Jan 22

ඩී ජේ අරා සියතට ගියේ ලක්ෂ තිහක පඩියකටද? අරා ඇත්ත හෙළිකරයි

පහුගිය දිනවල ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් පිළිබඳ ආන්දෝලනාත්මක කතා ගොන්නක් පැතිරුණා. ඉතින් අප මේ චරිතය එක් කරගත්තේ ඒ ගැන ඇත්ත නැත්ත දැන ගන්නයි. මේ ඔබ කවුරුත් හඳුනන ඔබට ළෙන්ගතු හ‍ඬෙහි හිමිකරු DJ අරා හෙවත් අරවින්ද ලොකුගේ යි.


කෝ මේ DJ අරා?

ඉන්නවා ඉන්නවා..

මොකද එකපාර නිහඬ වෙලා?

ඒ නිහඬතාව ළඟදීම බිඳිනවා. පොඩි විරාමයක් ගත්තා විතරයි. මට ආදරය කරන අය, මා එක්ක තරහා අය, වෙනත් මාධ්‍ය සහ මා ගැන හොයන බලන අය මගේ විරාමය ගැන විවිධ මත පළ කරලා තිබුණා. මමත් ඒ හැමදේම අහගෙන සතියක් දෙකක් විතර නිහඬව හිටියා. මේ තමයි මගේ ඉවත් වීම ගැන වගේම ඇත්තටම මම මොනවද කරන්න යන්නේ කියලා මාධ්‍යට මම කතා කරන පළමු අවස්ථාව.

මෙදා පාර මොකද්ද කරන්න හදන පෙරළිය?

ඒ ගැනත් එක එක අයට විවිධ අදහස් තියෙනවා. ඔහොම ටිකක් ඉන්නකෝ..

එහෙනම් හදිසි ඉවත් වීම ගැන හරි අපිට ඇත්තම කියන්නකෝ ?

වසර 18 ක්ම හිටියේ හිරු එක්ක. ඉතින් ලොකු හදිසියක් වෙන්න විදිහක් නැහැනේ.. තැනකට ආවොත් එතැනින් කවදහරි දවසක යන්න වෙනවා කියන නියමය මම හැමදාම විශ්වාස කළා. යනවාද කියන ප්‍රශ්නේ නෙමෙයි. මට තිබුණේ යනවා නම් කොයි කාලෙද යා යුත්තේ සහ මොකද්ද යන්න හොඳ වේලාව .. කියන එකයි.

ඉතින් මේ ඊට සුදුසුම වෙලාව කියල හිතුවා. මම හරිනේද?

ඔව්. මේ තමයි හොඳම වෙලාව. කිසිම හදිස්සියක් තිබුණේ නැහැ. අවුරුදු 18 ඉඳලා හදිස්සියක් වෙන්න විදිහකුත් නැහැනේ. මෙය බොහොම නිවිහැනහිල්ලේ හිතලා ගත් තීරණයක්.

වසර ගාණක් හදා ගත්තු පැල දාලා යන්න අපහසු වෙන්නත් ඇති?

මේ මම සමහර වෙලාවට ජීවිතේ ගත්ත අමාරුම සහ ඉතා වේදනාකාරීම තීරණය වෙන්න පුළුවන්. වසර 18 ඉඳලා එතැනට සමු දීම පහසු නැහැ. නමුත් ඒ තීරණේ ගත්තට පස්සේ මගේ හිතට පොඩි සැහැල්ලුවක් දැනුණා. මොකද මම හරි තීරණේ තමයි නියම වෙලාවට අරන් තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා මම මගේ තීරණය වෙනස් කරනවා නම් හරියට බැලුවොත් මම තීරණයක් අරන් නෙමෙයි. එතැන වෙන්නේ මුට්ටිය දාලා බලනවා වගේ වැඩක්. සමහර අය මේක ආයතනයේ සහ මගේ ප්‍ර‍ශ්නයක් විදිහටත් ලඝු කළා. නමුත් මිනිස්සු තමන්ගේ තීරණවල ප්‍ර‍තිඵල විය යුතු මිසක් කවදාවත් සිදුවීම්වල ප්‍ර‍තිඵල විය යුතු නැහැ. ජිවිතේ කොතැනක හෝ තැනක මම ඉන්නවා නම් අද මම එතැනට ආවේ තීරණවලින් මිසක් සිදුවිම් වලින් නෙමෙයි.

ඔබේ ඉවත් වීම ආයතනය සමග ඇති කරගත් ගැටුමක ප්‍ර‍තිඵලයක් කියන කතාව බොරුවක්ද?

ආයතනය සහ මා අතර යම් යම් මතවාදී ප්‍ර‍ශ්න තිබුණා. දේශපාලනය, වැඩසටහන් සහ ක්‍ර‍මවේද විවිධ මත තිබුණා. නමුත් එය මට විතරක් නෙමෙයි. ඕනෑම කෙනකුට කාලය සමග අදහස් වෙනස් වෙනවා. එකඟ වෙන්න බැරි සමහර අවස්ථා එනවා. එතනදී මම තේරුම් ගත්තා ආයතනය වෙනස් කරනවාට වඩා මම වෙනස් වෙන එක පහසුයි කියලා. ඒ නිසා මම වෙනස් වුණා හැමදාම. ඔහොම කාලය යනකොට මමත් දැන් වෙනස් වුණා ඇති කියලා මම තීරණයක් ගන්නවා. ඒ තීරණයට අනුව මගේ තැන මම වෙනස් කළ යුතුයි. මට හැමදාම තිබුණේ මෙතැනින් කොතනටද යා යුතු, මගේ ජිවිතේ කොතැනටද මම අරන් යන්න ඕනේ, මොනවද මට ඇත්තටම කරන්න පුළුවන් කියන ප්‍ර‍ශ්නය මිසක් මම කර කර ඉන්න දේ ගැනවත් තැන ගැන ප්‍ර‍ශ්නයක්වත් නෙමෙයි.

ඉතින් දැන්වත් කියමුකෝ මොනවද අරාගේ අලුත්ම පෙරළිය කියලා?

අරමුණක් කියලා එකකට ගොනු කරගෙන කොටු කරන්න බැහැ. ඉදිරියේදී වැඩසටහන් කරයි. ඒ වගේ තව කාටහරි වැඩ කරයි. මම මේ යන ගමනෙදී මිනිස්සුන්ට මීට වඩා වැඩක් වෙන තැනට පත් කරන්න මට පුළුවන් වෙයි. මගේ එදිනෙදා වැඩසටහන්වල මිනිස්සුන්ට ඕනෑ දේ කොහොමටත් තිබුණා. ඊට අමතරව අපේ ශ්‍රාවකයාට තිබුණා නම් හොඳයි කියලා හිතන දේවල් සහ ඔවුන් හීනෙකින්වත් නොහිතෙන දේවල් එක්ක ඉදිරියෙදි අපි එකතු වෙයි. මේ පෙරළිය ගැන දැනට ඔය විදිහට තමයි මට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ අපි මොනවද කරන්න යන්නේ කියන කුතුහලයත් වටිනවා.

ඒ වෙනසේ දී DJ අරා ත් වෙනස් වෙයිද? නැතිනම් අලුත් වැඩසටහනකින් අරා එයිද?

ශ්‍රාවකයා මාව දන්නේ DJ අරා කියලානේ.. අරා කියන්නේ මගේ නම. DJ කියන කෑල්ලෙන් කියැවෙන්නෙ මගේ වෘත්තීය. ඉතින් මම වගේ තව ගොඩක් අය හිටිය පලියට මම මගේ අනන්‍යතාව වෙනස් කර ගත යුතුයි කියලා හිතන්නේ නැහැ. කොහේ ගියත් මම DJ අරා තමයි.

DJ අරා ගේ හඬ අපිට ඉදිරියේදී අහන්න ලැබෙන්නේ?

මාධ්‍ය කෙරෙහි තියෙන කැමැත්ත මා තුළ එලසෙම තිබුණත් ඉදිරියේදි පුර්ණ කාලිනව මාධ්‍ය ක්ෂේත්‍රයේ නොරැඳෙන තීරණයත් සමගයි මම ආයතනයෙන් ඉවත් වෙන්නේ. එහෙම වුණොත් නැවත මම ඒ වගේම තැනකට කොටු වෙනවා. දක්ෂතාව සහ මේ තියෙන වසර ගනනක දැනුමෙන් කාට හරි වැඩක් කරලා, තව අභියෝග තියෙනවා නම් එය ජය ගන්න ජිවිතේ කොටසක් අයින් කරලා. මගේ අධ්‍යාපන කටයුතු, ජායාරූපකරණය ඇතුළු ජීවිතේ අනිත් දේවල් වලටත් මම දැන් කොටස කොටස අයින් කරලයි තියෙන්නේ. ඔය අතර ආයතන ගනණාවකින් මට ආරාධනා ලැබුණා. ඒ හැම ආයනතයකටම මම ස්තුති වන්ත වෙනවා. නමුත් මගේ මේ තියෙන වැඩ පිළිවෙළත් එක්ක එකඟ වෙලා කරන්න පුළුවන් යෝජනාවක් මට ලැබුණේ ‘Voice Of Asia' ආයතනයෙන්. ඒ අනුව නුදුරේදීම සියත එක්ක වැඩ කරන්න මම තීරණය කළා. ‘සියත‘ කිව්වම ලංකාවේ ඕන කෙනෙක් දන්න නමක්. ඒ ගැන මට පොඩි සතුටක් තියෙනවා. සියත දන්නවා වුණාට සියත කරන්නේ මොනවද කියලත් ඉස්සරහට මිනිස්සු දැන ගන්න පටන් ගනීවි... එය තමයි ලොකුම අභියෝගය.

ඊට අවශ්‍ය මෙවලම් ආම්පන්න ටික දැනටමත් අපි ගාව තියෙන නිසා මම මේ අභියෝගයට කැමැතියි.

‘DJ අරා‘ සමග ඉදිරියේදී පැස්බරා නැතිවීම අඩුවක් නෙවෙයිද?

අඩුවක් දැනෙයි. එතකොට අපි කරන්නේ සම්පුර්ණ කරන එක නේ. එහෙම සම්පුර්ණ කළ හැකි වැඩසටහන් අපි ළඟ තියෙනවා.

ලංකාවේ වෙනත් ප්‍ර‍ධානම මාධ්‍යයක් මගින් මේ දිනවල ඔබේ නම සහ ඔබේ වැඩසටහනට සමාන වැඩසටහනක් පිළිබඳ ප්‍රචාරය වෙනවා?

මගේ නම යොදා ගෙන ඊට පොඩි පොඩි කෑලිත් එකතු කරගෙන ලංකාවේ ප්‍ර‍ධාන පෙ‍ළේ මාධ්‍ය ආයතනයක් මේ දවස්වල එහෙම ප්‍රචාරණ ක්‍ර‍මයක් දියත් කර ගෙන යනවා. එහි මට වරදකට වඩා පෙනෙන්නේ පොඩි බංකොලොත් භාවයක්. වැඩසටහනක ආකෘතිය උස්සන් යෑම එකක්. වැඩසටහන කරන මනුස්සයාගේ නමත් උස්ස ගෙන ගිහින් කරන කොට මට හිතෙන්නෙම සෑහෙන බංකොලොත් භාවයට පත් වෙලා කියලයි..මේච්චර කල් මේ මාධ්‍ය ඉතිහාසයේ වැඩසටහන් හොරකම් කළා මිසක් නම් හොරකම් කළේ නැහැනේ.. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙන්න ඇති වැඩසටහනත් එක්ක නිවේදකයාගේ නමත් හොරකම් කිරීම. එක අතකට ඉතින් හැම ආයතනයකින්ම මගේ නම පාවිච්චි කරලා හෝ යමක් කරගන්න පුළුවන් කියන හැඟීම තුළ ඇත්තටම මටත් පොඩි ගෞරවයක්, ගැම්මක් තියෙනවා. මොකද මගේ නම ගෙනියන්න ආයතන ගනණාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකත් පොඩි ජොලියක්..

නම හොරකම් කළාම ඔරිජිනල් අරාට හානියක් වේවිද?

ඉතිහාසයේ නම් එහෙම වෙලා නැහැ. වර්තමානයේ එහෙම කරන්න උත්සහ කළාට ප්‍ර‍තිඵලයක් තියෙයි කියලා ඉතිහාසයෙන් පාඩම් අරන් අපට පෙන්වන්න බැහැ. කොහොමත් ඔරිජිනල් එක ඔරිජිනල් විදිහටත් ඩුප්ලිකේට් එක ඩුප්ලිකේට් විදිහටත් දකින්න ඕනේ කරන හයිය ලංකාවේ මිනිස්සු අතර පේන්න තියෙනවා. ඒ නිසයි මිනිස්සු තාමත් ඔරිජිනල්ස් හොයන්නේ.

ටානියා මෝසස්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.