Jan 17

තිරිවානා ගොඩකින් අහුලාගත් ලොකුම පළිඟුවේ රහස...


පාෂාණ ලෝකය ඉතාමත් සංකීර්ණය. ඇතැම් පාෂාණයක් දෙකට පැලූ විට ඒ තුළින් වසර කෝටි ගණනක් ඉපැරැණි සත්ව පොසිලයක් හමු විය හැක. එමෙන්ම ඇතැම් පාෂාණ තුළ අගනා මැණික් තැන්පත්ව තිබිය හැක. එවැනි පාෂාණයක් දෙකඩ කළ විට එහි තැන්පත්ව ඇති මැණික් වෙන් කොට ලබාගත හැක. 

මෙවැනි දේ පාෂාණ ලෝකය තුළ දැකිය හැකි සුවිශේෂී තත්ත්වයන්ය. මැණික් නොවන නමුත් මැණික් හා සමාන මිලක් ලබාගත හැකි ‘‘ඇම්බර්” නමැති ශාක ද්‍රව්‍ය විශේෂයක් ද ඇත. මෙය දුම්මල වර්ගයකි. වසර කෝටි ගණනකට පෙර මෙම දුම්මල කුට්ටියකට මැදි වූ කුඩා කෘමියකු සහිත කොටසක් වේ නම් එය ඉතා වටිනා කමකින් යුත් එකක් බවට පත් වේ. ඒ හේතු බවට පත්වන්නේ එම කෘමී විශේෂය ලෝකයේ ආරම්භය සිදුවන අවධියේ ජීවත් වූ කෘමි විශේෂයක් බවට හඳුනාගැනීමට සාධක පැවතීමය. හොඳින් ඔපමට්ටම් කරන ලද එවැනි දුම්මල කැබැල්ලක් මැණික් පරයන තරමේ මිලකින් යුක්තය.

පාෂාණ විශේෂයක් වන ‘‘පළිගු” පිළිබඳ ඉතිහාසය ද එවැන්නක්ය. ජල බිංඳුවක් හෝ ජල බිංදු කීපයක් මැදිව පළිඟුවක් හමුවීම ඉතා දුර්ලභ දෙයක්ය. එයට හේතුව බවට පත්වන්නේද එම ජල බිංදුව හෝ ජල බිංදු කීපය එය මැදි කරගත් පළිඟුව නිර්මාණය වූ වසර කෝටි ගණනක කාලයකට අයත් ජල බිංදු කීපයක් වීමය. පළිඟුව තුළ පමණක් නොව වෙනත් විනිවිද පෙනෙන පාෂාණ විශේෂ තුළ ද ජලය මැදි වී තිබීමට පුළුවන. විශේෂයෙන්ම අගස්ති සහ චැල්සිඩොනි යන නම් වලින් හඳුන්වන පාෂාණ වර්ගය තුළ ද ඉතා කලාතුරකින් මෙවැනි ජල බිංදු දැකගත හැක. එලෙස රැඳී පවතින ජල බිංදු හඳුන්වනු ලබන්නේ Enhydro නමින්ය.

මෙම සංසිද්ධියට අයත් පළිඟුවක් හෝ වෙනත් පාෂාණ විශේෂයක් බිහිව ඇත්තේ බොහෝ විට මීට වසර පන් කෝටි හැට ලක්ෂයකට හෝ තුන්කෝටි තිස් නව ලක්ෂයකට පමණ පෙර බව ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන පාෂාණ විශේෂඥයන්ගේ මතය බවට පත්වී ඇත.

ඉහත සඳහන් නිගමනයන්ට අයත් පළිඟුවක් පිළිබඳ පුවතක් ඉකුත් දිනක මෙරටින් ද වාර්තා විය. එම පුවත වාර්තා වන්නේ අවිස්සාවේල්ල දෙයියාගල ප‍්‍රදේශයෙන්ය. වාර්තාවන ආකාරයට එම පලිඟුව කිලෝ 22 ක බරකින් යුක්තය. පිටතින් බැලූ කල පළිඟුවේ අභ්‍යන්තරය තුළ පිරිසිදු ජල බිංදු දැකගත හැක. එමෙන්ම එය සාමාන්‍ය පළිඟුවකට වඩා අධික බරකින් යුක්තය. දැනට ගණනය කර තිබෙන ආකාරයට අනුව එම පළිඟුව කැරට් 110000ක බරකින් යුක්ත අතර එහි කැරට් එකක වටිනාකම රුපියල් 102000.00 ක අගයකින් යුක්තය.

paligu2මිල ගණන් කෙසේ වුවද මෙම දුර්ලභ පළිඟුව පිළිබඳ මේ වන විට අවුලක් උද්ගතව ඇත. එම අවුල නිර්මාණයව ඇත්තේ එහි හිමිකාරිත්වය පිළිබඳවය. දැනට දෙපාර්ශ්වයක් එහි හිමිකාරිත්වය පිණිස ඉදිරිපත් වී ඇත. ඉන් එක් පාර්ශ්වයක් අදාළ පළිඟුව හමුවූ පතලේ හිමිකරුවන්ය. දැනට මෙම අගනා පළිඟුව ඔවුන් සන්තකයේ නැත. එය අත්පත් කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයෙකු විසින්ය. ඔහු විසින් පවසා සිටින්නේ එම පළිඟුව අදාළ පතලින් හමු වූවක් නොව එය ඔහු සතුව පැවති ඉපැරණි පළිඟුවක් බවටය. මෙය ලියන මොහොත වන විට ද එම ගැටලූවට විසඳුම් සොයා ගැනීම පිණිස පතල් හිමිකරුවන් විසින් නීතියේ පිහිට පතා ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේ අවස්ථාවක් පසුගිය දිනෙක උදාවිය. එහිදී මෙම දුර්ලභ වර්ගයේ පළිඟුව හමුවූ පතලේ හිමිකරුවන් සමඟ කතාබහ කිරීමේ අවස්ථාවක් ද අපට උදා වූහ. ඔවුන් සඳහන් කරන ආකාරයට එම සිදුවීම් පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය.

ප‍්‍රදේශයේ ප‍්‍රකට පතල් පොළක් වන බෝගොඩ කන්දවත්ත පතල පිහිටා ඇත්තේ අවිස්සාවේල්ල දෙයියාගල ප‍්‍රදේශයේය. අවිස්සාවේල්ල රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ ගැටහැත්ත හන්දියේ පිහිටි ප‍්‍රධාන අතුරු මාර්ගයක් වන මාරඹේ මාර්ගය ඔස්සේ කිලෝ මීටර දෙකහමාරක් ගිය තැන මෙම පතල පිහිටා ඇත. එම ප‍්‍රදේශය වඩාත් ප‍්‍රකටව ඇත්තේ ‘‘ගෙඩි පතල් කර්මාන්තය” පිණිසය. මෙතැන් සිට බෝගොඩ කන්දවත්ත පතලින් හමු වූවා යැයි සඳහන් පළිඟුව පිළිබඳව ඇත්ත විස්තරය පවසා සිටින්නේ එම පතලේ හිමිකරු වන ක‍්‍රිශාන්ත පේ‍්‍රමකුමාර විසින්ය.

‘‘මේ පතල් භූමිය පිහිටා තිබෙන ඉඩම අක්කර නමයකින් යුක්ත එකක්. ඉඩමෙන් භාගයක් අයිති මට. ඉතිරි භාගය බදු පදනම මත වසර පහකට අරගෙන තමයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලබාගත්ත බලපත‍්‍ර මත තමයි අපි මේක කරගෙන යන්නේ. බලපත‍්‍රය තියෙන්නෙ මගේ නමට. නමුත් මගේ හිතවතෙක් වන මේ ප‍්‍රදේශයේම පුද්ගලයෙක් වන රවීන්ද්‍ර කියල කෙනෙකුත් මේ පතලේ කොටස්කාරයෙක් විදිහට කටයුතු කරනව. ඊට අමතරව ගත්තොත් හත් අටදෙනෙක් දිනපතාම වගේ මේ පතලේ රස්සාව කරනව. පතලෙ වැඩකටයුතු භාරව කළමනාකරුවෙක් වෙනම ඉන්නව. ඔහොම වැඩකටයුතු කරගෙන යනකොට තමයි පසුගිය දිනක අපේ පතලකින් ඔය කියන පළිඟුව හමුවෙන්නෙ. නමුත් ඒ පලිඟුව හමු වීමත් එක්කම වගේ ඒක අතුරුදන් වෙනව. ඒක වෙන්නේ මෙහෙමයි. අපිත් එක්ක හිතවත්ව වැඩ කරන පුද්ගලයෙක් ඉන්නව. ඔහුගේ පදිංචිය කොළඹ කියල තමයි අපිත් එක්ක කියලා තිබුණේ. ඔහුත් මේ ඉඩමේ වෙනත් තැනක ගොඩ පස් හෝදන ව්‍යාපාරයක් කරගෙන ගිය පුද්ගලයෙක්. ලැබෙන ආදායමින් සියයට පනහක් මටත් ඉතිරිය ඔහුටත් කියන කොන්දේසිය මත තමයි ඔහු විසින් ඒක ආරම්භ කරන්නේ. උදේට කොළඹ ඉඳල දෙයියාගලට එන ඔහු හවසට අපහු කොළඹ යනව. එයාගෙ ජීප් එකෙන් තමයි උදේ හවස යන්නෙ එන්නෙ. එහෙම යන එන අතරේ පතලින් ගොඩදාන තිරිවානා ගල් ජීප් එකේ පටවගෙන යන එක ඒ පුද්ගලයාගේ පුරුද්දක් වෙලා තිබුණා. මොකටද ඒව ගෙනියන්නෙ කියල ඇහුවම ඔහු කියන්නේ එයාගෙ ගෙවත්ත අලංකාර කරන්න තිරිවානා ගෙනියනව කියල විතරයි. ඒ හින්දා අපටත් ඒක එච්චර ලොකු දෙයක් බවට පත් වුණේ නැහැ. ඔය අතරෙ තමයි පහුගිය දොළොස් වැනිදා රූපවාහිනී නාලිකාවකින් කියල තියෙන්නේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පතලකින් කිලෝ 22ක දුර්ලභ පළිඟුවක් හමුවෙලා තියෙනව කියල. ඒ පුවතින් වැඩිදුරටත් කියල තියෙනව පළිඟුව හමුවෙලා තියෙන්නේ දෙයියගල ප‍්‍රදේශයේ පිහිටි පතලකින් කියල. මේ හරියෙ තියෙන්නෙ මගේ පතල හින්දා ඒ ප‍්‍රවෘත්තිය ගියාට පස්සේ ගොඩක් දෙනෙක් මගෙන් කතා කරලා ඒ පිළිබඳ විස්තර අහන්න ගත්තා. නමුත් ඒ වෙනකොට මම එහෙම එකක් ගැන දැනගෙන හිටියේ නෑ. ඒ පාර මම මං මේ ගැන විපරම් කරලා බලද්දී පතලෙ කළමනාකරු කිව්වා දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා කොළඹ ඉඳල එන තිලක් කියන පුද්ගලයා පෝර උරයක දාගෙන ලොකු ගලක් ජීප් එකෙන් අරන් යනවා එයා දැක්කා කියල. එදායින් පස්සේ ඔය තිලක් කියන පුද්ගලයා පතලට ආවා ගියෙත් නෑ. ඊට පස්සේ අවස්ථා කීපයකදීම මම දුරකථන හරහා ඔහුට ඇමතුමක් ගන්න උත්සාහ ගත්ත. ඒ එක වෙලාවකවත් ඔහු ප‍්‍රතිචාර දැක්වූවේ නෑ.’’

‘‘එහෙම අවස්ථා කීපයක් දුරකථනය හා සම්බන්ධ වෙන්න උත්සාහ කළත් හරි ගියේ නෑ. ඒ පාර තමයි අපි අවිස්සාවේල්ල පොලිසියට මේ ගැන පැමිණිලි කළේ. ඊට පස්සේ ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන පොලිසිය දුරකථන මාර්ග හරහා ඒ පුද්ගලයව සම්බන්ධ කරගත්තා. එතැනදිත් පළිඟුව මේ පතල් පොළෙන් අරන් ගිය එකක් කියල තිලක් කියන පුද්ගලයා මුලින් මුලින් පිළිගත්තෙ නෑ. ඒක ඔහුට අයිති එකක් බව තමයි දිගින් දිගටම කිව්වේ. නමුත් ඔහුට ඒක කරන්න තරම් සාක්ෂි තිබුණේ නෑ. ඒ අනුව පහුගිය දාහතර වෙනිදා ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට ඔහුට අවිස්සාවේල්ල පොලිසියට එන්න කියල පොලිසිය විසින් නියෝග කළා. ඒ අනුව එදා ඔහු අවිස්සාවේල්ල පොලිසියට එනව. එතැනදී සිදුකළ පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ඔහුට
පිළිගන්න සිදු වුණා ඒ පළිඟුව මගේ පතලින් අරන් ගිය එකක් කියල. ඇත්තටම මේ ප‍්‍රශ්නයට පොලිසිය මැදිහත් නොවුණා නම් මේ දුර්ලභ පළිඟුව ඔහුට අයිති වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබුණ. නමුත් දැන් ඒ ප‍්‍රශ්නයට උත්තරයක් ලැබිලා තිබෙනව. ඒ අනුව අපි එකඟතාවකට ආව පළිඟුව අලෙවි කරලා ඒ මුදල සමසේ අපි අතර බෙදාගන්න. ඒ අනුව පොලිසියේ ඒ ගැන සටහනක් තබල ඊට අමතරව නීතිඥ මහත්තයෙක් ඉදිරිපිටත් ලියකියවිලි වලට අත්සන් තබල ඒ කටයුත්ත පිළිවෙළක් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා..”

පසුගිය දින කීපය පුරා අවිස්සාවේල්ල ප‍්‍රදේශය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ පළිඟුව පිළිබඳ අවුල නිරාකරණය වන්නේ ඒ ආකාරයෙන්ය. නීතියේ මැදිහත්වීම් මත පළිඟුවෙ අයිතිය පිළිබඳ ගැටලූවට ඒ ආකාරයේ විසඳුමක් ලැබී ඇත. එහි හිමිකරුවන්ට පමණක් නොව ඒ පිළිබඳ විමසිලිමත් වන බොහෝ දෙනෙක් තුළ මේ වන විට පැන නැගී ඇති ඊළඟ ගැටලූව බවට පත්ව ඇත්තේ මෙම දුර්ලභ පළිඟුව පිණිස කුමන වටිනාකමක් හිමිවේදැයි යන්න පිළිබඳවය.

ඒ අතර මේ සම්බන්ධයෙන් පැතිරයන තවත් නිල නොවන ආරංචියක් බවට පත්ව ඇත්තේ අදාළ පළිඟුව පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට තරම් ප‍්‍රමාණවත් තාක්ෂණයක් මෙරට නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම පිණිස එම පළිඟුව එංගලන්තය බලා රැගෙන යා යුතුව ඇති බවය. කෙසේ වෙතත් ඉහත සඳහන් කරන ලද්දේ මේ වන විට මෙරටින් වාර්තාවන විශාලතම එමෙන්ම දුර්ලභ පළිඟුව පිළිබඳව සැබෑ විස්තරයක්ය. ඒ හේතුවෙන් මෙතෙක් කලක් මැණික් සඳහා ප‍්‍රසිද්ධියට පත් අවිස්සාවේල්ල දෙයියාගල ප‍්‍රදේශය දුර්ලභ පළිඟු මතු වීම පිණිස ද දැන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. කෙසේ වෙතත් මුතු මැණික් බහුල භූමියක් ලෙස ලෝකය තුළ ප‍්‍රසිද්ධියට පත් මෙරටින් තව තවත් මෙවැනි දුර්ලභ පාෂාණ මතුවීම අපට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද රටට වැදගත් කමක් හිමි වීමට හේතු වනු ඇත.


රුවන් ජයවර්ධන
පසුබිම් වාර්තා - අනුර ජයසේන ඇහැළියගොඩ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.