Jun 24

වැරදි නිවැරදි කර ගන්න කැමතියි - සනා මෙතෙක් නොකී කතා


සනත් ජයසූරිය ගැන කලින් කලට කුමන කතා ඇසුණත් ඔහු ලොව එක්දින ක්‍රිකට් වෙනස් කළ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවායි.

ඔහුගේ ආරම්භක පිතිකරණය, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම මෙන්ම ඔහු පිටියේ කළ හරඹ ගැන ක්‍රිකට් ලෝලීන් හොඳාකාරවම දන්නවා. ඔහුගේ දේශීය පටබැඳි නාමය “වමත් කසකාරයා”, ජාත්‍යන්තර පටබැඳි නාමය “Master-Blaster”. සනත් ජයසූරිය ගැන හඳුන්වා දෙන්නට එය හොඳටම ප්‍රමාණවත් ය.

පසුගිය දිනක ඔහුගේ මුහුණු පොතට එක් කළ ජායාරූප නිසා බොහෝ දෙනා සනත් ජයසූරිය ගැන කතා බහ කරන්න ගත්තා. තාමත් 50 වැනි විය ඉක්මවූවත් තරුණයකු මෙන් ජවසම්පන්නව සිටින සනත් ජයසූරිය විදිහට පිළිසදරක යෙදිලා තිබුණා.

මොනවාද කරන්නෙ මේ දවස්වල?
සමාජ දුරස්ථභාවය තියාගෙන ව්‍යාපාර කටයුතු සහ මගේ ක්‍රිකට් ඇකඩමියේ කටයුතු කරගෙන යනවා.

කොහොමද ව්‍යාපාර කටයුතුවල කොවිඩ් 19 බලපෑවේ
ඒකත් එක්ක පොඩි පසුබෑමක් ඇතිවුණා. ඒත් ඉතින් කොහොම හරි ආයේ හිමින් නැගිටින්න ඕනේ.

කොවිඩ් කාලේ ඉවුම් පිහුම් වැඩත් කළා නේද?
පොඩ්ඩක් විතර උයන්න පුළුවන්. රොටී හැදුවා. ඊට අමතරව දැල්ලෝ, පරිප්පු වගේ හුඟක් දේවල් හැදුවා. මුළුතැන්ගෙයි වැඩි කාලයක් ගත කළා.

රසටම හදන්න පුළුවන් මොනවාද?
දැල්ලො කරිය රසටම හදනවා.

මේ දිනවලත් සමාජ මාධ්‍යය තුළ හරි ජනප්‍රියයි නේද?
ඔව් ඒ මේ අපේ ඉශාර කොඩිකාර ගත්ත බොක්සිං සෙල්ලම් කරන ජායාරූප ටික නිසා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බොක්සිං සෙල්ලම් කරනවා දකින්නෙ කලාතුරකින් නිසා වෙන්න ඇති. මම නම් මේ දේවල් කරන්නෙ ශරීර යෝග්‍යතාව රැක ගන්න. සතුටුයි ලැබුණු ප්‍රතිචාරවලට. මම එදා ඉඳන්ම ශරීර යෝග්‍යතාව ගැන වැඩි සැලකිල්ලක් දක්වපු කෙනෙක්. ඒ දේවල් අදටත් කොයි තරම් කාර්යබහුල වුණත් කරගෙන යනවා. ඒ තුළින් ශක්තිය ජවය වගේම නිරෝගී භාවය රැකගන්න පුළුවන්.

දරුවන් ගැනත් මතක් කරමු නේද?
දුවලා දෙන්නා සහ පුතා. ලොකු දුව පාසල් අධ්‍යාපනය ඉවර කරලා වැඩිදුර උසස් අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වෙන්න ඉන්නෙ. පොඩි දුව සාමාන්‍ය පෙළ කරනවා. පුතා 8 වසරේ.

පුතාත් ක්‍රිකට් අඩිපාරේ යවන්න ද උත්සාහ කරන්නෙ
මගේ එහෙමම උත්සාහයක් නැහැ. එයා ගොඩක් මහන්සි වෙලා කැපවීමෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. එහෙම නැතුව මගේ පුතා කියලා විශේෂයක් නැහැ. එයාගෙ දක්ෂතාව මත තමා ඉස්සරහට එන්න ඕනේ. දක්ෂතා පෙන්නුම් කළොත් හොඳ ගමනක් තියෙයි.

පුතා කියන්නෙ කවද හරි ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියලා ද?
ඔව්. එයාගෙ ආසාවක් තියෙනවා. දැනට නම් හොඳින් ක්‍රීඩාත් කරනවා. බලමු ඉස්සරහට.. කොහොම වුණත් වෙලාවයි, වාසනාවයි දෙකම බලපානවා.

ක්‍රිකට්වලින් පස්සේ දේශපාලනයට ආවට ක්‍රිකට් වගේ හරි ගියේ නැහැ නේද?
ඔව්. දැන් මම දේශපාලනයෙන් අයින් වෙලා ඉවරයි. ආයේ දේශපාලනය කරන්නෙ නැහැ.

ඒ ගැන දුකක් ද තියෙන්නේ
නැහැ, එහෙම දුකක් නැහැ. මට නොගැළපෙන නිසා දේශපාලනය තුළ දිගු ගමනක් යන්න බැරි වුණා එච්චරයි.
ඒ ගැන මම හිතන්නෙ නැහැ. හැබැයි මම දේශපාලනය තුළ මොකද වෙන්නෙ කියලා හොයලා බලනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නෙ. ක්‍රියාකාරී දේශපාලනය තුළ නැහැ.

පාසල් ක්‍රිකට් ගැනත් මෑතක වැඩි අවධානයෙන් කතා කළා නේද
ජාතික මට්ටමින් අපිට තියෙන අවශ්‍යතාව ගැන අපි කතා කළා. පාසල් මට්ටමින් දක්ෂතා සපිරි දරුවන් රැසක් ඉන්නවා.
ඒ නිසා පාසල් ක්‍රිකට් නංවාලන්න පාසල් ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක එකතුවෙලා යන වැඩපිළිවෙළක් හදන්න ඕනේ කියන දේ අපි මතු කළා. බලමු ඉදිරියේ දී හොඳ දෙයක් දරුවන් වෙනුවෙන් කරන්න.

ඔබේ ක්‍රිකට් ඇකඩමියේ වැඩ කටයුතු කොහොමද ?
CCC ක්‍රීඩාංගණයේ තමා මගෙ ක්‍රිකට් ඇකඩමිය තියෙන්නේ. එතනත් දරුවන් 100ක් විතර ඉන්නවා අවුරුදු 6 -7 සිට අවුරුදු 15 – 16 දරුවන්. කොවිඩ් 19 නිසා පසුගිය කාළේ කිසිදු පුහුණුවීම් කටයුත්තක් සිදු වුණේ නැහැ.

නමුත් ගිය සතියේ ඉඳන් ආයේ අපි පෞද්ගලික වශයෙන් ඒ කියන්නෙ one to one ක්‍රමයට පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. පුහුණුවීම් කටයුතු කරන්න පුහුණුකරුවන් හය හත් දෙනෙක් ඉන්නවා. මේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් හොඳ තැනකට ගේන්න මූලික අඩිතාලම තමයි අපි හදන්නෙ.

අද ජාතික කණ්ඩායම නියෝජනය කරන අය ගැන මොකද හිතෙන්නේ
දක්ෂතා සපිරි අය ඉන්නවා. පසුගිය කාලේ නම් ඒ අයගේ පොඩි පසුබෑමක් දැක්කා.
ඒවා ඉතින් තාවකාලිකයි. දැන් නිවාඩුවෙන් පස්සේ පුහුණුවීම් පටන් අරන් තියෙනවා. මම හිතනවා නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගනී කියලා.

ඒ අය වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ, මූලිකව හදාගන්න ඕනේ මොනවද?
තම තමන්ගේ මානසිකත්වය තමා මූලිකවම හදාගන්න ඕනේ. ඒ එක්කම තමන් තුළින් වෙන්න ඕනේ වැඩ කොටස තේරුම් අරන් හොඳින් පුහුණුවීම් වෙනවා නම් ක්‍රීඩා කරනවා නම් හොඳ ගමනක් යන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා.

96 කණ්ඩායමට තාමත් ආදරෙයි, කට්ටියම ආයේ එකතුවෙන්න කියලත් ඉල්ලීම් එනවා නේද?
බොහෝ දෙනාගේ ඉල්ලීමක් තමයි 96 කණ්ඩායමේ එකතුවෙන් දෙයක් දකින්න ඕනේ කියන එක. ගිය අවුරුද්දේ වගේ එහෙම දෙයක් කරන්න පුළුවන් වුණා. මේ අවුරුද්දේ තාම එහෙම දෙයක් නැහැ. නමුත් මම හිතනවා ළඟදීම එහෙම එකතුවක් වෙයි. එදාට 96 කණ්ඩායමේ 14 දෙනාම ආයේ එකට බලන්න පුළුවන් වෙයි.

96 කණ්ඩායමේ අයගෙන් අදටත් සමීපව ඇසුරු කරන්නේ කවුද?
වෙනසක් නැහැ හැමෝම එක්ක එදා වගේම ඒ සුහදත්වය තියෙනවා. ඒ අතර රොමේෂ් කලුවිතාරණ,උපුල් චන්දන,චමින්ද වාස්,රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍යය වගේ අය නිතරම කතා කරනවා.
අර්ජුන අයියා දේශපාලනය නිසාත් අරවින්ද අයියා ව්‍යාපාර කටයුතු නිසාත් කාර්යබහුලයි. නමුත් පුළුවන් හැම මොහොතකම වගේ 96 කණ්ඩායම එකට ඉන්නවා.

ඔය කාර්යබහුල ජීවිතේ විවේකයක් ලැබුණාම ගත කරන්න කැමැති කොහොමද?
පැත්තකට වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න තමා කැමති. ඒ අතර සිංදුවක් එහෙම අහනවා.

වැඩියෙන්ම අහන්නේ මොන වගේ සින්දුද?
මම දේශීය සංගීතයට බෙහෙවින් ආස කරන කෙනෙක්. මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ රූකාන්ත ගුණතිලක ගේ ගීතවලට තමා වැඩි කැමැත්තක් තියෙන්නේ. ඒ අය තමා අපේ කාලයේ ගායකයෝ සහ අපේ කාලයේ වීරයෝ.

ලංකාවේ තුළ යන්න කැමැති කොහෙද?
එක තැනක් කියලා විශේෂ නැහැ. මම ගොඩක් කැමැති ලංකාවේ සංචාරය කරන්න. මම දකුණේ කෙනෙක් වුණාට තව දකුණේ බලන්න යන්න තැන් තියෙනවා. ඊට අමතරව නැගෙනහිර පළාතේ, උතුර, උතුර මැද, කතරගම, අනුරාධපුර, නුවර මේ හැම තැනකටම මම යන්න කැමැතියි.

ජීවිතේට තව දුරටත් එකතු කර ගන්න කැමැති මොනවද?
හැමදාම ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කර ගන්නවා. ඒක ලොකු කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් පොඩි කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් කාගෙන් හරි අපි ජීවිතේට යම් යම් දේවල් එකතු කර ගන්නව. ඒ අතර හොඳ දේවල් ළං කරගෙන නරක දේවල් පැත්තකින් තියන එක තමා අපි කරන්න ඕනේ.

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී පතපසුවීම් තියෙනවද?
ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඇවිල්ලා ඒ ඔස්සේ හැමදෙයක්ම ලබාගෙන අද මේ ඉන්න තත්ත්වය ගැන සතුටුයි. ජීවිතේ තුළ පසුතැවීම් නැතුවාම නෙවෙයි ජීවිතේ තුළ. ජීවිතේ තුළ කඩා වැටීම් සහ ඒ මතින්ම නැගිටුණු අවස්ථා තියෙනවා.
ඒක තමා ඕනෙම මනුස්ස ජීවිතයක ස්වභාවය. ජීවිතේ කියන්නේ ඉතින් ඒ සියල්ල අභියෝග මත යන ගමනක් නේ.

දැන් ජීවිතේ තියෙන අභියෝග මොනවද?
අභියෝග කියන දේ සාපේක්ෂයි. ඕනෙම ජීවිතයක අඩු වැඩි වශයෙන් අභියෝග තියෙන්න පුළුවන්. මටත් ඒක පොදුයි. අපි කරන්න ඕනේ ජීවිතේට එන අභියෝග භාර අරගෙන ඒ වෙනුවෙන් සාර්ථකව මුහුණ දෙන එක.

ලැබුණොත් ජීවිතේ දෙයක් වෙනස් කර ගන්න, මොනවද වෙනස් කර ගන්නේ..?
වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න එක තමයි.

ඉදිරි ඉලක්ක මොනවද?
මගේ ව්‍යාපාර කටයුතු තව දුරටත් දියුණු කරගෙන ස්ථාවරව පවත්වාගෙන යෑම තමා බලාපොරොත්තුව.

කලින් කලට සනත් ජයසූරිය ගැන කතා වෙනවා. ඇත්තටම සනත් කියන්නේ කවුද?
මේ රටේ ඉපදිලා ක්‍රිකට් ක්‍රීඩා කරලා රටට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීලා දැන් ක්‍රිකට් වලින් සමු අරන් සාමාන්‍ය විදියට ජීවත් වෙන මනුස්සයෙක්.

අරුණ පුවත්පත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.