Mar
28

ඔව්. අපිට පුතෙක් ලැබුණා. මම අම්මා කෙනෙක් වුණා. ඉතිං මම වගේම පවුලේ හැමෝමත් ගොඩක් සතුටින් ඉන්නේ.
අම්මා කියන පදවිය බොහෝ දෙනෙක් පෙරුම් පුරණ පදවියක්. පුතා ඉපදුණු වෙලාවේ දැනුණ හැඟීම කියන්න ගයේෂාට වචන තියෙනවද?
ඇත්තටම ඒ හැඟීම කියන්න මට වචන නෑ. පුදුමාකාර හැඟීමක්. අම්මා කියන වචනයත් එක්ක ලොකු අර්ථයක් තියෙනවා. ඒ පදවිය හරි ආදරණීයව දැනෙනවා වගේම ඒ පදවියත් එක්ක ලොකු වගකීමක් දැනෙනවා. මොකද තනියම හිටියා වගේ නෙවෙයි දරුවෙක් එකතු වුණාම වගකීම් වැඩියි.
හා හා පුරා කියලා පවුලට බලාපොරොත්තු වුණේ පුතෙක්ද?
මගේ කැමැත්ත තිබ්බේ පුතෙකුට. ඒත් දුවෙක් වුණත් පුතෙක් වුණත් දරුවෙක් කියන්නේ පවුලට සම්පතක්. ඉතිං අපිට ලැබුණේ පුතෙක්ව. අපි එයාව සතුටෙන් භාර ගත්තා.
පුතා ලැබෙන වෙලාවේ හසන්ජිත් ළඟ හිටියද?
ඔව්. එයා මගේ ළඟින්ම හිටියා. පුතා සාමාන්‍ය උපතකින් තමයි මේ ලෝකේ එළිය දැක්කේ. පුතාව මට ලැබෙද්දි ඒක බලාගෙන ඉන්න එකත් අමාරු දෙයක්. ඒ වේදනාව හසන්ජිත්ටත් ලොකු අත්දැකීමක්. මොකද මේක එයාගේ පළමුවැනි අත්දැකීම, දරුවගේ තාත්තටත් දරුවා ලැබෙන වෙලාවේ ළඟ ඉන්න ලැබෙන එක ඇත්තටම වටිනවා.
පුතා ලැබුණට පස්සේ අම්මා වගේම තාත්තත් පුංචි පුතා වෙනුවෙන් කැපවෙලාද ඉන්නේ?
මේ ඉන්ටව් එක දෙද්දි පුතා ඉපදිලා සතියක්වත් නැහැ. ඉතිං මේ වෙනකල් අපි දෙන්නටම එක මොහොතක්වත් නිදාගන්න ලැබුණේ නැහැ. හසන්ජිත්ගෙන් ලොකු සහයක් මට ලැබෙනවා.
ඒ කියන්නේ හසන්ජිත් වගකීම් දරන්න උපරිම කැපවෙනවද?
ඔව්. අම්මා කෙනෙක්ට වගේම තාත්තා කෙනෙක්ටත් ලොකු වගකීමක් තියෙනවා. මමයි හසන්ජිතුයි විවාහ වුණේ අවුරුදු හතරක ප්‍රේම සම්බන්ධතාවකට පස්සේ. විවාහයෙන් පස්සේ එයාගෙන් ලොකු ශක්තියක්, ආදරයක්, රැකවරණයක්, විශ්වාසයක් මට ලැබුණා. බබා ලැබුණට පස්සේ හසන්ජිත්ගේ ආදරය රැකවරණය දෙගුණ තෙගුණ වුණා.
ගයේෂාගේ පුංචි පුතා පවුලේම පළමුවැනි මුනුපුරානේ. ඒ නිසා ලොකු ආදරයක් පුතාට ලැබෙනවා ඇති නේද?
මගේ පවුලේ මම විතරයි. හසන්ජිත්ට නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒත් පවුලට එකතු වුණු පළමුවැනි මුනුපුරා අපේ පුතා. ඉතිං එයාට හැමෝගෙම ආදරය, ආකර්ෂණය අඩුවක් නැතිවම ලැබෙනවා.
පුතා කවුරු වගේ කියලද වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ?
පුතාගේ පෙනුම එයාගේ තාත්තා වගේ. පුතෙක් කොහොමත් තාත්තා වගේ වෙන්න ඕනෑ. මම ඒකට ආසයි.
පුතාට නමක් තිබ්බද?
ඇත්තටම අපි නමක් හිතාගෙන හිටියා. ඒත් පුතාට නමක් දාන්න සුදුසු අකුරුවලට ඒ නම ගැළපුණේ නැහැ. ඒ නිසා අපි එයාට ලස්සන ඉදිරියට වැදගත් වෙන නමක් දානවා.
දරුවෙක්ගේ අනාගතය ගැන අම්මා කෙනකුට හීන කන්දරාවක් තියෙන්න පුළුවන්නේ. ගයේෂටත් පුතාගේ අනාගතය ගැන හීන ඇති?
හැම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම ඔළුවේ දරුවගේ පෝෂණය දරුවගේ රැකවරණය, අධ්‍යාපනය, එයාගේ විවාහය වගේ විවිධ දේවල් ගැන හීන බලාපොරොත්තු මැවෙනවා. ඒවට බැඳෙනවා. ඒ සිතුම් පැතුම් අපිටත් තියෙනවා. හැබැයි කිසි දේකට හදිසි වෙන්න බෑ. දැනට තියෙන වැඩ කටයුතු කරගෙන අනෙක් සිතුම් පැතුම් ගැන හිතනවා.
පුංචි පුතා කුසේ තියාගෙනම ගයේෂා රංගනයට දායක වුණානේ. දැන් පුතා එක්ක කාලය ගත කරන්න ලොකු නිවාඩුවක් ගනියිද?
පුතා ලැබෙන්න මාස පහමාරක් වෙලා තියෙද්දී මම "ආරාරිරෝ" ටෙලි නාට්‍යයේ රඟපෑවා. තවත් නිර්මාණ වලට සම්බන්ධ වුණා. පුතා ලැබෙන්න ඉද්දි මම ප්‍රංශයටත් ගියා. හැබැයි පුතා ඉපදුණාට පස්සේ මාස හයක්වත් යනකල් මම වැඩසටහනකටවත් නොයා ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. සමහර වෙලාවට පොඩි කැපකිරීමක් කරන්න වෙයි. කොහොම වුණත් මාස තුනක්වත් යනකල් මම වැඩවලට ගෙදරින් එළියට අඩිය තියන්නෙ නෑ. මොකද පුතා වෙනුවෙන් ඉටු කරන්න තියෙන වගකීම් දැන් වැඩියි. එයාගේ රැකවරණය පෝෂණය ගැන මම මුලින්ම හිතන්න ඕන.
ලැබෙන වැඩ මිස් වෙන එක ගැන දුකක් නැද්ද?
මට වැඩ කිහිපයක්ම ලැබුණා. ඒත් සමහර ඒවා මඟහැරෙයි. මම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය කෙනෙක්. දරුවා ලැබුණා කියන ආරංචියටත් ගොඩක් අය මට කතා කළා. ඉතිං මම ජනප්‍රියත්වයේ ඉහළ තැනක ඉන්නවා. මම අවුරුද්දක් පුතා වෙනුවෙන් ඉඳලා ක්ෂේත්‍රයට ආවත් ප්‍රවීණයන්, මාධ්‍ය, මට උදවු කරයි. මගේ ජනප්‍රියත්වය අඩුවෙන්නේ නෑ. මිනිස්සුන්ට ගයේෂා පෙරේරාව ඕනේ.
ඒ කියන්නේ ගයේෂා රංගනයෙන් අයින් වෙන එකක් නැද්ද?
මම හැමදාම රඟපානවා, හැමදාම කෙල්ලගේ චරිතය කරනවා කියලා හැඟීමක් මට නැහැ. බෞද්ධ දර්ශනයේ හැටියට කිසි දෙයක් ස්ථිර නෑ. පෙර පින් පව්වල බලයෙන් ඕන දෙයක් රැකිලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් මම මාස හයක් විතර පුතා එක්කම ඉඳියි.
- මව්බිම