May
14
තණමල්විල අහිංසකාවිය
දුෂ්කරතාවන්ගෙන් මිරිකිලා මුහුණේ සිනා පොදක් නැති ධම්මි ගේ චරිතයට පණ දෙන්නේ ඇයයි. තණමල්විල කොල්ලෙක් තුළින් ඔබ හමුවට එන ඇය කසුනි කාවින්දි.
2014 වර්ෂයේ ප්‍රේමකුමාර ජයවර්ධන අධ්‍යක්ෂණය කරපු මාද ඔබම විය ටෙලි නාට්‍යය තමයි ඇගේ මුල්ම නිර්මාණය. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටියදීය ඇයට ඒ අවස්ථාව හමු වෙන්නේ.
ඇයගේ ගම රත්නපුර.
ඇය අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ෆර්ගිසන් උසස් බාලිකා විද්‍යාලයේ. පුංචි කාලේ ඉඳලාම ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා. ළමා නාට්‍ය නිළියක් ලෙස සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබා ගෙන තිබෙනවා. එකොළහ වසර වෙනකම් නර්තනය විෂය කරලා, උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරලා.
පාසල් යන කාලයේ සිටම ඇයට නිලියක් වීමේ බලාපොරොත්තුවන් තිබිලා.
ඒ ගැන ඇය කිව්වෙ මෙහෙමයි.
“මම හිතාගත්තා කවදා හරි නිළියක් වෙනවා කියලා. විශේෂයෙන්ම පාසලේ මගේ ගුරු පියාණන් වූ සුමනසිංහ කේ. පතිරණ සර් මට ඒ සඳහා පාර කපලා දුන්නා. සර් ඉස්සර රත්නපුරේ ඉඳලා කොළඹට අපිව එක්ක එනවා නාට්‍ය බලන්න. මුලදි නිළියක් වෙන්න හිතුවත් නාට්‍ය හා රංග කලාව දිගටම ඉගෙන ගන්නකොට හිතුණා කවදාහරි නාට්‍ය හා රංග කලාව ගැන කථිකාචාර්යවරියක් වෙන්න පුළුවන් කියලා. අවසානයේ මම ඒ විෂයට ‘ඒ’ සාමාර්ථයක් ලබාගත්තා.”
“විශ්වවිද්‍යාලය ඇතුළේ මුහුණ දෙන්න සිදුවුණු සිදුවීම් එක්ක කථිකාචාර්යවරියක් වීමේ සිහිනය සඟවා ගන්න සිදුවුණා. මම අත්විඳපු දේවල් එක්ක කලකිරීමක් ඇතිවුණා. හැබැයි ඒ හීනය අත්හැරියා කියලා මට ආයෙමත් රස්සාවකට යන්න බැහැ. විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන වෘත්තීය කලාකාරිනියක් වීමේ අභියෝගය මම බාරගත්තා.”