Nov 26

බුද්ධි අංශ විසුරුවා හරිමින් පාස්කු බෝම්බ කෑ නාටකය දැන්වත් නවතියි ?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින ආන්දෝලනයේ මේ දක්වා කෙළවරක් නැත. වර්තමානයේ දේශපාලන වේදිකාව උඩුයටිකුරු කරන්නට තරම් පාස්කු ප්‍රහාරය හේතුවී ඇත්තේද මේ නිසාය.

ත්‍රස්තවාදය පරාජය කොට යුද්ධයක් ජයගත් බුද්ධි අංශයක් අකර්මරණය වුයේ ඇයි දැයි දේශපාලන වේදිකාවල ඇතමෙක් ප්‍රශ්න නැගූහ. ඒ ප්‍රශ්නයට යම් පිළිතුරක් පසුගියදා නිකුත්වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාවේ දැක්වේ. නමුත් ඊට එහා ගිය සැගවුණු කාරණා බොහෝය. ඉහත ප්‍රශ්නයට තිබෙන සම්පුර්ණ පිළිතුර තවමත් මුළුමනින්ම සමාජයට නිරාවරණය වී නැත. ඊට හේතුව පුද්ගලානුබද්ධ කරමින් සමස්ත හිඩැස වසා දැමීමට තරම් බුද්ධි අංශය අතකොළුවක් කරගත් දේශපාලන බලාධිකාරි ක්‍රියාදාමයයි.

මේ නිසා පය බරවායට පිටකර බෙහෙත් බදින්නා සේ ගැලවිජ්ජාවට විලිලැජ්ජාව වසා ගැනීමට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර වටා සියලු වරදවල් පටවා අතපිසදා ගැනීමට ගිය බොහෝ දෙනාගේ බොරුව දැන් අතේ පත්තුවන්නට පටන්ගෙන ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාව නිකුත් වුයේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන දෙසට දඹර ඇගිල්ල දිගු කරමිනි. නමුත් එතෙක් ඔහු ගැන ප්‍රසිද්ධියේ එවැන්නක් කීමට තරම්වත් කිසිවෙකුත් ඉදිරිපත් වුයේ නැත.

මෙම පාර්ලිමේන්තු වාර්තාව නිකුත්වු වහාම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් හමුවේදී ප්‍රකාශ කර තිබුණේ අදාල වාර්තාව කිසිසේත් පිළිගත නොගන්නා බවයි.

මාධ්‍යට බොහෝ විට නිරාවරණය වු කාරක සභාවක වාර්තාවක් මෙලෙස එකවර ප්‍රතික්ෂේප කිරීමට තරම් හිටපු ජනපතිට තිබෙන හේතු කාරණා කුමක්දැයි ඇතමෙකුට උභතෝකෝටියකි. එකින් එක ගෙන මෙම සිද්ධි ගලපා බැලුවිට මේ ප්‍රහේලිකාව පුරවා ගත හැකිය.

ඒ සියල්ලට පෙර ආරක්ෂක ලේකම් ධූරයට හේමසිරි ප්‍රනාන්දු පත්කළ පරිසරය විමසා බැලිය යුතුය. හේමසිරි ප්‍රනාන්දු දක්ෂ පරිපාලකයකු ලෙස නම් දරා සිටියේ අද ඊයෙක සිට නොවේ. කොටින්ම කියතොත් රටට ණයක් නැතිව වැඩක් කළ මිනිසෙකු ලෙස ඔහුට ජනතා ප්‍රසාදයක් තිබිණි. හිටපු ජනපති මෛත්‍රි ද මේ බව හොදින්ම දැන සිටියේය.

සිරිමෝ බණ්ඩාරනායක අගමැතිනියගේ අග්‍රාමාත්‍ය ලේකම්ධුරය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තැපැල් අමාත්‍යාංශ ලේකම්ධුරය ඊට අමතරව ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සමාගම, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම, ආයෝජන මණ්ඩලය සහ මහජන බැංකුවේ සභාපතිධූර පමණක් නොව ක්‍රිඩාව පැත්තෙන් මෙරටට වැඩක් කොට නමක් තැබු ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති ධූරය ඇතුළු හේමසිරි ප්‍රනාන්දු කළ කී දෑ බොහෝය.

මෛත්‍රිට හේමසිරි අවශ්‍යය වුයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුම පාහේ ඔහුව අතහැර යමින් සිටි වකවානුවකදීය. එවැනි පසුබිමක තෝරාපත් කරන ආරක්ෂක ලේකම්වරයාට වුවද නිසි බලතල දී සැබෑ යුතුකමක් රට වෙනුවෙන් ඉටු කර ගැනීමට තරම් දුර දක්නා නුවණක් මෛත්‍රිට නොතිබුණ තරම්ය.

හේමසිරි පත්කර ගැනීමට පෙර මෛත්‍රීපාල ජනාධිපතිවරයා යටතේ ආරක්ෂක ලේකම්වරු තිදෙනෙක්ම සේවයේ නිරතවුහ. ඔවුන්ගෙන් පළමුවැන්නා වුයේ බී.එම්.යූ.ඩී. බස්නායකය. 2015 ජනවාරි 11 වෙනිදා ඔහු ආරක්ෂක ලේක්ම්වරයා ලෙස පත්වුයේ ජනාධිපතිධුරයේ මෛත්‍රිපාල සිරිසේන දිවුරුම් දීමත් සමගය.

වැඩි කලක් ඔහුට ජනාධිපතිවරයා සමග රාජකාරි කරන්නට ඉඩක් ලැබුණේ නැත. එම වසරේම සැත්තැම්බර් 08 වෙනිදා බී.එම්.යූ.ඩී. බස්නායක ආරක්ෂක ලේක්ම් ධුරයන් ඉවත්ව විය. ඒ වෙනුවට පත්වන්නේ ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චිය. ඔහු ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත්ව යන්නේ 2017 වසරේ ජූලි 05 වෙනිදාය. යම් කලක් සේවය කළද ඔහුද හිතහොදින් සේවය කළේ නැත. ඇක්සා ඇතුළු ගිවිසුම් දැන දැන නිහඩව සිටීමට ඔහුට සිදුවුයේද තනතුරට එහාගිය බලපෑම් නිසාය.

තුන්වැන්නා ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්නය. ඔහුටද වැඩි කාලයක් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමග වැඩ කරන්නට හැකියාව ලැබුණේ නැත. පරිපාලන කටයුතු ඉතා දක්ෂ ලෙස ඉටුකරන හේමසිරි ප්‍රනාන්දුට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරය 2018 ඔක්තෝම්බර් 30 වෙනිදා පිරිනමන්නේ මෙවන් වටපිටාවකය.

එකල රටම ඇළලීගොස් තිබුණේ දේශපාලන සුළි කුණාටුවකටය. ආරක්ෂාව තඹ දොයිතුවකට ගණණනකට නොගත් දේශපාලන අධිකාරි බල පොරය, එකිනෙකාගේ ඔනෑ එපාකම් මත කුළල් කමින් සිටියේය. කවරෙකුවක් ආරක්ෂාව ගැන විමසීමටවත් ඒ ගැන සැළකිල්ලක් දැක්වීමටවත් ඉදිරිපත් නොවීය. කැදවිය යුතු ආරක්ෂක කැදවීම්වලින් ජනපති හෝ අගමැති පමණක් නොව පොලිස්පති පුජිත් ජයසුන්දරද ඉවත්වී සිටියහ.

නාමල් කුමාරගේ නාටකය රටේ ප්‍රධාන මාතෘකාව වු අතර මත්ද්‍රව්‍ය නාශක ජනාධිපති කාර්ය සාධක බලකායෙන් නාමල් කුමාරට ගෙවීම් කටයුතු කර ඇති බවද අනාවරණය විය. එතෙක් සිටි ආරක්ෂක ලේකම්වරයාගේ දැන්වීමට පොලිස්පතිවරයාට ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක හමුවීම් පවා වාරණය කර තිබුණේය.

ඒ වන විට ජනාධිපතිවරයාගේ ධුර කාලය ගෙවී ගොස් තිබුනේ වසර තුනක පමණ කාලයකි. වසර තුනට ආරක්ෂක ලේකම්වරු තිදෙනෙක් පමණක් නොව, ජනාධිපති ලේකම්වරුද කිහිප දෙනෙක් මෛත්‍රි අතහැර ගියහ.

අලුතින් පත්වු හේමසිරි ප්‍රනාන්දුට සිදුවන්නේත් ඒ දේමය. එතෙක් හිටපු ජනාධිපතිවරුන් යටතේ සිටි ආරක්ෂක ලේකම්වරුන්ට තිබුණු තැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අලුත් ආරක්ෂක ලේකම්වරයාට ලැබුනේද නැත. ආරක්ෂක ලේක්ම්වරයාට පමණක් නොව, ජනාධිපති ලේකම්ටද ජනාධිපතිවරයා සමග නිදහසේ කථා බහ කිරීමට ඉඩක් නොවීය.

ආරක්ෂක ලේක්ම්වරයා රටේ ආරක්ෂාව ගැන ඔහු සමග කථාබහ කිරීමට යන විට ඔහු ඒ ගැන නොඇසු කන්ව සිටියේය. නිලන්ත මට කිව්වා. නිලන්ත කිව්වා යැයි නිතරම නිලන්ත තමන්ට කාටත් කලින් හැමදේම කියන බව හැගෙව්වා මිස හේමසිරි සමග වාඩිවී ආරක්ෂක සැලසුමක් සේනාධිනායක ලෙස සැකසීමට තරම් වැඩපිළිවෙලක් හිටපු ජනපති මෛත්‍රිට නොතිබුණු බව ආරක්ෂක අමාත්‍යංශයම දන්නා සත්‍යයකි.

දැන් අපට බලන්නට වන්නේ කවුද මේ නිලන්ත යන්නයි නිලත්ත ගැන හොදම කටකැස්ම ඇතිවුයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවෙන් පසුවය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ ඉහත වාර්තාව අනුව ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ (එස්.අයි.එස්) ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනටය. පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව නම් ඔහු සිහින දකිමින් සිටියේ අනාගත පොලිස්පතිවරයා වන්නටය.

පොලිස්පතිවරයා පමණක් නොව ආරක්ෂක ලේකම්වරයාද අභිබවායමින් ජනාධිපතිවරයාට කිට්ටුවන්නට තරම් ඇස් අන්ධවන්නට ඔහුට හේතුවක් නම් ඒ හේතුවයි.

ජාතික ආරක්ෂාවට අදාල බුද්ධි තොරතුරු පවා ඔහු ආරක්ෂක ලේකම්වරයා අතට පත්කරන්නට පෙර ඒ ගැන සෘජුව මෛත්‍රිව දැනුවත් කිරීමට පුරුදුවී සිටියේය. නිල බලයෙන්ම එවැනි හැකියාවක් තිබෙන මෙම නිලධාරියා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ගැන පමණක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට නොකියා ඒ බව තම නිලධාරි වළල්ලේ ජ්‍යෙෂ්ඨයන්ට පමණක් කියා ඇතැයි කීම තරම් රට හිනස්සන තවත් විහිළුවක් නැති තරම්ය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් දුරකථන සාක්ෂි ඇති නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙතරම් දුරකට නිලන්තව ආරක්ෂා කරන බවටද පොලිස් දෙපාර්මේන්තුව තුළ හාහෝවක් ඇත. හේමසිරි සහ පුජිත්ට පමණක් මෙහි වරද පටවන්නට යම් බලපෑමක් ඇතිවී නම් ඊට හේතුවන්නට වු ප්‍රබල හේතුවද එයයි.

අදාල සබැදියාවන් තවත් තහවුරු වන්නේ නම් දේශබන්දු තෙන්නකෝන්, ලලිත් එස්. පතිනායක වැනි සමකාලින නියෝජ්‍ය පොලිස්පතිවරුන්ව අභිබවා යමින් අනාගත පොලිස්පතිවරයෙක් වන්නට නිලන්ත ජයවර්ධනට පාර කපා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් කරන්නේද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හරහා වීමය.

ආරක්ෂක බුද්ධි අංශය වෙනුවෙන් නැවත විගණනය නොවන මුදල් ලෙස මාසිකව වැය කරන රුපියල් මිලියන 40කට වැඩි මුදලක් නිලන්තලාට ලැබෙනුයේ ආරක්ෂාව පිළිබද සොයා නිසි ක්‍රියාදාමය ඉටු කොට ඉහළ බලධාරින් ඒ ගැන දැනුවත් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටය.

හතර හිනාවට කාරණය නම් පාස්කු ප්‍රහාරය සිදුවන තුරුත් මෙතරම් මුදලක් යොදමින් නඩත්තුවන රාජ්‍ය බුද්ධි සේවය එය වළක්වාලීමට කළ අඹමල් රේණුවක දෙයක් වත් නොවීමයි. අරයට කිව්වා, මෙයාට කිව්වා, යැයි කියන කතා පාසල් කාලය සිහිගන්වනවා මිස රටක ආරක්ෂාව පිළිබද වගකිවයුත්තන්ගේ හැසිරීමක් පිළිබිඹු කරන්නේද යන්න ඔබටම වැටහෙනවා ඇත.

එක්දහස් පන්සීයක් පමණ සෘජුව සම්බන්ධවන නිලන්තගේ රාජ්‍ය බුද්ධි සේවයට සහරාන් නැතත් ඔහුගේ අනුගාමිකයෙක් වත් පාස්කු ප්‍රහාරයට පෙර අල්ලා ගන්නට බැරි වු බව සත්‍යයකි.

නමුත් සමාජගතව ඇත්තේ නිලන්ත ජයවර්ධන නායකත්වය දරන රාජ්‍ය බුද්ධි සේවය කල් තියා එම ප්‍රහාරය ගැන බලධාරීන් දැනුවත් කළ බවය. බලධාරින් දැනුවත් කළ පමණින් අත පිසදමා ගැනීමට නොහැකි බොහෝ කතා නිලන්තගේ පසුබිමේ ඇති බව ඉහත කරුණුවලින්ම පැහැදිලිය.

අභ්‍යන්තර තොරතුරුවලින් දැන ගන්නට ඇති ආකාරයට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයට ලැබෙන්නේ ඉන්දියාවෙනි. මුලින් එම තොරතුර ලැබී ඇත්තේ සනාත නොකල තොරතුරක් ලෙසිනි. ඒ ගැන නිලන්ත සිය සේවයේ සිටින ඔත්තුකරුවන් මගින් සනාත කරනවා වෙනුවට කර ඇත්තේ එය කිසිසේත් සිදුවිය නොහැක්කක් සේ සලකා ලාච්චුවේ දමා ගැනීමය.

ඔහු සිය ඔත්තුකරුවන් යොදා ඒ මුල් තොරතුරට ක්‍රියාත්මක වී නම් ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු පිරිස සිටිය යුත්තේ අත්අඩංගුවේය. ඉන්දියාව දෙවැනි තොරතුර ලබාදෙන්නේ ප්‍රහාරය අනිවාර්යෙන්ම සිදුවන බවටය. ඒ ගැන ආරක්ෂක ලේකම්වරයා සමග කථාබහ කර නිසි ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස්කරනවා වෙනුවට නිලන්ත කරන්නේ වට්ස් ඇප් පණිවුඩයක් යැවීමය. ඒ ඉන්දියාවෙන් ලද තොරතුර එහෙම් පිටින්ම පිටපත් කර ආරක්ෂක ප්‍රධානියා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ට ලබාදීමය. අනතුරුව ඔහු කළේ වට්ස්ඇප් මැසේජ්වලින් මෙතෝදිස්ත පල්ලි තිබෙන තැන් සෙවීමට උත්සුක වීමය.

ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ඉන්දියාවෙන් ලැබුණ සනාථ නොවූ තොරතුර නිල වශයෙන් අප්‍රේල් 9 වැනිදා පොලිස්පතිවරයාට දැනුම් දුන් අතර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පොලිස්පතිවරයාට දැනුම්දී ඇත්තේ ඉන්දියාවෙන් ලැබුණ තොරතුර හැර තමාගේ නිරීක්ෂණයට අනුව මේවා සනාථ වී නොමැති බවය.

අඩුම තරමින් ආරක්ෂක මන්ඩල රැස්වීමක් කැදවීමට ජනපතිට හෝ ආරක්ෂක ලේකම්ට බලකොට ඒ ගැන සෙසු ආරක්ෂක අංශ දැනුවත් කිරීමටවත් ඔහු නිසි පියවරක් ගත්තේ නැත. ප්‍රහාර තොරතුරුවලට පෙර රැස්වු ආරක්ෂක මණ්ඩලය රැස්වීම්වලදී මුල පටන්ම අති ගරු ජනාධිපතිතුමා යැයි පටන් ගන්නා නිලත්ත බොහෝදිනවල අනෙක් අයට කතා කිරීමට තරම් ඉඩක් තැබුවේද නැත. පුදුමය නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු පදනම් කරගනිමින් එවැනි හමුවක අවශ්‍යතාව පෙන්වා දී එසේ නොවන්නේ නම් රට හමුවේ ඇති අනතුර මාධ්‍යයට හෝ පැමිණ රටේ ජනතාව දැනුවත් කිරීමට මෙම නිලධාරියා කටයුතු නොකිරීමය.

රටේ ඉතිහාසය පිරික්සීමේදී ආරක්ෂක ලේකම්ධුරය ශත්තිමත්ව පැවැතියේ වත්මන් ජනපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී වසර 08 ම ආරක්ෂක ලේක්ම්ධුරය දැරුවේ ඔහුය. ජනපති සොහොයුරාවීම නිසා මෙම කාර්ය වඩා පහසුවු බවත් අනෙක් නිලධාරියෙකුට එය එතරම් සුමට නොවන බවත් ඇත්තය.

වැඩිම කාලයක් ආරක්ෂක ලේක්ම් ධුරයේ රැදී සිටියේද ගෝඨාභයයි. එකල සිසිර මෙන්ඩිස්ගේ තැන රැදී සිටියේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණය. රටේ ආරක්ෂාව ගැනද ඒ සියළු දෙනාටම හොද අවබෝධයක් තිබිණි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස එකල සේවයේ නිරතව සිටියේ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨය. හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය ඒකාබද්ධ කරනු ලැබුවේ එකලය. යුද හමුදා බුද්ධි අංශයේ පමණක් 7000 ක පමණ බුද්ධි නිලධාරීන් පිරිසක් සිටි බැවින් යුද්ධය නිමා කිරීමට මෙන්ම යුද්ධයෙන් පසු පශ්චාත් යුධ සමයේ ආරක්ෂාව තහවුරු කිරීමට හමුදා බුද්ධි අංශ දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළේය.

2015 ආණ්ඩු පෙරලියත් සමග චන්ද්‍රා වාකිෂ්ඨට සිදුවන්නේ විශ්‍රාම යන්නටය. ඔහුගේ තැනට පත්වන්නේ රාජ්‍ය බුද්ධි සේවයෙන් එළියට දමා කන්කසන්තුරේ සාමාන්‍ය පොලිස් සේවයේ නිරතව සිටි නිලන්ත ජයවර්ධනය. නිලන්තට ඒ සදහා රෙකමදාරුව ගාමිණි සුමනසේකර නම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හරහාය.

එම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර නායක කුමාරතුංගගේ සමීපතයෙකි. නිලන්තව රාජ්‍ය බුද්ධී සේවයට නැවත රිංගවන්නේ ගාමිණී සුමනසේකර විසින් චන්ද්‍රිකාට දුන් විශ්වාසයේ බලපෑම නිසාය. එය රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රසිද්ධ රහසකි.

එසේ රාජ්‍ය බුද්ධි සේවයේ ලොකු පුටුවේ අසුන්ගත් නිලන්තගේ මුල්ම කාර්ය වන්නේ පුද්ගලිකව ඔහු නොරුස්සන හමුදා බුද්ධි අංශ රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමය. බුද්ධි අංශ කඩා වැටීමටත් රාජ්‍ය ආරක්ෂාව බිද වැටීමටත් මුල්වන්නේ මෙම ක්‍රියාදාමය යැයි කිව නොහැක්කේ කාටද ? ඇත්තටම එය බුද්ධි අංශ විසුරුවා හැරීමකට නොදැවිණිය.

කලින් ආණ්ඩුවේ සබදතා හුවා දක්වමින් හමුදා බුද්ධි අංශය පිළිබදව සැක ඉපැද්දවීම ඔස්සේ හිත දිනාගන්නා නිලන්ත සිය බලපරාක්‍රමය ඇති ප්‍රදේශයේ කපුටෙකුටවත් පියාසර කිරීමට ඉඩක් දෙන්නේ නැත. තනිකරම මැති ඇමැතිවරුන්ගේ ඔපාදුප, දුරකථන සංවාද සේනාධිනායකගේ කන තැබීම ඔහුගේ දේවකාරිය වුයේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හාන් කවිස්සියක්වත් හමුදා බුද්ධි අංශ විසින් දැන නොසිටින්නේ හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය අතර පැවැති අනතර් බුද්ධි තොරතුරු හුවමාරුව නිලන්ත විසින් කඩා දැමීම නිසා නොවේද ? ඒ බව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී එවකට හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සාක්ෂි වලින්ම හෙළිවිය.

නමුත් එතැනද තිබෙන පරස්පරය නම් හත්දහසක් පමණවන යුද හමුදා බුද්ධි අංශයද පාස්කු ප්‍රහාරය පිළිබදව නොදැන සිටි බව හගවමින් වෙබ් අඩවියකින් මෙම ප්‍රහාරය දුටු බව කී හමුදාපතිවරයා පිළිබද කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවීමයි.

හේමසිරි සහ පූජිත් පිටින් පාස්කු ප්‍රහාරයේ වගකීම පටලන්නට පිඹුරුපත් සැකසුනේ නිලන්ත සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවේද ගැලවිච්ඡාවට මෙන්ය.

ඉන්දියාවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනතුරු ඇගවීමට පෙර සහරාන් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (ටී.අයි.ඩී) පුළුල් විමර්ශනයක් දියත්කර තිබුණේය. සහරාන් අන්තවාදය පතුරවන බව ලිපි ගොනුවක් මගින් නීතිපතිවරයාව දැනුවත් කරමින් එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා නීතිපතිවරයාගෙන් උපදෙස් පතන්නේ සහරාන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දෙන ලෙසය.ඒ ප්‍රහාරයට වසරකට පෙරය.ඊට වගකිව යුතු වන්නේද රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සහ ඊට අනුමැතිය දුන්

ඊනියා ජනාධිපති ඝාතන විමර්ශණ හමුවේ සහරාන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම කඩාවැටුණි. ඊට වගකිව යුතු වන්නේ ද රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සහ ඊට අනුමැතිය දුන් එවකට නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න නොවේද? අද වන විට රක්ෂිත බන්ධනාගාරගත විය යුත්තේ මොවුන් නොවේද?

සහරාන් සිය ගෝලයින් සමග පාස්කු ඉරිදා අහිංසක ජීවිත සිය ගණනක් බිලි ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකළ මොහොත වන විටත් එම ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ දුහුවිලි වදිමින් තිබෙන්නේ නිසි විමර්ශනයට ලක් නොවීම නිසාය. ඒ බව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදී පැහැදිලිවිය. නීතිපති දෙපාර්තමේන්තුවද කවරකුහෝ පිට මෙම වරද පැටවනවාට සතුටුවන්නේ මේ නිසාය.

දැන් දැන්එළියට පැමිණෙමින් තිබෙන අනෙක් කතාව නම් නාමල් කුමාරගෙන් හෙළිවු ගෝඨා මෛත්‍රි ඝාතන සැලැස්ම, රෝ බුද්ධි සේවය හා බැදුනු කතාව සහ පසුව නාලකටද හිරකූඩුවල කූරු ගණන් කිරීමට වැඩ සිද්ධවීම පිටපස ඇති සැගවුණු අමුතතන්ගේ කතාවයි.

2018 අප්‍රේල් 08 වැනිදා නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට යොමුකළ ලිපියක පිටපතක් පොලිස්පති අවධානයට යොමු කර තිබුණි. ඉන් කියැවී තිබුණු බව කියන්නේ සහරාන් ඇතුළු අන්තවාදීන් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (ටී.අයි.ඩී) විවෘත පරීක්ෂණ හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවය හා ඒකාබද්ධව හමුදා බුද්ධි සේවා පවත්වාගෙන යන විමර්ශනවලට බාධාවක් වීම නිසා එම විවෘත පරීක්ෂණ නවතා දමන ලෙසයි.

මෙවැනි නියෝගයක් පොලිස්පතිවරයා ඔස්සේ සිදුවිය යුතු වුවද නිලත්ත සිය බලපරාක්‍රමය විහිදුවා සිය යටතට සියල්ල දමා ගත්තේය. අදාල ලිපිය පොලිස්පතිවරයා අධිකරණය හමුවේ මේ වනවිටත් තබා ඇත්නම් ඒකාබද්ධ හමුදා බුද්ධි අංශයද ගාවමින් නිලන්ත හැසිරී තිබු අයුරු මොනවට පැහැදිලිවෙයි. අනෙක් අතට නාලක සිල්වා අත්අඩංගුවට පත්වන්නේත්, නාමල් නාටකය වෙනස් මුහුණුවරකින් ඇරඹෙන්නේත් මෙම පසුබිමේදීය. සහරාන් පරීක්ෂණ නාලකගෙන් පසු ටී.අයි.ඩීය තුළ අකර්මරණය වන අතර රාජ්‍ය බුද්ධි සේවය කළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක්වී නම් ඒ තුළින් සිදුවු දෙයක් ඇතිද නැතිද යන්න ඔබට දැන් පැහැදිලිවනු ඇත.

මෙහිදී බොහෝ දෙනෙක්ට නොපෙනෙන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාකරනුයේද ඉබ්බා දියේ ඇන්නාවේ ප්‍රතිපත්තියෙනි. කල දුටු කල වල ඉහ ගැනීමට ඔවුන් තරම් හපන්නු සිටීදැයි ප්‍රශ්නයකි.

හේමසිරි සහ පූජිත් සිරගත කිරීමට ඇවැසි පොලිස් විමර්ශන මෙහෙයවන්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සැබෑ වගකිව යුත්තන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කන් පිරිසක්ද සිටිති. ඒ අය තමවන්ගේ පව් සෝදාගන්නේ සියල්ල හේමසිරි සහ පූජිත්ගේ පිටින් දමාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු වලට අනුව මාවනැල්ලේ බුදු පිළිම විනාශය විමර්ශනය කිරීම හරහා සහරාන් සහ ඔහුගේ කල්ලිය ගැන තොරතුරු අනාවරණය වූවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ඒ ගැන නිසි විමර්ශනයක් පැවැත්වීමට කිසිදු උනන්දුවක් වී නැත.

පුත්තලම වනාතවිල්ලුවේ පිහිටි සහරාන්ගේ සන්නද්ධ පුහුණු කදවුර ගැන පවා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත්තේ ඇමති කබීර් හෂිම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. එදා ඒ වත්තේ තිබී පුපුරණ ද්‍රව්‍ය මෙන්ම ගිනි අවිද සොයා ගත්තද ඒ ගැන වැඩිදුර විමර්ශනයක් සිදුනොවීය. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පවා රස පරීක්ෂක මගින් පරීක්ෂාවට ලක්කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුවය. එම පුහුණු කදවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලා දෙන කබීර් හෂිම් ඇමතිවරයාගේ ලේකම්වරයාද සහරාන්ගේ කල්ලියෙන් වෙඩි කෑවේය.

එම වෙඩි තැබීම ගැනද නිසි විමර්ශනයක් සිදුවී නම් පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු අනුගාමිකයින් සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය. තමන්ගෙන් සිදුවුණු වරද වසා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කන්ද සියළු චෝදනා හේමසිරිටත් පූජිත්ටත් අඹරා තැබීමට මුලිකත්වය ගෙන ඇත්තේ මේ පසුබිම තුළය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව ගැන පරීක්ෂණ පවත්වන සහ මේ දෙදෙනාව ඇප නොමැතිව හිරේ තබා ගැනීමට වලිකන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කන් දෙතුන් දෙනෙකි. බුදුපිළිම විනාශය හරහා සහරාන් ගැන කල්තියා තොරතුරු ලැබී තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගැණීමට නිසි විමර්ශනයක් කර පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකරපු පිරිසක්ම තවත් වරදකට හේතු සොයමින් අනෙකාගේ මත වරද පැටවීමට දත කමින් සිටිති.

අනෙක් අතට සහරාන්ව අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට වසරක් තිස්සේ නීති උපදෙස් නොදීමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්න්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වගකිව යුත්තන්ටද හේමසිරි සහ පූජිත්ට එල්ලවුණු චෝදනාවම එල්ලවිය යුතුය.

එපමණක් නොව ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුර නිසි විමර්ශනයට ලක්කර සහරාන් සහ ගෝලබායින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා වෙනුවට තැපැල් පියුම්ගේ කටයුත්ත පමණක් කළ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාද කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගැනීමයි. අප්‍රේල් 04 ලැබුණු ඉන්දීය බුද්ධි තොරතුර දින 05කට පසුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හරහා පොලිස්පතිවරයාට ලැබෙන්නේ අදාල දින පහක් එය තබාගෙන කළ දෙයක් ගැන දැනුවත් නොකරමිනි. අයිස් ඔන්ලි ලෙස ලැබෙන එවැනි තොරතුරක් සනාථ කර ඉදිරිපත් කිරීමේ හැකියාවක්වත් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට නොතිබුණේය.

ප්‍රහාරය එල්ලවන දවසේ උදෑසනත් ආරක්ෂක ලේකම්වරයාට වට්ස්ඇප් පණිවුඩ යවමින් කොළඹ මෙතොදිස්ස පල්ලි ගණන සොයන්නට තරම් බුද්ධි අංශ අදබාල වුයේ කෙසේදැයි දැන් සොයා ගැනීමට හැකි කාලය උදාවී තිබේ.

එසේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ සැබෑ චූදිතයන් විය යුත්තේ හේමසිරි සහ පූජිත්ද එසේත් නැති නම් මේ දෙදෙනාගේ පිටින් සියල්ල දමා අත පිසදාගෙන සිටින්නන්ද? යන්න රටේ වගකීමක් දරණ නිලධරයෙක් වේ නම් දැන්වත් සිතා බැලිය යුතුය.

පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා අවසන් වාර්තාවේ සදහන් කරුණුම නැවත සනාථවන බව හැගවෙන ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විමසීමද මේවනවිට ආරම්භ වී තිබේ. නමුත් සහාරන්ලාගේ අන්තවාදී ත්‍රස්ත කල්ලියට සිදුවු අධිකරණ ක්‍රියාවලිය කුමක්ද ? ඔබ දන්නවාද ?

එසේනම් සහරාන්ලා විනාශ කළ තැනින් ගොඩ ඒමට එකිනෙකාමත තබා කපන ක්‍රමය නවතා දමා සාමුහික වගකීමේ හිඩැසක් වී ඇත්නම් එය සොයාබලා ජාතික ආරක්ෂාවට ඇති හිඩැස් වසා දැමීමට දැන්වත් පියවර ගත යුතුය. ඒ නිසා තෝරු මෝරුන් ලෙස හේමසිරි පුජිත් පෙන්නා ජනතාවගෙ ඇසට වැලි ගසා සිටීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු නොවනවා පමණක් නොව ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන බව නම් සක් සුදක් සේ පැහැදිලිය.

දිනෙත් රතුගම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.