May 31

ක්‍රිකට් තරුවක් නැති කළ කුඩු අපායක ඔබ නොදත් කතාව


පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් එක්ව දවසින් දවස කුඩු අල්ලන ප්‍රමාණය මිලිග්‍රෑම්වල සිට ග්‍රෑම් දක්වාත්, ග්‍රෑම්වල සිට කිලෝග්‍රෑම් දක්වාත් වර්ධනය වී ඇත. කුඩු වසංගතය කෙතරම් ඔඩුදුවා ඇත්දැයි කිවහොත් පාර්ලිමේන්තුවේ පවා කුඩ්ඩන් සිටිතැයි මන්ත්‍රිවරයකුද වරෙක චෝදනා කළේය. ශ්‍රී  ලංකාව පිටරටින් ගෙනෙන මෙම හෙරොයින් කිලෝග්‍රෑම් ගණනින් වෙනත් රටවලට ප්‍රවාහනය කෙරෙන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයිද කියති.

උත්තේජනයක් හා ජවයක් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් උත්තේජක ඔෟෂධ භාවිතාව සිරිතක් වුවද තහනම් උත්තේජක භාවිත කරන්නට ගොස් තම ක්‍රීඩා දිවිය විනාශ කරගන්නවුන්ද ඇත.

මේ අතර හෂීස්, ගංජා වැනි ද්‍රව්‍ය භාවිත කරන ක්‍රීඩකයන් ගැනද ඉතිහාසයේ කියැවෙන නමුත් හෙරොයින් හෙවත් කුඩු භාවිත කරන ක්‍රීඩකයකු ප්‍රථම වරට පොලිසියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවක් පන්නලින් වාර්තා විය.

මොහු ශ්‍රී  ලංකාව නියෝජනය කරන සිය පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක්ද වාර්තා කළ වේග පන්දු යවන්නකු වීම විශේෂයකි.

25 හැවිරිදි දේවපුරගේ ෂෙහාන් මධුසංක කුමාර නම් ක්‍රිකට් ක්‍රීඩකයා පසුගිය 23දා කුලියාපිටිය, බම්මන්න ප්‍රදේශයේ කූඩලුපොත්තට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පන්නල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු ඔත්තුවක් අනුව කරන ලද මෙම වැටලීමේදී ඔහු සමඟ හෙරොයින් ළඟ තබාගෙන සිටි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා අත හෙරොයින් ග්‍රෑම් 2කට මඳක් වැඩි ප්‍රමාණයක් බැගින් තිබී ඇති අතර හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වරදක් සිදුකර ඇති හෙයින් විස මත්ද්‍රව්‍ය ආඥා පනතේ 54 (අ), (ආ) සහ (ඇ) වගන්ති ප්‍රකාරව කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ජුනි මස 2දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සාමාන්‍යයෙන් කුඩු ගසා හසුවී බන්ධනාගාරගත වන්නන් එමට සිටියත් ඔවුන්ගේ වතගොත සමාජගත වනුයේ කලාතුරකිනි. එහෙත් ප්‍රසිද්ධ පුද්ගලයකු විශේෂයෙන් ශ්‍රී  ලංකාව නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙවැනි වරදකට හසුවන විට එයට ලැබෙනුයේ විශාල ප්‍රසිද්ධියකි. මෙය ලොව පුරාම ක්‍රිකට් ක්ෂේත්‍රයටද ගොස් හමාරය. එය ශ්‍රී  ලංකා ක්‍රිකට් වෙතද කළු පැල්ලමකි.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් පිලෙන් දුරස් වන්නට හේතු යෙදුණු ෂෙහාන්ගේ කෙටි කාලීන ජනප්‍රියත්වය ඔහුව වෙනත් මඟකට යොමු කරවීය. ආබාධය ඔහුගේ ක්‍රිකට් දිවිය අඳුරේ හෙලුවාදැයි යන්න දන්නේ ඔහුම පමණකි. ඒ ජනප්‍රියත්වය පසුපස හඹා එන පාප මිත්‍රයන් කිහිපදෙනකු නිසාය. මේ පාප මිත්‍රයෝ හෙරොයින් පානයට ඇබ්බැහිවූවෝය. ඒ ඇසුර ෂෙහාන්ගේ මුළු ක්‍රිකට් අනාගතයම අන්ධකාරයේ හෙළන මාවත තෝරා දුන්නෝය.

ෂෙහාන් මේ මිතුරන් සමඟ මත්කුඩු පානයට කෙමෙන් කෙමෙන් ඇබ්බැහි විය.

කලක් ගතවද්දී ඔහුගේම ගම්මු චෝදනා කළේ ෂෙහාන් මත්ද්‍රව්‍ය ජාවාරමේද නිරත වන බවටය. ටික කලකට හෝ ක්‍ෂණිකව ගම්මුන්ට වීරයකු වූ ෂෙහාන් දුෂ්ටයකු ලෙස පෙනෙන්නට පටන් ගත්තේය.

ඒ හේතුව නිසාම පන්නල පොලිසියටද ෂෙහාන් ගැන දුරකථන ඇමැතුම් ගලා එන්නට විය. අත්අඩංගුවට ගැනීමට ආසන්නයේදීම ගම්වැසියකු දුන් දුරකථන ඇමතුමෙන් කියැවුණේ ෂෙහාන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත් මේ මොහොතේද වාහනයේ මත්ද්‍රව්‍ය රැගෙන එහේ මෙහේ යන බවත්ය.

ලැබුණු තොරතුරු අනුව පන්නල පොලිසිය ක්‍රියාත්මක විය. ඒ මැයි 23 වැනිදාය. පොලිසිය තමන්ට දැල එළා ඇති බව ෂෙහාන් දැන සිටියේ නැත. ඔහු මිතුරකු සමඟ සිය වාහනයේ ගමනක් යමින් සිටියේය. ඒ වන විටත් මත්කුඩු මිලිග්‍රෑම් කිහිපයක් ඔවුන් ළඟ තිබිණි. පන්නල ප්‍රදේශය ආසන්නයේදී පොලිසිය ෂෙහාන්ගේ වාහනය නවතන්නට අණ කළේය.

එක්වරම ෂෙහාන්ගේ මිත්‍රයා කලබලයට පත් වුවත් ෂෙහාන් මඳකටවත් සැලුණේ නැත. රියැදුරු අසුන අසලට කිට්ටු කළ පොලිස් නිලධාරියා  ෂෙහාන් දෙස බලා මෙසේ කීය.

"මහත්තුරු දෙන්නම කරුණාකරලා වාහනයෙන් බහින්න."

"මම ශ්‍රී  ලංකා ක්‍රිකට් ටීම් එකේ ෂෙහාන් මධුශංක"

'මම ඔබතුමා ගැන අහල  තියෙනවා. ඒ වුණාට කරුණාකරලා වාහනයෙන් බහින්න."

කුමක් හෝ සිදුවෙමින් පවතින බව එවර ෂෙහාන්ට ඉවෙන් මෙන් දැනිණි."

"ඔයාලා මාව තාම අඳුන ගත්තෙ නැද්ද මන්දා?"

ෂෙහාන් යළි කීවේය.

"එහෙම නැත්නම් බහින්න කියැනවැ මහත්තයා. දැන් ඉතින් බහින්නකෝ...."

වාහනයෙන් එළියට බට ෂෙහාන් තමන්ගේ ක්‍රිකට් වංශ කතාවම දිග හැරියත් පොලිසිය ඊට කන්දුන්නේ නැත. ඔහුව හා මිතුරාවත් වාහනයත් පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීහු හෙරොයින් මිලිග්‍රෑම් කිහිපයක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගත්හ. ඉන් පසුව ෂෙහාන් හා මිතුරා කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඔවුන් දෙදෙනාව ජුනි මස 02 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

පන්නල ග්‍රාමයේ පෙදෙසක සාමාන්‍ය පවුලක උපත ලැබූ ෂෙහාන් මධුසංක මූලික අධ්‍යාපනය ලැබුවේ පන්නල ජාතික පාසලෙනි. එහිදී ක්‍රිකට් අත්පොත තැබූ ඔහු වැඩිදුර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අටියෙන් අපොස උසස් පෙළ හැදෑරීමට වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයට ඇතුළත් විය. එහිදී වේග පන්දු යවන්නකු හා පිතිකරුවකු ලෙස දස්කම් දැක්වූ ෂෙහාන් කොළඹ සැරසන්ස් ක්‍රීඩා සමාජයටත් ඉන් පසුව ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයටත් බැඳී ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්විය. මේ අතර පැවැති 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනුණු දස්කම් දැක්වීම නිසා ඔහු ජාතික සංචිතයට කැඳවනු ලැබීය.

ඉන්පසුව 2018දී බංග්ලාදේශය සමඟ ප්‍රථම වරට එක්දින වරම් ලැබූ ඔහු තම මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා කාගෙත් කතාබහට ලක්විය. ඒ සමඟම බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස තරග දෙකකටද සහභාගි වූ ඔහුට ආබාධයක් හේතුවෙන් කලකට පිටියෙන් ඉවත් වන්නට සිදුවිය.

බංග්ලාදේශය සමඟ ක්‍රිකට් තරගාවලියේ ෂෙහාන් මධුෂංඛගේ දස්කම් ගැන වඩාත්ම සෑහීමකට පත්ව සිටියේ එවකට සිටි පුහුණුකරු වූ චන්දික හතුරුසිංහය.

ඔහු තේරීම් කමිටුවට දන්වා සිටියේ ෂෙහාන් මධුශංඛ මීළඟ විස්සයි 20 ලෝක ශූරතා කුසලාන තරගාවලියේ ශ්‍රී  ලංකා කණ්ඩායමට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු ක්‍රීඩකයකු බවයි.

අවසන් පන්දුවාර කිහිපයේ පැමිණ වේගයෙන් පන්දුවට පහරදීමට ඔහුට තිබුණු හැකියාවද චන්දික හතුරුසිංහගේ අවධානයට ලක්ව තිබිණි.

එහෙත් ෂෙහාන් මධුශංඛගේ ආබාධයත් සමඟ චන්දික හතුරුසිංහද ශ්‍රී  ලංකා පුහුණුකාරීත්වයෙන් ඉවත් කෙරුණු අතර තේරීම් කමිටුවද වෙනස් විය.

ඇතැම් විට ෂෙහාන්ගේ අවාසනාවටම මේ දේ සිදුවන්නට ඇත. ශ්‍රී  ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඒ ඒ පුහුණුකරුවන්ට හිතට ඇල්ලූ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා ලැබීම අමුතු දෙයක් නොවේ.

මේ හේතුවෙන් ඔහු මාස ගණනක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව ප්‍රතිකාර ලබමින් සිටි අවධියේ හෙරොයින්වලට ඇබ්බැහි වී ඇතැයි පැවැසේ. ආබාධය සුවවීමෙන් පසුව ඔහු මෙවර ප්‍රමුඛ පෙළ  ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට බදුරලිය ක්‍රිකට් සමාජයට බැඳුණද පුහුණුව මඟහරිමින් තරගවලට සහභාගි නොවී කට්ටි පනිමින් සිටියේය. ඔහු මුළු තරගාවලියටම ක්‍රීඩාකර ඇත්තේ තරග දෙකක් පමණක් වන අතර එක් තරගයකට යවා ඇත්තේ පන්දු ඕවර් 2ක් පමණි.

පැයට කිලෝමීටර් 140ට වැඩි වේගයකින් පන්දු යැවූ ෂෙහාන්ගේ පන්දු යැවීමේ වේගය දඟපන්දු යවන්නකුගේ තරමට අඩාල වී ඇති අතර මෙම කාලය තුළදී පුෂ්ටිමත් සිරුරකට හිමිකම් කියූ ෂෙහාන් දිනෙන් දින කෘශ වීමට පටන් ගෙන තිබිණි.

ජාතික පුහුණු සංචිතයේ පුහුණුව සඳහා ඛෙත්තාරාමයට යද්දී එහි පුහුණුකරුවන් පවා ෂෙහාන්ගේ වෙනස දැක ඔහුගේ හැසිරීම පිළිබඳ සැක පහළ කරන්නට යෙදිණි. කෙසේ හෝ ෂෙහාන් යමකට ඇබ්බැහි වී ඇති බව දැන ගත් ඔවුන් ෂෙහාන්ට දැඩි ලෙස අවවාද කර ඇතත් ඉන් පලක් වී නොමැත්තේ ඒ වනවිට ඔහු හොඳටම ඇබ්බැහි වී සිටීම නිසාය.

බදුරලිය ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩාකරන විට ඔහු ඒ වනවිට මිලට ගෙන තිබූ මෝටර් රථයෙන් පැමිණෙද්දී තවත් යහළුවකු නිතර පැමිණ තිබේ. තරග අතරතුර මොහු ක්‍රීඩාගාරයේ නිදන අයුරු ක්‍රීඩකයන් දැක තිබේ. පොලිසියට හසුවන විටත් ඔහු සමඟ සිට ඇත්තේ   මෙම යාළුවාමද යන්න තහවුරු වී නැතත් ෂෙහාන්ගේ හෙරොයින් ඇබ්බැහි වීම පසුපස යහළුවකු හෝ කිහිපදෙනකු සිටි බව නම් සැබෑය. ජුනි මස 2දා යළි නඩුව කැඳවූ විට ඔහුට ලැබෙන දඬුවම ගැන කිව නොහැකි වුවද දැනටමත් ක්‍රිකට් ආයතනය ඔහුට තහනම් කලාපයක් බවට පත්කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. මේ නිසාම සෑම මසකටම වරක් ජාතික සංචිතයේ සෑම ක්‍රීඩකයකු සඳහාම මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් පැවැත්වීමටත් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මෙය යම්කිසි විදියකින් හෙරොයින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් සඳහා ඇබ්බැහිවී ඇති තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් සිටී නම් ඔවුන්ට රතු එළියක් වනු ඇත. තම ක්‍රීඩකයන් ගලවා ගැනීම සඳහා ක්‍රිකට් බලධාරීන් විසින් ගන්නා ලද හොඳ පියවරක් ලෙස මෙය සැලකිය හැකිය.

තහනම් උත්තේජක භාවිත කිරීම නිසා ක්‍රීඩාව තහනම් කරන ලද ක්‍රීඩකයන් ඕනෑ තරම් සිටියද හෙරොයින්වලට ඇබ්බැහි වීම නිසා තහනමට ලක්වූ ශ්‍රී  ලංකාවේ ප්‍රථම ක්‍රීඩකයා බවට ෂෙහාන් මධුසංක ඉතිහාසගත වනු ඇත. මෙය ඔහුගේ මංගල තරග කඩුලු ත්‍රිත්වය පිළිබඳ වාර්තාවද මකා දමන කළු පැල්ලමක් තම ජීවිතයට එක්කර ගනිමින් වීම කනගාටුවට කරුණකි.

ඇත්ත වශයෙන්ම ෂෙහාන් මධුසංකගේ කතාව පසුපස ඇති පසුබිම සොයා බැලීම වටී. හෙරොයින් නිසා විනාශයට පත්වන තරුණ පරපුරේ නවතම ගොදුර මෙවැනි දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයකු වූයේ නම් දැන්වත් මුළු සමාජයම මේ ගැන දැඩි අවධානයක් යොමුකළ යුතු වන්නේය. මෙවැන්නන් පුනරුත්ථාපනය කළ හැකි පසුබිමක් සකස් කළ යුතුය.

යන්තම් මුදල් අතගැවසෙන විට, සමාජයේ ආකර්ෂණීය චරිතයක් වනවිට, විවිධ ආශාවන් හටගැනීම සොබාවික වුවත් එම ආශාවන් තමන්ගේ පරිහානිය වෙනුවෙන් යොදාගන්නේ නම් එබඳු ඛේදවාචකයක් තවත් නොමැත.

අනෙක් අතට ෂෙහාන් ආබාධය හේතුවෙන් තම ක්‍රීඩා දිවියේ සාර්ථක ආරම්භයේදීම ඉවත් කර තැබීම නිසා හටගත් මානසික ආතතිය හා පශ්චාත්තාපයට ඔහු වැරැදි අතකට යොමුනොවීම සඳහා නිසි ක්‍රීඩා කළමනාකාරිත්වයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක්ද මෙයින් කියැවේ. මේ සෑම ජාතික මට්ටමේ ක්‍රීඩකයකුටම පෞද්ගලික කළමනාකරුවෙක් සිටී. තම ක්‍රීඩකයා කළමනාකරණය කිරීම යනු ඔවුන්ට මුදල් උපයා දී ඉන් තම කොටස වෙන්කරවා ගැනීම නොවේ. ඔවුන්ගේ ගමන්මඟ සුපරික්ෂාවෙන් යුතුව බලා සිටීමද වැදගත්ය. කළමනාකාරිත්වය  සම්පූර්ණ වනුයේ එවිටය.

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයද නොසිතූ විරූ ලෙස මුදල් අතට ගන්නා තම ක්‍රීඩකයන් පිළිබඳ මීට වඩා විමසිලිමත් දෑසින් පසුවීමද වැදගත්ය.

එසේත් නොමැතිනම් තවත් ෂෙහාන්ලා බිහිවීම වැළැක්විය නොහැකි වනු ඇත.

Source - මව්බිම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.