Dec
05

ඔව්. ඉඳලා ඉඳලා හොඳ වැඩක් පෙන්නුවා.
මොකක්ද ඔය පියුමි ලෝකෙටම පේන්න කරපු වැඩේ කියලා දැන් කියමු?
මෙවර Future Fashion Faces World තරගය තිබ්බේ ටර්කිවල ඇන්ටාලියා නගරයේ. රටවල් පනහක තරගකාරියන් ඒ තරගයට සහභාගි වුණා. ගොඩක් ලස්සන තරගකාරියන් එක්ක තරග කළේ. ගොඩක් ලොකු තරගයක් තිබ්බා. ඒ තරගයේදී මට Best Model Asia කිරුළ සහ Best Evening Wear කිරුළ හිමිකර ගන්න පුළුවන් වුණා. ඒ වගේ ජාත්‍යන්තර ඇගයීමක් ලබන්න හැකිවීම ගැන සතුටුයි.
ලංකාව වෙනුවෙන් මේ වගේ ජයග්‍රහණයක් ගන්න බලාපොරොත්තුවක් තිබ්බද?
ඔව්. ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. මම ලංකාවේ Pageant වලට හිටියා. ලංකාවේ ගත්තොත් එක එක රුචිකත්වයන්වලට සල්ලිවලට තමයි තේරීම් කරන්නේ. ඒත් මේ වගේ තරගවල හරි විධියට හරි කෙනාට හරි තැන දෙනවා. ඉතින් මට ලංකාව නියෝජනය කරලා ජයග්‍රහණ දෙකක් ලංකාවට අරගෙන එන්න පුළුවන් වුණා. මගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වුණා.
ලංකාවෙන් ගන්න බැරි වුණ කිරුළක් ජාත්‍යන්තරයට ගිහින් ගන්නද හැදුවේ?
ලංකාවේ නිරූපණ කටයුතු කරන ඕනම කෙනෙක්ට ජාත්‍යන්තරයට යන්න හීනයක් තියෙනවා. මටත් ජාත්‍යන්තරයට යන්න ආසාවක් තිබ්බා. මට ලංකාවේ වුණත් කිරුළක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් ලංකාවේ සුදුසු අයට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ලංකාවේ Pageant නම් මට අප්පිරියයි. National Director මාව මේ වගේ ජාත්‍යන්තර තරගයකට යෝජනා කළාම මම කැමැත්තෙන් ඒ වෙනුවෙන් සහභාගි වුණා.
ලංකාවේ නිරූපිකාවක් ජාත්‍යන්තර තරගවලට ගෙනියන පුද්ගලයෝ වංචා කරනවා කියලා මේ දවස්වල හරි හරියට අහන්න ලැබෙනවා. පියුමි වංචාවලට අහුවුණේ නැද්ද?
මාව මේ තරගයට යෝජනා කළේ විශ්ව පෙරේරා. ඔහු හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඔහුගේ උදව් එක්ක මට මේ තරගයට යන්න පුළුවන් වුණා. මම නම් ඔය කියන විදියේ වංචාවකට අහුවුණේ නැහැ.
විශ්ව ගැනත් සමහරු එක එක කතා කියනවා?
ඒවා ඊර්ෂ්‍යාවට කියන කතා. මට නම් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ.
පියුමිට මඩ ගහන්න පියුමිගේ අගුණ කියන්න ගොඩක් අය බලාගෙන ඉන්නවනේ. මේ ජයග්‍රහණය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?
මගේ වැරැදි හොයන අය වගේම මගේ හොඳ හොයන පිරිසකුත් ඉන්නවා. ගොඩක් අයගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මට හොඳ වටිනාකමක් ලැබිලා තියෙනවා.
පියුමි රංගනයට වඩා නිරූපණයට වැඩි බර දීලා වගේ?
ඔව්. මම ආසයි නිරූපණ කටයුතු කරන්න.
රංගන කටයුතුවල වැඩිපුර පේන්න නැත්තේ අවස්ථාව අඩු නිසා නෙවෙයිද?
මට අවස්ථාව අඩු නැහැ. මගේ පළමුවැනි ටෙලි නාට්‍ය කරද්දීම මට ආරාධනා එන්න ගත්තා. මම වැඩක් භාර ගන්නේ අධ්‍යක්‍ෂවරයා එක්ක වැඩ කරන්න පුළුවන් නම් සහ පිටපතට සාධාරණයක් කරන්න පුළුවන් නම් විතරයි. පෙරේත කමට මම වැඩ භාරගන්නේ නැහැ. එක වැඩක් ඉවර කරලා තමයි මම තව වැඩක් භාරගන්නේ.
ඒ කියන්නේ පියුමිට හැම නාට්‍යයකම පේන්න ඉන්න වුවමනාවක් නැද්ද?
නැහැ. මට එහෙම හැම නාට්‍යයකම පෙනී හිටින්න ආසාවක් නැහැ.
රංගන ශිල්පිනියක් විදියට සම්මානනීය වීමේ බලාපොරොත්තුවක් නැද්ද?
සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන නැහැ. මොකද රංගන ක්‍ෂේත්‍රයේ වුණත් සම්මාන උළෙලවල සාධාරණ විධියට සම්මාන ලැබෙන්නේ නැහැ. හොඳ ශිල්පීන්ට සම්මාන ලැබෙන්නේ හරි අඩුවෙන්. රංගන ශිල්පිනියක් විදියටත් මිනිස්සු මාව හඳුනනවා. කවදා හරි මගේ හැකියාවට සම්මානයක් ලැබුණොත් භාර ගන්නවා.
අලුත් වැඩවලට අතගැහුවේ නැද්ද?
මම සම්බන්ධ වුණ උදයකාන්ත මහත්මයාගේ චිත්‍රපටය ලබන වසරේ තිරගත වෙයි. ටෙලි නාට්‍ය තුනකටත් මම සම්බන්ධ වුණා. ඒ නාට්‍ය ඉදිරියේදී රිලීස් වෙයි. තව චිත්‍රපටයකට කතා කරලත් තියෙනවා.
ඉදිරි වැඩ ගැනත් සැලැස්මක් ඇති?
ඉදිරියේදී මගේම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා.
තරු ගුණයෙන් ගොඩයන්නද ලෑස්ති වෙන්නේ?
හැමෝම ගොඩයන්න කැමැතියි. මම අම්මා කෙනෙක්. මට හැමදාම රඟපාන්න, නිරූපණ කටයුතු කරන්න බෑ. ඒ නිසා තමයි ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ.
- මව්බිම