Nov 01

උඩින්ම පාස් වෙච්ච සිසුන්ට විශ්ව විද්‍යාලේ දොර වහයි


විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණුවලට අනුව උසස් පෙළ විභාගයට නව නිර්දේශයෙන් පෙනී සිටි පිරිසට අසාධාරණයක් සිදු වී ඇතැයි එම සිසුහු චෝදනා කරති.

පසුගිය වසරේ උසස් පෙළ විභාගය නව සහ පැරණි නිර්දේශ දෙකක් යටතේ පැවැත්වුණි. ඒවායේ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කරනු ලැබුවේද වෙන වෙනමය.

මෙලෙස වෙන් වෙන් වශයෙන් ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේදී නව නිර්දේශය යටතේ ඉතා ඉහළ ඉසෙඩ් ලකුණු ලබාගෙන සිටින සිසුන්ටද විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වී තිබේ.

එසේම එකම පාඨමාලාවකට පැරණි නිර්දේශයෙන් සුදුසුකම් ලබන ඉසෙඩ් ලකුණ සහ නව නිර්දේශයෙන් සුදුසුකම් ලබන ඉසෙඩ් ලකුණ අතර විශාල පරතරයක් පවතින බවත්, මෙහිදී අසාධාරණයට ලක්ව ඇත්තේ නව නිර්දේශයෙන් විභාගයට පෙනී සිටි සිසුන් බවත් මෙම සිසුහු පවසති.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මොරටුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා නව නිර්දේශයෙන් අවශ්‍ය අවම ඉසෙඩ් ලකුණු 2.0676ක් වන විට පැරණි නිර්දේශයෙන් එම විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය වන්නේ ඉසෙඩ් ලකුණු 1.7248කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි සිසුවකු ඉසෙඩ් ලකුණු 2.0675ක් ලබා ගත්තද කිසිදු වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට හැකියාව ලැබෙන්නේ නැත.

තවද සබරගමුව විශ්වවිද්‍යාලයීය මැනුම් විද්‍යා පාඨමාලාවට ඇතුළත්වීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නව නිර්දේශය යටතේ පෙනී සිටි සිසුවකුට ඉසෙඩ් ලකුණු 1.4067ක් අවශ්‍ය වන අතර, පැරණි නිර්දේශයෙන් අවශ්‍ය වන්නේ ඉසෙඩ් ලකුණු 0.8931කි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පාඨමාලාව හැදෑරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නව නිර්දේශය යටතේ පෙනී සිටි සිසුවකුට ඉසෙඩ් ලකුණු 1.3171ක් අවශ්‍ය වන අතර පැරණි නිර්දේශයෙන් අවශ්‍ය වන්නේ 0.3379කි. එසේම කළුතර, මහනුවර රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල සිටින සිසුන්ට මෙන්ම බොහෝ පළාත්වල සිසුන්ට පාඨමාලාවන්ට ඇතුළත් වීමේදී නව නිර්දේශයට අනුව විභාගයට පෙනී සිටි සිසුන්ටද දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු සඳහන් කරති.

එසේම මේ සම්බන්ධයෙන් නොයෙකුත් අවස්ථාවලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට උත්සාහ කළද එම දුරකථනවලට ඇමතුම් ලබා ගැනීමට නොහැකි බවද අසාධාරණයට ලක්වූ සිසුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් එම සිසුහු මෙලෙස අදහස් දැක්වූහ.

රත්නපුර බළංගොඩ අමුපිටියේ ලක්ෂානි ප්‍රබෝධනී

‘‘මම අසනීප තත්ත්වයෙන් නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ පෞද්ගලික අයැදුම්කාරියක් ලෙසයි. මම පෙනී සිටියේ කලා විෂය ධාරාවෙන්. ඒ අනුව දේශපාලන විද්‍යාවට ‘A’ සාමාර්ථයක් සිංහල විෂයට ‘A’ සාමාර්ථයක් සහ නර්තනය විෂයට ‘B’ සාමාර්ථයක් ලබා ගත්තා. නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටියේ අනුමාන ප්‍රශ්න පත්‍රයක්වත් ලියන්නේ නැතුව. මගේ ඉසෙඩ් ලකුණු මට්ටම 1.3917ක්. මට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ ​ වීමට නොහැකි බව දන්වලා තියෙනවා. නමුත් පැරණි නිර්දේශය යටතේ මේ විෂයන් සඳහාම පෙනී සිටි සිසුන් අඩු ඉසෙඩ් ලකුණුවලට විශ්වවිද්‍යාලයට තේරී පත්වෙලා. ඒක හරිම අසාධාරණයි.’’

මහනුවර දෙල්තොට කරගස්කඩ මධ්‍යම මහා විද්‍යාලයේ කාවින්ද්‍යා අංජානා

‘‘මම කලා අංශයෙන් විභාගයට පෙනී සිටියා. නර්තනය, සන්නිවේදන සහ මාධ්‍ය ආධ්‍යයනය, සිංහල යන විෂයන් සඳහා ‘A’ සාමාර්ථ දෙකක් සහ ‘C’ සාමාර්ථයක් ලබා ගත්තා.

මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනි පාඨමාලා සඳහා අයදුම් කළා. මගේ ඉසෙඩ් අගය වුණේ 1.1183ක්. එය ප්‍රමාණවත් නොවන බැවින් මට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වී තිබෙනවා.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵලද නිකුත් කරලා නැහැ. රුපියල් 1500ක මුදලක් ගෙවලා තමයි ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටියේ. පැරණි නිර්දේශයට අනුව 0.2 ඉසෙඩ් අගය තියෙන අයත් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගෙන තිබෙනවා.

කළුතර අෂ්මිකා දිව්‍යාංජලී

‘‘මම කැලණිය විශ්වවිද්‍යාලයට සහ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අයදුම් කළා. නමුත් මගේ ඉසෙඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රමාණවත් නැහැ කියනවා. මගේ ඉසෙඩ් ලකුණු 1.0453ක්. නමුත්, කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනි පාඨමාලාවටවත් මාව ඇතුළත් කරගෙන නැහැ. එසේ වුවත් එම පාඨමාලාවට ඇතුළත් වීමේ ඉසෙඩ් ලකුණු වන්නේ 0.7875ක් ලෙසයි. මේක හරිම අසාධාරණයි.’’

මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ඉසුරි මධුෂිකා.

‘‘මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී පාඨමාලා සඳහා අයදුම් කළා. මගේ ඉසෙඩ් ලකුණ 0.9403ක්. ඒත්. මාව තෝරාගෙන නැහැ. නමුත් එහි අවම ඉසෙඩ් ලකුණ 0.7875ක් ලෙස සටහන් කර තිබෙනවා. මට ප්‍රශ්නයක් ඇයි මාව ඇතුළත් කර ගත්තේ නැත්තේ කියලා. පැරණි නිර්දේශයට අනුව ඉසෙඩ් ලකුණු 0.1 ලබාගත් සිසුන්ටත් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිවී තිබෙනවා.’’

‘‘මම සිංහල. ජනසන්නිවේදන සහ ඉතිහාසය විෂයන් සඳහා පෙනී සිටියා. මගේ ​ඉසෙඩ් ලකුණු 1.3844ක්. නමුත් මාව විශ්වවිද්‍යාලයට තේරී පත්වී නැහැ. පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි සමහර සිසුන් මගේ ඉසෙඩ් ලකුණු මට්ටමට වඩා අඩු වුණත් ඒ අය විශ්වවිද්‍යාලයට තේරී පත්වී තිබෙනවා. මේ ගැන කියන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කතා කළත් දුරකථන වැඩ නැහැ.’’

aruna.lk - වරුණි පෙරමුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.