු තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත. ‘‘උතුරේ සෑම ද්‍රවිඩයන් තිදෙනකුටම එක් සෙබළෙක් බැගින් සිටිනවා. සැතපුම් කීපයක් යනවිට තවත් හමුදා කඳවුරක් දුටුවා. මා මේ ගැන උතුරේ ජනතාවගෙන් විමසූ විට ඔවුන් පැවසූවේ ජනතාවට අයත් ඉඩම් හමුදාව බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි. එසේම මියගිය අය වෙනුවෙන් උතුරේ ස්මාරකයක් නැහැ. මම පහනක් දල්වා මල්කලඹක් තැබීමට ක්‍රියා කළා යැයි ජෝන් ටෝරි තවදුරටත් පැවසීය.
මේ අතර කැනඩාවේ ද්‍රවිඩ සංවිධානවලින් උතුරු හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන්ට රුපියල් කෝටි 250 ක මුදලක් ලැබී ඇත.
උතුරේ සංවර්ධන කටයුතු සඳහා යැයි දක්වමින් විග්නේශ්වරන් මෙවන් අතිවිශාල මුදලක් ගෙන්වා ගැනීමට රජයෙන් අවසර ගෙන තිබුණේ නැත. ත්‍රස්ත මර්දන ඒකකයද මේ ගැන විමර්ශනයක් පැවැත් වූයේ නැත.
මෙවන් පසුබිමක් මැද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ පෙළේ බලධාරින් දැක් වූ නොසැලකිල්ල සනාථ වී ඇත. මෙම ප්‍රහාරය එල්ලවීමට පෙර 2019 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ප්‍රංශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික අන්තවාදීන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එල්ල කළ තර්ජනය අප විශේෂයෙන් හෙළි කළත් ත්‍රස්තවාදී මර්දන ඒකකය ඒ ගැන නිසි විමර්ශනයක් ආරම්භ කළේ නැත. එසේම මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල වන බව දක්වමින් අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පිහිටි පාද තුනේ පුටුව ඉදිරියේ විරෝධතාවයක්ද පැවැත්වූහ.
ඊට අමතරව ඒ. බී. සී. තමිල් ඔලි සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් යොමුකරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට ප්‍රහාර 241 ක් එල්ල වූ බව පවසනු ලැබීය.
2019 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශයක් කළ ප්‍රංශයේ සිට පැමිණි එක් ශ්ර්රී ලාංකික අන්තවාදී මුස්ලිම් ජාතිකයෙක් මහනුවර දිගන ප්‍රදේශවල මුස්ලිම් සංහාරයක් සිදු වූ බව කියා සිටියේය.
මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයාගේ ක්‍රියා කලාපය සමයේ ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති ලෙස ක්‍රියා කළ මුස්ලිම් ජාතිකයා ඒ ගැන ක්‍රියා කළේ නැත.
ජිනීවා මානව හිමිකම් පරිශ්‍රයේදී අප දෙස බැලූ එම මුස්ලිම් ජාතිකයා ළ`ගදීම පාඩමක් ඉගෙන ගනීවි යැයි සඳහන් කරනු ලැබීය. එහෙත් යහපාලන රජය යටතේ සිටි බුද්ධි අංශ එම අන්තවාදී මුස්ලිම් ජාතිකයන් ගැන සෙව්වේ නැත.
මේ නිසා පාස්කු ප්‍රහාරයට විදේශ සබඳතාවයක් නැතැයි කිව හැකිද? මේ අතර කොරෝනා වසංගතයෙන් වසා දමා තිබූ රට යළි ක්‍රමක් ක්‍රමයෙන් විවෘත වන අවස්ථාවේ උතුරේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක, කේ. පේ‍්‍රමචන්ද්‍රන්, තමිල් නැෂනල් පාටි පක්ෂයේ නායක එන්. ශ්‍රී කාන්ත සහ ඊළම් තමිලර් සුසාද්චි කයාගම් පක්ෂයේ මහ ලේකම් ආනන්දි සසිතරන් එක් වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සන්දේශයක් යවමින් මිනීමරු කොටි 91 කට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
මෙලෙස ජනපති සමාව ලබාගැනීමේ උපක්‍රමය නම් කොටින්ට එරෙහි යුද අපරාධ චෝදනා අහෝසි කර ගැනීමයි.
මේ කොටි ත්රස්තයන් රැසක් චෝදනාවලට වරදකරුවන් වූවන් වේ. මොවුන්ට ජනාධිපති සමාව දුන්නොත් විග්නේශ්වරන් ඇතුළු කල්ලිය ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා ඉවත් කර ගැනීමට ක්‍රියා කරන්නේ නැත. එවන් තත්ත්වයක් මැද මෙම බෙදුම්වාදීන්ගේ තක්කඩි උපක්රමයට රජය ගොදුරු විය යුතුද?
දේශපාලන සිරකරුවන් යැයි හඳුන්වමින් ජනාධිපති සමාව ඉල්ලන මේ කොටි ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ සහ සෙබළුන් මරා පුළුස්සා දැමූ මිනිමරුවන්ය.
මේ සතියේ ආරක්ෂක කරලිය දෙස විමර්ශනය කරන විට හමුදා බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේට මේජර් ජෙනරාල් ධුරය හිමිවීම ගැන කෝපයට පත් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරීනී යස්මින් සූකා ඔහු යුධ අපරාධකරුවෙකු බවට චෝදනා නගමින් ජානීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් යොමු කර තිබුණි. ඇය සාක්කි ලෙස ඉදිරිපත් කර තිබිණේ පුදුකුඩියිරිප්පු රෝහලේ හිටපු වෛද්‍ය තුරෙයිරාජායි. ඔහු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් බොරු දිව්රුම් සහතිකයක් නිසා ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ හිමි විය.
මේජර් ජෙනරාල් සලේ යුරෝපා රටකට පැමිණියහොත් විශ්ව සම්මුතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි යස්මින් සූකා ඉල්ලා සිටි බව මුල්වරට විශේෂයෙන් හෙළි කළේ Exclusive ‘‘ඉරිදා දිවයින’’ ආරක්ෂක විශේෂාංගයෙනි.
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර පදිංචි සුකාට එරෙහිව මේජර් ජෙනරාල් සලේ රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇතත් ඇය මේ වනතුරු ඊට ප්‍රතිචාරයක් දක්වා නැත.
ආරංචි මාර්ග දක්වන්නේ ඇයට තානාපති මුක්තිය හිමි බවයි.
සුකා මේ එන්තරවාසියට ප්‍රතිචාර නොදැක්වූවොත් ඇයට එරෙහිව නඩුවක් ගොනු කළ යුත්තේ දකුණු අප්‍රිකානු අධිකරණය හමුවෙයි.
මේ අතර ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප්‍රැන්සිස් සිද්ධියට අදාළ පරීක්ෂණ යළි ආරම්භ විය.
මෙම සිද්ධියට අදාළ පරිගණකයක් දරිෂා බැස්ටියන් නමැත්තිගේ නිවසේ තිබී රහස් පොලිසිය පසුගිය 9 දා සොයා ගනු ලැබීය.
ගානියා භාවිතා කළ ජංගම දුරකථනය ඇයට ලබාදුන්නේ දරිෂා බැස්ටියන් බව පරීක්ෂණවලදී හෙළි වී තිබිණි.
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ජිනීවා ගොස් එතැන් සිට ලන්ඩන් නුවරට පැනගිය දර්ෂා මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැත.
රහස් පොලිසිය එම පරිගණකය අධිකරණ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් බව වාර්තාවීමෙන් පසු ඇය කලබලයට පත් වී කොළඹ සිටින ඇගේ ජාලයේ පාර්ශ්වවලට දැනුම්දීමක් කරමින් දුරකථන දත්ත පිටවීම තුළින් අනතුරුදායක තත්ත්වයක් මතු වී ඇති බව කියා සිටියාය.
එහෙත් යහපාලන රජය යටතේ මාධ්‍ය පාර්ශ්ව රැසකගේ දුරකථන දත්ත රහස් පොලිසිය නිරීක්ෂණය කළේය.
දරිෂාගේ අතීතය ගැන නිරීක්ෂණය කළහොත් ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඉරිදා දිවයින නියෝජිතයා ගැන නිරීක්ෂණයේ පසුවිය. මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් විරෝධය පළ කර සිටි අවස්ථාවේ ඇය එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් ඡායාරූප ගත කළාය.
එම ඡායාරූප මානව හිමිකම් කවුන්සිලයේ සිටි ඇමැතිවරයකුගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබිණි.
මෙවන් පසුබිමක් මැද ලක්ෂමන් කදීර් ගාමර් ආයතනයේ අධ්යක්ෂ ධුරයකට සිංගප්පූර් පුරවැසියෙකු පත්විය. කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීමට බැරි බව පැවසූවේ මේ තැනැත්තායි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මෙහෙයුමෙන් පැවැති අධ්‍යක්ෂක මණ්ඩල සාකච්ඡාවට මොහු සහභාගී වී ඇත්තේ සිංගප්පූරුවේ සිටය.
පොදුජන පෙරමුණ රජයට මෙයට පෙරද වැරදුණි. මෙවරද වැරදෙන්නේ මෙවන් පුරවැසියන් නිසාය.
මේ අතර කළුජාතික ජෝර්ජ් ප්ලොයිඞ්ගේ මරණය තම වාසියට ගත් ස්විස්ටර්ලන්ත ඊළම්වාදීහු සැන්ට් ගාලන් සහ ලොසෝන් යන ප්‍රදේශවලදී ස්විස් ජාතිකයන් සම`ග එක්ව විරෝධතා පවත්වමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ද මුහුණ පා ඇත්තේ එවන් තත්ත්වයකට බව කියා සිටියහ.
කළු ජාතිකයන් මර්දනය කරන අයුරින් ශ්‍රී ලංකා පොලිසිය ද්‍රවිඩයන් මරාදමන බවත් ඊළම්වාදීහු සාවද්‍ය ප්‍රචාරයක් ද දියත් කර ඇත.
Source - දිවයින