Nov 20

ගෝඨාභය රටේ ජනපති කරපු රහසිගත ඡන්ද ප්‍රචාරක කණඩායම මෙන්න

 “Presidential Election Campaign” එක ගැනයි. මේ ගැන දැන ගන්න ඉන්න හොඳම පුද්ගලයන් දෙදෙනා තමයි ජගන ක්‍රිෂ්ණකුමාර් හා මෙවන් ලියනගේ කියලා කියන්නේ. මේ දෙදෙනා තමයි මුළු Campaign Team එකම සාර්ථකත්වය කරා රැගෙන යාමට මුල් වෙලා කටයුතු කළේ. දැන් අපි මේ දෙදෙනාගෙන්ම මේ අභියෝගාත්මක කර්තව්‍යය ඉටු කරපු ආකාරය ගැන දැන ගනිමු.

2019 නොවැම්බර් 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූවා. එතුමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේ තේමාව වූයේ  “සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්” යන තේමාවයි. ඉතින් මේ කතාව ඒ තේමාව මුල් කර ගෙන ක්‍රියාත්මක වුණු ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය, ඒ කියන්නේ

මුලින්ම මේ ගැන අපි එක්ක කතා කරන්නේ ජගන. ජගන, මුලින්ම අපිට කියන්න මේ වගකීම ඔබටත් ඔබේ කණ්ඩායමටත් පැවරුනේ කොහොමද කියලා.
ජගන - ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා. ඒ වගේම පොදු ජන පෙරමුණ කියන්නේ කෙටිම කාලයකදී ශ්‍රී ලංකාවේ ඉහළම ජනප්‍රියත්වයක් ලබපු දේශපාලන පක්ෂය. 2015 ජනාධිපතිවරණ හා මහ මැතිවරණ පරාජයන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, පොදු ජන පෙරමුණ පිහිටුවා ගන්නවා. ඉතින් මේ අලුත් දේශපාලන පෙරමුණට අවශ්‍ය වුණා අපේ ජනතාවට අලුත් විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන් පිරිසකට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය භාර දෙන්න. ඉතින් ඒ අවශ්‍යතාව අනුව තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත්, පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේත්, අපත් සමඟ ඉතා සමීපව කටයුතු කරපු රෝහිත රාජපක්ෂ මහතාගේත් සහ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ විශ්වාසයත් සහයෝගයත් එක්ක අපිට මේ campaign එක ලැබෙන්නේ. ඊට පස්සේ පොදු ජන පෙරමුණෙන් මුලින්ම අපට භාරදීපු වගකීම තමයි 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය. මේ campaign එකේදී ඇත්තටම අපිට අභියෝගයක් වුණේ මේ අලුත් පක්ෂය මහජනයා අතරට ගෙන යාමයි. මොකද ඒ වන විට පොදු ජන පෙරමුණ පිහිටුවලත් කෙටි කාලයයි ගත වෙලා තිබුණේ. ඒත් “යළිත් අපි රට හදමු” (To Rebuild Sri Lanka) කියන තේමා පාඨය යටතේ අපි ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ජනයා අතරට අරන් ගියා. එහි ප්‍රතිඵලය තමයි පොදු ජන පෙරමුණ පෙරමුණ ආසන 236ක් දිනා ගනිමින් පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීම. එය වාර්තාගත ජයග්‍රහණයක්. එයට හේතුව තමයි, ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු බලය අහිමි විපක්ෂ දේශපාලන පක්ෂයක් එවන් මැතිවරණ ජයග්‍රහණයක් මෙතෙක් ලබා නොතිබීම. ඒ සාර්ථක ප්‍රතිඵලයත් එක්ක 2019 ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන අපට භාර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වුණා. ඒ නිසා අපි 2019 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට අවශ්‍ය මූලෝපායන් සැලසුම් කරන්න පටත් ගත්තා. මේ සම්බන්ධයෙන් අදාල නිර්මාණ සහ සැලැස්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මුලින්ම අපි පෙන්නුවේ 2019 මාර්තු මාසයේදී.
ජගන ඉතින් ඔබ ඒ විදිහට පටන් ගත්ත මෙහෙයුම එතැන් පටන් ක්‍රියාත්මක කරපු ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? 
ජගන -  මුලින්ම අපි මේ කටයුත්ත කරන්න සුදුසු කණ්ඩායම තෝරා ගත්තා. මමත් මෙවන් ලියනගේත් මේ මෙහෙයුම ඉදිරියට ගෙන යන අතරේ සනිඳු ෆොන්සේකා, පසන් ලියනගේ සහ වත්සල රුබේරු යන පිරිස අපේ කණ්ඩායමට එකතු කර ගත්තා. ඒ වගේම රෝහිත රාජපක්ෂ මුල සිටම අපව දිරිමත් කරමින් අපට මඟ පෙන්වමින් අපේ කණ්ඩායමත් පක්ෂයේ ක්‍රියාකාරීනුත් අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට උපකාර කරනු ලැබුවා. මේ විදිහට වැඩ කරන්න පටන් ගත්ත අපි අපේ සම්පූර්ණ මෙහෙයුම කොටස් හතරකට බෙදුවා. ඒ කොටස් හතර තමයි මූලෝපායිකරණයන් (Strategy), සංකල්පීකරණයන් (Conceptualization), නිර්මාණකරණයන් (Creatives) හා නිෂ්පාදනයන් (Productions) කියන කොටස් හතර. මූලෝපායන් හා සංකල්පීකරණය යන කාර්යයන්ට අදාළව අපි මුලින්ම සිදු කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජා විද්‍යාත්මක දත්ත පිළිබඳව පුළුල් විශ්ලේෂණයක නිරතවීම. එම විශ්ලේෂණයට ශ්‍රී ලංකාවේ ආදායම, විරැකියාවල වැඩවර්ජන හේතුවෙන් අපතේ ගිය මිනිස් දින ප්‍රමාණය හා නව ඡන්දදායකයින් ගේ ප්‍රමාණය ආදී විවිධ නිර්නායක පදනම් කර ගත්තා. ඒ විශ්ලේෂණයට අනුව 2015 දී පත්වූ ආණ්ඩුව පිළිබඳව ජනයාගේ කළකිරීමට ප්‍රධාන හේතුව වන්නේ රට තුළ ඵලදායී කිසිදු වැඩක් සිදු නොවීම බව අප හඳුනා ගත්තා. නමුත් ඒ ඒ ජන කොටස් වැඩ කිරීම කියන දෙයින් විවිධාකාරයේ අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අපි තේරුම් ගත්තා. ඉතින් මේ දත්ත අනුව අපි තීරණය කළා මේ campaign එකෙන් වැඩ කරන රටක් ගොඩනැගීම කියන සංකල්පයට මූලිකත්වය දෙන්න. ඒ වගේ වැඩපිළිවෙළක් ජනගත කරන කොට ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තීමය දැක්මක් බව අපි තේරුම් ගත්තා. මඩ ප්‍රචාර හා වෛරී ප්‍රකාශවලින් දූෂණය වී ඇති සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම ඒ උදෙසා කිසිසේත්ම නොගැළපෙන බව අපි තේරුම් ගත්තා. ඒ නිසා ශ්‍රී ලංකාවේ මුල් බැස ගත් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණ උපක්‍රමවලින් එහාට අපි සිතන්නට පටන් ගත්තා. එතකොට රට හදන දැක්මක් සහ ඒ දැක්ම බලගන්වන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බව මම තේරුම් ගත්තා. ඒ අනුව මම මේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට තේමාව ලෙස ගොඩනැඟුවේ සාර්ථක දැක්මක් - වැඩ කරන රටක් යන තේමාවයි. ඉංග්‍රීසි භාෂාවෙන් ඒ තේමාව අපි ඉදිරිපත් කළේ  “Vision in Action” යන ලෙසින්. ඒ විදිහට තමයි නිල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ, නිල තේමාව නිර්මාණය කරලා අපි මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ.

මෙවන් එහෙනම් අපිට කියන්න මේ තේමාවත් එක්ක කොහොමද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිර්මාණකරණ සැලසුම සැකසුනේ කියලා.
මෙවන් - අපේ මුළු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයම ගොඩනැඟුණේ ප්‍රතිපත්ති පිළිබඳ කතා කරන පසුබිමක. ඒ වගේම අපි මේ සාකච්ඡාව ගොඩනැඟුවේ තාක්ෂණික යුගයක සිටයි. ඉතින් මේ නිසා අපි මේ campaign එකේදී භාවිත කරපු සෑම නිර්මාණාංගයක්ම නිර්මාණය කෙරුවේ අනාගතය ලෝකයට ගැළපෙන නිර්මාණාංගයක් විදිහටයි.
ජගන අපිට පැහැදිලි කරන්න පුළුවන්ද, මේ විදිහට සැලසුම් කරපු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කොතැනින් ආරම්භ වෙලා කොයි විදිහටද ඉදිරියට ගියේ කියන කාරණය?
ජගන - අපි මේ විදිහට මූලික වශයෙන් සැලසුම් කරන ලද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳ සැලසුම,  2019 මාර්තු මාසයේදී පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හා රෝහිත රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළා. එහිදී පක්ෂය විසින්,  මේ සැලැසුමට අලුතින් ඇතුළු කළ යුතු කරුණු කිහිපයක් වෙත අපේ අවධානය යොමු කළා. ඊට පස්සේ ඒ කරුණුත් එක්ක සකස් කරපු අපේ අවසන් මැතිවරණ ප්‍රචාරක සැලසුම අගෝස්තු මාසයේදී නිල වශයෙන්  ඉදිරිපත් කළා. ඒ අවස්ථාවට පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා, එවකට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හා ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු හා වෙනත් හිටපු අමාත්‍යවරු කිහිපදෙනෙක්ද සහභාගී වුණා. එයින් පසුවයි නිල වශයෙන්ම අපිට මේ භාරධූර වගකීම ලැබෙන්නේ. මුලින්ම අපට පැවරුනේ  ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනගත කිරීමයි. ඒ සඳහා මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අනු තේමාවක් වුණු රටටම සුභ ආරංචියක් කියන තේමාව යටතේ ප්‍රචාරක වැඩපිළිවෙළක් ජනගත කළා. මීළඟ අදියර වෙනුවෙන් අපි විජයග්‍රහණයේ ඇරඹුම යන අනුතේමාව තෝරා ගත්තා. ඊට පසුව අපි වැඩ කරන රටක් - සාර්ථක දැක්මක් යන ප්‍රධාන තේමාව යටතේ අපේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළා. ඒ වගේම කාල සීමාව තුළ පක්ෂය විසින් සංවිධානය කරන ලද මහජන සම්මේලන 25ක් හා දැවැන්ත මහජන රැලි සමූහයේදී අපි අපේ ප්‍රචාරණ ව්‍යාපාරය සාර්ථකව ගෙන ගියා.

මෙවන් අපිට කියන්න මේ ප්‍රචාරණ ව්‍යාපාරයේදී ඔබ ඉදිරිපත් කළේ මොන වගේ දේවල් ද කියලා?
මෙවන් - මූලිකව නිල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී සැකසුණු සෑම රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් දැන්වීම් හා සමාජ ජාල ප්‍රචාරණවල සම්පූර්ණ වගකීම දරුවේ අපි. ඒ මාධ්‍ය සම්බන්ධතාවලදී පොදු ජන පෙරමුණ වෙනුවෙන් අපි සෑම ජනමාධ්‍ය ආයතනයක් සමඟම හොඳ මාධ්‍ය සබඳතාවක් අපි පවත්වා ගෙන ගියා. ඉතින් ඒ ප්‍රචාරණ අතර වැඩිම ප්‍රතිචාරයක් ලැබුණේ අපේ තේමා ගීයට. ඒ තමයි වැඩ කරන අපේ විරුවා යන තේමා ගීය. එම ගීතය Apple Music Sri Lanka දර්ශකයේ පළමු ස්ථානයට පැමිණියා. අපේ ප්‍රචාරණ ව්‍යාපාර කටයුතුවලදී මෙන්ම පෞද්ගලික විනෝද සාදවලදී පවා ඒ ගීය වාදනය වුණු බව ඔබට දකින්න ලැබෙන්න ඇති. ඉතින් එවගේ ජනතා හදවත් වෙත අපේ දැක්ම අරන් යන්න පුළුවන් මේ අපූරු තේමා ගීය නිර්මාණය කරන්නේ පසන් ලියනගේ කියන අපේ ප්‍රවීණ සංගීතවේදියා. එහි පද රචනය මාලිනී ලියනගේ මහත්මියගේ. ගීය ගායනය කළේ චතුල ඉන්ද්‍රචාපා හා ටෙහානි ඉමාරා යන තරුණ ගායන ශිල්පී දෙපළයි. 
ඒ වගේම මෙම ප්‍රචාරක ව්‍යාපාර සඳහා අපි අලුතෙන්ම ඉදිරිපත් කරන ලද සංකල්පයක් තමයි Inclusive Governance, ඒ කියන්නේ ජනතාවාදී පාලනයක් කියලා කියන්නේ. එයින් අපි බලාපොරොත්තු වුණේ ආණ්ඩුකරණයේදී පාලකයාගේ අදහස් වගේම ජනතාවගේ අදහසුත් ආණ්ඩුකරණයට යොදා ගැනීම. ඒ සඳහා inclusivegovernance.lk යන වෙබ් අඩවිය අපි ආරම්භ කළා. ඒක ඉතා සාර්ථක වුණා කිව්වොත් නිවැරදියි. ඒකට හේතුව තමයි මෙම වෙබ් අඩවිය ආරම්භ කරලා දින තුනක් තුළ අපිට මහජන ප්‍රතිචාර 4500කට අධික ප්‍රමාණයක් ලැබීම. ඇත්තෙන්ම වෙබ් අඩවිය සාමාන්‍ය වෙබ් අඩවියක් නොවෙයි. මෙයින් පාලකයා හා ජනතාව ආණ්ඩුකරණයේදි සම්බන්ධීකරණය කළ හැකි අවස්ථාවක් විදිහට අපි දකිනවා. ඒ වගේම එයට ලැබුණු ප්‍රතිචාර ආණ්ඩුකරණය සඳහා ඉදිරියේදී සලකා බැලීමට නියමිතයි.
ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළකදී  “Augmented Reality” තාක්ෂණය යොදා ගැනීමට අපිට හැකි වුණා. එහිදී සාම්ප්‍රදායික පුවත්පත් දැන්වීම නව මානයකට ගෙන යන්න අපිට හැකි වුණා. පුවත්පතේ අපි ප්‍රචාරය කරපු ප්‍රචාරණ දැන්වීමත් සමඟ GR for Action යනුවෙන් සකස් කරපු App එක ඔස්සේ අලුත් අත්දැකීමක් අපි මහජනයාට ලබා දුන්නා. ඒ තමයි තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා එතුමාගේ ප්‍රතිපත්ති ගැන කරන කතාව සජීවීව ජනයාට දැකීමට සැලැස්වීම. ඒ වගේම එතුමාගේ සංවර්ධන සැලසුම්වල ත්‍රිමාණ ආකෘති හා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා එතුමා ගැන රටේ ජනයා දරන අදහස් ආදී සියල්ලම අපේ ජනයාට පුවත්පත් දැන්වීමකින් දකින්න හැකි වුණා. ඇත්තටම අපි එයින් බලාපොරොත්තු වුණේ අපේ අපේක්ෂකයාගේ දැක්ම වඩාත් හොඳින් අපේ ජනයාගේ හදවත් වෙත ගෙන යාමයි. එය Apple App Store දර්ශකයේ පළමු ස්ථානයට පැමිණියා.
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දස වැදෑරුම් පිළිවෙත ලෙස එළි දැක්වූවා. ඒ තුළ ඉදිරි අවුරුදු පහ තුළ රට ගොඩනඟන සාර්ථක දැක්ම අන්තර්ගත වනවා. ඒ නිසාම එය තරමක් දීර්ඝ ලියවිල්ලක්. මේ නිසා මෙය කොතරම් සාර්ථක ප්‍රතිපත්ති ප්‍රකාශණයක් වුවද එහි අන්තර්ගත ප්‍රතිපත්ති ජනගත කරලීම අපහසු වුණා. එනිසාම අපි ඒ සඳහා මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයම සාරාංශගත කරන Explainer Video මාදිලියේ eLearning content එකක් ජනගත කළා. මෙයත් ලංකාවේ මැතිවරණ ව්‍යාපාරයකදී ප්‍රථම වතාවට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් Explainer Video මාදිලියේ eLearning content එකක් ලෙස ඉදිරිපත් කළ අවස්ථාවක් ලෙස ඉතිහාසගත වනවා. ඒ වගේම ඉහළ සමාජ ජාල ප්‍රතිචාර ලබා ගනිමින් එම වීඩියෝව අපි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල Facebook පිටුවේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල Facebook පිටුවේ, පොදු ජන පෙරමුණේ නිල Facebook පිටුවේ හා නාමල් රාජපක්ෂ මහතාගේ නිල Facebook පිටුවේ සජීවීව විකාශනය  කළා. 
ජගන කියන්න මේ වගේ විශාල භාරධූර වගකීමක් ඔබ සහ ඔබේ කණ්ඩායම අතර බෙදී ගියේ කෙහොමද?
ජගන - ඇත්තටම අපි හොඳ කණ්ඩායමක් විදිහට අපි භාර ගන්නා ලද සෑම වගකීමක්ම හොඳින් ඉටු කරන්නට කටයුතු කළා. ඒ අතර මට භාර වුණු වගකීම වූයේ මේ සමස්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය මූලෝපායිකරණයන් (Strategy) සහ සංකල්පීකරණයන් (Conceptualization) දායකත්වය ලබා දීම. මෙවන් තමයි ඒ සංකල්ප සියල්ලක්ම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය කිරීමේ වගකීම දැරුවේ. ඒ වගේම තවත් ඉතා භාරධුූර වගකීමක් තමයි අපේ කණ්ඩායම හා අප හා සම්බන්ධ වන විවිධ පාර්ශව සමඟ හොඳ සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම. ඉතින් ඒ වගකීම පැවරුණේ සනිඳු ෆොන්සේකා වෙතයි. සනිඳු ඒ කාර්යයට අමතරව අපේ අරමුදල් කළමනාකරණය හා මාධ්‍ය ආයතන සමඟ අප පවත්වා ගත යුතු සබඳතාවක් මනාව පවත්වා ගෙන ගියා. ඒ වගේම මෙම campaign එකට අවශ්‍ය අදහස් ලබා දීම හා අපේ campaign එක පොදු ජන පෙරමුණට ඉදිරිපත් කිරීමේ කාර්යය වත්සල රුබේරු වෙත පැවරුණා. ඒ වගේම අපි කලින් සඳහන් කරපු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ content video එකත් වත්සලගේ නිර්මාණයක්. ඔහු ඒ සියලු කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන්න අපි එක්ක එකතු වුණා. 
ඒ වගේම මෙහිදී විශේෂ ස්තූතියක් හිටපු ජනාධිපති හා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාටත් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් හා රෝහිත රාජපක්ෂ මහතාටත් හා පක්ෂයේ මාධ්‍ය කමිටු සාමාජික මහත්වරුන්ටත් ලබා දිය යුතුයි. මොකද ඔවුන් තමයි අපි ගැන විශ්වාසය තබා ගෙන අපි වෙත මේ භාරධුර වගකීම ලබා දුන්නේ. ඒ අතරින් විශේෂයෙන්ම රෝහිත රාජපක්ෂ පක්ෂය හා අපේ කණ්ඩායම අතර මනා අන්‍යෝන්‍ය අවබෝධයක් පවත්වා ගෙන යාමට අපිට මහත් සහයෝගයක් ලබා දුන් බවද පැවසිය යුතුයි.
ඒ වගේම පොරොන්දු වෙනුවට සහතිකයක් කියන අපේ සංකල්පයට නිෂ්පාදනයෙන් දායක වුණු අමිල නිදහසවත්, සහ අනෙකුත් ප්‍රචාරණ දැන්වීම් නිර්මාණයෙන් දායක වුණු මනෝජ් පෙරේරාවත් අපිට අමතක කරන්නට බැහැ. ඒ වගේම GR for Action යන අපේ Augmented Reality app එක Develop කිරීමේ ස්තූතිය අනුෂ්කා වේරගමට ලබා දිය යුතුයි. 
මෙයට අමතරව අපට මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී අපත් සමඟ මනා සබඳතාවක් පවත්වා ගෙන ගිය සියලු මාධ්‍ය ආයතනවල සහෝදර මාධ්‍යවේදීන්ටත් ස්වේච්ඡාවෙන් අපට සහයෝගය දක්වන්නට අපට එක් වුණු සමාජ ජාල ක්‍රියාකාරී සියලු දෙනාටත් අපි අපේ ස්තූතිය ලබා දිය යුතුයි. 
මෙයට අමතරව අපිට විවිධාකාරයෙන් සහය වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය අපි පිරිනමනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.