May 05

"ඒකට හුරු වුණාට පස්සේ හෙමීට අත්හැරලා දැම්මා. ඒකෙන් තමයි ආයෙත් මේ තත්ත්වයට වැටුණේ.." - ලෝචනා ඉමාෂි


 අවුරුදු සමයේ ටිකක් කාර්යබහුල වුණා. නාලිකාවල අවුරුදු උත්සව සහ වැඩසහටන්වලට සහභාගී වුණා. අපේ ගෙදරත් පොඩි අවුරුදු උත්සවයක් තිබුණා. යාළුවෝත් එක්ක විනෝද ගමනකුත් ගියා. ඒ දේවල් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියේ.


ඔබ දැන් දිගටම ලංකාවේ ඉන්නවාද?

මෙහෙමයි. මගේ බබා දැන් ඉන්නේ නෙදර්ලන්තයේ. ලංකාවේ දැන් වෙන දේවලුත් එක්ක මට ස්ථිර වශයෙන් කියන්න බැහැ මම දැන් මෙහේ ඉඳීවි කියලා. දැනට මෙහේ ඉන්නවා වැඩ ටිකක් තියෙන නිසා. කොහොම වෙයිද දන්නේ නැහැ ඉස්සරහට.


ලංකාව ආයෙත් කෝවිඩ් එක්ක පරණ තත්ත්වය වැටෙන තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒක කලාකරුවන්ට කොහොමද බලපාන්නේ?

බෝම්බ සිද්ධියෙන් පටන්ගත්ත දේ නිසා දිගටම ෆීල්ඩ් එකේ අයට වැඩ කරන්න බැරි වුණා. සංදර්ශන පවත්වන්න බැරිවුණා. ඊටපස්සේ කොරෝනා ආවා. ඒ එක්කම අපේ වැඩ අපිට නතර කරන්න වුණා. දැන් ආයෙත් චුට්ටක් ඔලුව උස්සාගෙන ආවා විතරයි ආයෙත් අපිට වැටෙන්නම දීලා තියෙනවා. සොබාදහමෙන් දෙන දේවල්නේ ඉතින්. ඒකට අපි මොනවා කරන්නද?. සොබාදහම අපිට ආරක්ෂාව, සුන්දරත්වය දෙනවා වගේම මේ දේවලුත් බාර ගන්න වෙනවා. හැබැයි මේක වැඩි වුණේ අපේම වැරදි නිසායි. පෞද්ගලිකව මම වුණත් මුල් කාලේදී හරියට පරිස්සම් වුණා. පස්සේ පස්සේ අපි මේකත් එක්ක හුරු වෙලා සාමාන්‍ය දෙයක් බවට පත් වුණානේ. ඒකට හුරු වුණාට පස්සේ අපි හෙමීට අත්හැරලා දැම්මා. ඒකෙන් තමයි අපිට ආයෙත් මේ තත්ත්වයට පත්වෙන්න වුණේ. ආයෙත් අපිට දරුණුවටම මේකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා තමයි මටත් හිතෙන්නේ.


මෙයින් කලාවට සිදුවුණු හානිය ගැන මොකද හිතෙන්නේ?

ඔව්. කලාකරුවන් හැටියට අපිට තමයි ලොකුම පාඩුව සිද්ධ වෙන්නේ. මොකද අපි වැඩසටහනකට වුණත් තනි තනියෙන් සම්බන්ධ වෙනවා ඉතාමත් අඩුයිනේ. අපිට තියෙන්නේ කණ්ඩායම් වැඩනේ. නීතිමය පැත්තෙන් බැලුවත් දැන් ගොඩක් අයට එකතුවෙලා උත්සව, වැඩසටහන් තියන්න බැහැනේ. නමුත් ඉතින් මොනවා කරන්නද. අපි කාලයක් හිටියානේ ගෙවල්වලට වෙලා. ආර්ථික මට්ටමෙන් ගොඩක් අය වැටුණා. මේකටත් අපිට තනියම මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් කොහොමහරි ඒකටත් මුහුණ දෙමු.


නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳයි. දැන් යන ටෙලි නාට්‍යයටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අදටත් මම දායක වුණු චිත්‍රපට, ටෙලි නාට්‍ය ගැන ගොඩාක් අය කතා වෙනවා. ඒ තිබුණු ආදරය තවමත් තියෙනවා. එළියට බැස්සත් තාමත් හැමෝම කතාබහ කරනවා. ඒ ආදරය හැමදාම තිබෙනවා. මට ඒක කවදාවත් අඩු වෙන එකක් නැහැ.


ඔබ සමාජ මාධ්‍ය තුළ නිතර දකින චරිතයක්. අද සමාජ මාධ්‍ය ගැන මොකද හිතෙන්නේ?

මේ ළඟදි අපේ පවුලේ අය එකතු වෙලා පොඩි අවුරුදු උත්සවයක් පැවැත්වුවා. ඒකේ කඹ අදින වීඩියෝවක් අපි සමාජ මාධ්‍යට දැම්මා. එතන හිටියේ මගේ දෙමව්පියෝ, නෑදෑයෝ. ඒකට හරි කැත විදිහට සමහරු කමෙන්ට් කරලා තිබුණා. ඒ කමෙන්ට් දිහා බැලුවාම මට හරියට දුක හිතුණා. අපි කවුරුත් කැමති නැහැනේ අපේ දෙමව්පියන්ට කවුරුත් මුකුත් කියනවාට. අර වැඩක් නැති මිනිස්සු ඉන්නවානේ. ඔවුන් තමයි ඒ වගේ වැඩ කරන්නේ. ඇත්තටම මට නම් වෙලාවක් නැහැ මිනිස්සුන්ට කමෙන්ට් එකක්වත් කරන්න. නමුත් හොඳ දේවල් තිබෙනවා. මගේ පුතාගේ දේවල් දැම්මාම පුතාට සුබ පතලා ආදරණීය ප්‍රතිචාර දෙන මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඒ හා සමානව වැඩක් නැති මිනිස්සුත් ඉන්නවා. අපි දිග ඇඳුමක් ඇන්දත් බනිනවා. කොට ඇඳුමක් ඇන්දත් බනිනවා. මට හොඳයි නම් කාටවත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම සමාජ මාධ්‍ය දැන් හොඳ පැත්තට වගේම නරක පැත්තටත් ගිහිල්ලා තියෙනවා.


සමාජ මාධ්‍ය තුළ ඉන්න අය ගැන සෑහීමකට පත්වෙන්න බැරිද?

ඔවුන් ඔවුන්ගේ වේලාව, හැකියාව හොඳ දේවල්වලට පාවිච්චි කරනවා නම් කමක් නැහැ. හැබැයි විවේචනය කරන්න, කැත කමෙන්ට් දාන්න ඒ කාලය පාවිච්චි කරනවා නම් ඒක ඒ අයටත් හානියක්. අපිටත් හානියක්. හොඳ දේ වෙනුවෙන් ඒ දේවල් පාවිච්චි කරන්න. නරක දේවල්වලට කාලය මහන්සි කරවන්න එපා. ඒක හරිම අපරාදයක්.


ඔබ හැමවිටම නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරන්නේ ඇයි?

මට හැමතිස්සේම එකකට එකක් වෙනස් නිර්මාණ කරන්න ඕනේ. නැතුව අපි තේරුමක් නැතුව එකම විදිහේ චරිත කළොත් මට වගේම බලන ප්‍රේක්ෂකයන්ටත් තේරුමක් නැතිවෙනවා. ඉතින් ඒක නිසා මට ඕනේ වෙනස් චරිත කරන්න. මොකද මට දෙයක් කරන්න තියෙනවා නම්, ඒකට මම ආසයි නම් ඒ චරිතය ඇතුළේ ප්‍රේක්ෂකයන්ට බලන්න දෙයක් තියෙනවා. මම හැමදාම එකම චරිත කරනවා නම් ප්‍රේක්ෂකයන්ට බලන්න දෙයක් නැහැ. එතකොට ඔවුන්ට මගෙන් වැඩක් නැහැ. මම හැම එකකටම යන්නේ නැහැ. නිර්මාණ තෝරා බේරාගෙන කරපු නිසානේ අදටත් මාත් එක්ක ප්‍රේක්ෂකයෝ ඉන්නේ.

නිර්මාණ තෝරා බේරා ගැනීම ඔබේ සාර්ථකත්වය කියලා හිතනවාද?

ඔව්. මම එහෙම හිතනවා. හැමදේටම යන්නේ නැතුව නිර්මාණ තෝරා බේරාගෙන ඒකට උපරිම සාධාරණය කරන නිසා වෙන්න ඇති අදටත් මම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ.


ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොනවාද කියන්න තියෙන්නේ?

කොරොනා නිසා අපිට අපේ ජීවිතය නවත්වගන්න බැහැනේ. අපිට මේකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. ඉතින් අපි ඉස්සරහට යනකොට හැමතිස්සේම අපි පරිස්සම් වෙන්න ඕනේ වගේම අපි වටේ ඉන්න අයත් පරිස්සම් කරගන්න ඕනේ. මේක අපිට විතරක් පෞද්ගලිකවම බලපාන දෙයක් නෙවෙයි. අපේ වටේ ඉන්න සියළු දෙනාට බලපාන දෙයක්. මම නිසා තවත් කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවෙනවාට මම කැමති නැහැනේ. මේකත් ඒ වගේ. ඒක නිසා තමන් පරිස්සමින් කටයුතු කළොත් තමයි අනිත් අයත් පරිස්සම් වෙන්නේ. මේකත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න. එහෙම වුණොත් අපිට ආයෙත් ඉක්මනටම නිදහසේ පරණ විදිහටම ඉන්න පුළුවන්.


ඩිලාන් ක්‍රිෂාන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.