Aug 09

මිඩියා පට්ට ගහපු රුවන්වැලි සෑයේ වැදුණු drone යානයේ හිමිකරු කට අරියි

අපේ රට බෞද්ධ රටක්. ඒ කියන්නේ බුදු දහමෙන් ස්වයංපෝෂිත වෙච්ච රටක්. මේ රටේ සිද්ධ වෙන සමහර දේවල් දැක්කම ඇත්තටම අපේ රට බෞද්ධ රටක් වෙච්ච එක ගැන දැනෙන්නේ මාරම සතුටක්. මොකද බෞද්ධ සංස්කෘතිය නිසා මිනිස්සුන්ගේ එන අකීකරු සිතුවිලි යටපත් වන හින්දා. අපි මේ කියන්න යන්නේ බුදු දහම ගැනවත් අපේ රට ගැනවත් නෙමේ ලංකාවේ වගේම ලෝකෙම උරුමයක් වෙච්ච රුවන්වැලි සෑය ගැන. ඒකට පොඩි ආරම්භයක් විදියට තමා අපි බෞද්ධ රටක් කියලා පොඩ්ඩක් වචන ටිකක් දාලා කිව්වේ.

මතක ඇති නේ දැන් සතියකට විතර කළින් රුවන්වැලි සෑයේ Drone යානයක් වැදිලා වෙච්ච අලකලංචිය ගැන. මේ අලකලංචිය කොච්චර දුර දිග ගියාද කියනවා නම් ලංකාවේ පත්තරවල අල ගෙඩි වගේ අකුරුවලින් හෙඩ්ලයින් පවා වැදුනා. හැබැයි ඒ හැම හෙඩ්ලයින් එකකම රචකයා උත්සහ කරලා තිබ්බේ රුවන්වැලි සෑයේ වැදුන drone එක ගැන කියලා අර එක යවපු මනුස්සයාට ඩේඩ්ලයින් එකක් දෙන එක. ඇයි ඉතින් ලියන මහත්වරුන්ටත් Drone එකක් වගේ උඩ යන්න හොඳ මාතෘකාවක් නේ රුවන්වැලි සෑය කියන්නේ. ඇත්තටම කවුද මේ drone එක යැවුවේ ? වෙච්ච දේ මොකක්ද ? කවුරු වුණත් හරියටම දන්නේ නැහැ. ඒ ගැන දන්නේ මේක යවපු drone එකේ හිමිකරු. අද ඔහු ගැන අපි ප්‍රසිද්ධියේම ලියනවා විතරක් නෙමේ වෙච්ච දේ ගැන අකුරක් නෑර ඔහු අපිත් එක්ක කියපු හැමදෙයක්ම ලියනවා. ඔහු එක්තරා මාධ්‍ය ආයතනයක IT ලොක්කෙක් විදියට වැඩ කරන නදින් චතුර ඒකනායක.

1. චතුර මොකක්ද මේ කළ අපරාධය ?

ඔබ ඔය අහන විදියට තමා ලංකාවේ සමහර මාධ්‍ය මේ ගැන කියලා තිබ්බේ. අපරාධයක් විදියට. මිනිස්සු දන්නේ නැහැ අපරාධයයි වැරැද්දයි කියන්නේ දෙකක් කියලා. ඇත්තමට මම කළේ ඔය දෙකම නෙමේ. මගේ අතින් සිද්ධ වුණේ අත්වැරැද්දක්

2. IT ලොක්කෙක් ඇයි drone එකක් ගත්තේ ? 

ඇත්තටම මම ඩ්‍රෝන් එක ගත්තේ අලුත් දේවල් අත්හදා බලන්න තියෙන උණට. අන්තිමට ඒ උණ හොඳ වුණේ මාරම විදියට. හරි ඒක වෙනම කතාවක්. මම කැමරා හොඳට අතපත ගාපු මනුස්සයෙක්. කැමරාව මට පුදුමයක් නෙමේ. ඒ නිසා තමා මම පුදුම වෙන්නත් හිතාගෙන තියෙන ආසාවටයි උණටයි බෙහෙතක් විදියට මේ උඩ යන කැමරාව ගත්තේ. මම drone එකෙන් හම්බ කළේ නැහැ. මම මේකෙන් හුඟක් වෙලාවට භුමි දර්ශන වගේ දේවල් පටිගත කරපු එක තමයි කළේ. ඒ දේවල් දැකපු යාළුවො ඒගොල්ලන්ගේ එක එක අවස්තාවලටත් මේ ඩ්‍රෝන් එක පාවිච්චි කරලා වීඩියෝ ආවරණය කරලා දෙන්න කිව්වා. ඊට පස්සේ මම වැඩ කරපු ආයතනයේ ආයතනික වැඩවලටත් මේ ඩ්‍රෝන් එක පාවිච්චි කළා. 

3. කොහොමද ඔය උඩ යන කැමරාව රුවන්වැලි සෑයේ වදින්නේ ? 

එදා ගියේ කප්රුක් පූජාවකට. එක සංවිධානය කරලා තිබුණේ පොහොර සංස්ථාවේ සභාපති තුමා. මම ගියේ ඩ්‍රෝන් කැමරා ශිල්පිය විදිහට. තව මගේ හිතවත් කැමරා ශිල්පියෙකුත් ඒ ගමනට ආව. 14 වැනි සිකුරාදා තමා මේ සිද්ධිය වෙන්නේ. එදා හවස 7 ට විතර පූජාව පටන්ගත්තා. ඒ ජය ශ්‍රී මහා බෝධිය ළඟ ඉඳන්. එතන ඉඳන් පා ගමනින් රුවන්වැලි සෑය ට පිරිස ඇවිදන් ආවා. ඩ්‍රෝන් එක මම එලියට ගත්තේ නැහැ ජය ශ්‍රී මහ බෝධි පරිශ්‍රයේදී. මොකද ජය ශ්‍රී මහ බෝධිය කියන්නේ ඩ්‍රෝන් එකක් ඉහළ නංවන්න පුළුවන් තැනක් නෙමෙයි. අතු විහිදිලා තියෙන නිසා ඩ්‍රෝන් එක වදිනවා. ඩ්‍රෝන් එක ඉහළට ගත්තේ ශ්‍රී මහ බෝධියේ ඉඳන් රුවන්වැලි සෑයට එන අතරතුරේදී. එතන ඉඳන් කප්රුක් පූජාව පැය කාලක් විතර වීඩියෝ කළා. රුවන්වැලි සෑයට කිලෝමීටර් කාලක් විතර තියෙනකොට තමයි ඩ්‍රෝන් එකේ දුරස්ථ පාලකය එක පාරටම වැඩ කරන්නේ නැතුව ගියේ. ඒ වෙලාවේ ඩ්‍රෝන් එක රුවන්වැලි සෑයට ලං වෙමින් තිබුණේ. මම පුළුවන් තරම් උත්සහ කළා ආපහු දුරස්ථ පාලකය ක්‍රියා කරවන්න. හරි ගියේ නැහැ. ඇත්තටම මට හිතාගන්න බැහැ ගත්ත දවසේ ඉඳලා හොඳට වැඩ කරපු Drone යානයට මොකද වුණේ කියලා. පෙනී පෙනීම ඩ්‍රෝන් එක රුවන්වැලි සෑයේ කොත් කැරැල්ලේ වැදුණා. ඉන්පස්සේ අනෙක් මළුවේ අනෙක් පැත්තට වැටුණා. 

4. දැන් තමා රටේම කතාව පටන් ගන්නේ. ඒ කියන්නේ drone එක වැටුනට පස්සේ... ඊටපස්සේ මොකද වුණේ චතුර ? 

මම drone එක වැටෙනවත් එක්කම එතැනට දුවලා ගියා. මට ලොකු බයක් සහ දුකක් දැනුනා. ඇත්තමට එක මම හිතාමතා කළේ නැහැ. කාර්මික දෝෂයක් කිව්වත් වැරදි නැහැ. එතනට මම යද්දිත් සෑහෙන සෙනඟක් ඇවිත්.. ඒ අතරේ මළුවේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරිනුත් හිටියා. චුට්ට වෙලාවකින් උඩ මළුව භාර ස්වාමින්වහන්සේත් එතනට ආවා. 

5. drone යානා සම්බන්ධව නීති නැතිකොට කොහොමද ඔබව අත්අඩංගුවට ගන්නේ? 

ඔව් එක හරි. මගේ අතින් සිද්ධ වුණේ වැරැද්දක්. ඒක කුඩුවේ ඉන්න තරමට වැරැද්දක් ද කියන්න මට තේරෙන්නේ නැහැ. පුරා වස්තුවකට හානි කරන්න උත්සහ කළා කියලා තමා අනුරාධපුර පොලිසියෙන් මාව ගෙනියන්නේ. රෑ ගතකලේ පොලිසියේ. පහුවදා අනුරාධපුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළා . ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කළා. ඊට පස්සේ කොළඹ ආවා. ඒ ආවේ ලොකු අවුලකින් ? 

6. ඒ අවුල සල්ලිවලට ගත්ත drone එක කැඩුන නිසාද ? 

පොලිසියට යන්න වෙච්ච නිසාද ? ඒ දෙකටම වඩා මගේ ගැන මගේ දරුවා බිරිඳ ගැන හිතිලා. මොකද මාධ්‍ය ආයතනයක වැඩ කරන නිසා මට පොඩි බයක් ආවා. මිඩියාවල ඉන්න අය මගේ පුද්ගලිකත්වය අවුස්සලා මගේ පවුලේ අයට ලැජ්ජාවක් වෙන විදියේ වැඩක් කරයිද කියලා. මොකද සමහර මාධ්‍ය හැසිරෙන විදිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. හිට් එක ගන්න ඕන එකක් කරයි. 

7. ඔබ හිතපු විදියටම ඒ මාධ්‍ය ඔබ ගැන පුදුම වර්ණනාවක් නේ කරලා තිබ්බේ ? 

ඔව් ගොසිප් සයිට් නම් කමක් නැහැ ජාතික පුවත්පත් සහ සමහර මාධ්‍ය මගේ ගැන වාර්තා කරලා තිබුණේ නම ගිය අපරාධකාරයෙක් රුවන්වැලි සෑයට හිතා මතා හානියක් කළ විදිහට. අඩුම ගානේ මගෙන් බැරිනම්, මගෙත් එක්ක ගිය කෙනෙක්ගෙන්වත් මොකක්ද වුණේ කියල හරි විදිහට අහල නැතුවයි වාර්තා කරලා තිබුණේ. එක නම් මාරම වර්ණාවක්. මම කිව්වේ හිට් එක ගන්න තමා ඔය ඔක්කම. 

8. ඇත්තටම චතුර ඔයා වැරැද්දක් කළේම නැද්ද ? 

නැහැ මගේ අතින් වුණේ අත්වැරැද්දක්. ඒ අත්වැරැද්ද වුනෙත් මගේ නොසැලකිල්ලක් නිසා නෙමෙයි. එක පාරටම ආපු තාක්ෂණික දෝෂයක් නිසා. රුවන්වැලි සෑය කියන්නේ අපේ රටේ තියන ජාතික උරුමයක්. එකට ඩ්‍රෝන් එකක් වැදුණ කියන එක සුළුවෙන් සලකන්න කියනවා නෙමෙයි මම. මමත් මේ රටේ සාමාන්‍ය බෞද්ධ පුරවැසියෙක්. මම කළේ අහසට ගියාම අපේ රුවන්වැලි සෑය පේන්නේ කොහොමද කියලා ලංකාවට විතරක් නෙමේ ලෝකෙටම පෙන්නන්න. අපේ බෞද්ධ සංස්කෘතිය ගැන හැමෝටම පෙන්වන්න කළ උත්සහයක්. හැබැයි ඒක ගොඩක් දෙනෙක් තේරුම් අර ගත්තේ පණ්ඩිතකමට කළ වැඩක් කියලා. 

9.ගොඩක් අය කියනවා drone එපෝ කියලා. එකට ඔබත් දැන් කියන්නේ එපෝ කියලද ? 

හුඟක් අය කියයි ඩ්‍රෝන් තහනම් කරන්න කියල. ඒක මහා අසාධාරණ දෙයක්. අපි ලිදේ ඉන්න මැඩියෝ වගේ ඉන්න ඕනේ නැහැ. තාක්ෂණය අපි බාරගන්න ඕනේ එක පිළිගන්න ඕනේ. තාක්ෂණයෙන් බිහිවෙන හැම නිර්මාණයක්ම අත්වැරැද්දක ප්‍රතිපලයක්. ඒක තමා ඇත්ත. දැන්, මේ වගේ කාලෙක ඩ්‍රෝන් තහනම් කරනවා කියන්නේ මිනිස්සු කෝච්චියට පනින නිසා කෝච්චි නවත්තනවා වගේ වැඩක්. අපේ රටේ සමහර තැන්වලදී මිනිස්සුගේ තින්කින් එක වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මිඩියා මීට වඩා නිවැරදි තොරතුරු සමබර තොරතුරු ජනගත කරන්න ඕනේ. 

10. මොකක් වුණත් දැන් ඔබ ප්‍රසිද්ධ චරිතයක් වෙලා. ආයෙමත් මෙහෙම වැඩක් කරනවද ? 

ඔව්. හැබැයි හිරේ විලංගුවේ වෙන වැඩ නෙමේ. ඒ වගේම කියන්න ඕනේ රුවන්වැලි සෑය වගේ තැන්වල රූගත කිරීම් කරන්න ඩ්‍රෝන් පාවිච්චි කළ පළවෙනි වතාව මේක නෙමයි.. ලොකු මාධ්‍ය ආයතනවලිනුත් කරපු වැඩසටහන්වල ඕනෑතරම් ඩ්‍රෝන් පාවිච්චි වුණා. මගේ අතින් වුණේ අත්වැරැද්දක් එකේන් සමහර අයට එදා වෙච්ච අපහසුව ගැන මම කණගාටු වෙනවා. අභියෝග බාර ගන්න තමා මම ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අමාරුවෙන් හරි මේ අභියෝගය බාර ගන්නවා. කැඩිච්ච drone එක හදාගෙන ආයෙමත් දවසක උඩ යවනවා. මම හිතනවා එදාට අපේ රටේ මොළ සමහර ගෙඩි සාධාරණය කියන වචනයෙන් පිරිලා තියෙයි කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.