Oct 03

රු 250 සහන පැකේජ් එකකට පාසල් ළමුන් බිලි බාන මාතර නගරයේ ගණිකා ජාවාරම


තම දරුවන් මාතර නගරයට, පාසලට හෝ උපකාරක පන්තියකට ගොස් ආපසු එනතුරු මවුපියන් බලා සිටිනුයේ ඇඟේ ලේ රත්කර ගනිමිනි.

ඒ මෑතක සිට මාතරම ඩැහැගෙන ඇති මත්ද්‍රව්‍ය හා ගණිකා ජාවාරම් හේතුවෙනි.

ගණිකා ජාවාරමට මුවා වී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මේ ජාවාරම අනාවරණය කර ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඉකුත් සතියේ සමත් විය.

ඒ පාසල් ළමයින් හා උපකාරක පන්තිවලට යන ළමයින් ගණිකා ජාවාරමකට හසු කරගෙන ඒ මාර්ගයෙන් ඔවුනට මත්ද්‍රව්‍ය ලබාදෙන සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමෙනි.

ජාවාරම හසුකර ගැනීමට හැකි වූයේ මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාට ලැබුණු දුරකථන ඇමැතුමකිනි. ඇමැතුම ලැබී ඇත්තේ මධ්‍යම රාත්‍රියේය.

මාතර නගරයේ ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් 17 දෙනකු සිටින බවට තොරතුරු අනාවරණය වී තිබිණි.

දෙසතියකට පමණ පෙර ඔවුන්ගෙන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වරද පිළිගත් ඔවුහු දඩ මුදල් ගෙවා නිදහස් වී සිටියහ.

මාතර සැරිසරන ගණිකාවන් පාසල් සිසුන් මේ ගැටයට හසු කරගෙන ඇත්තේ සහන පැකේජයක් යටතේය. ඒ යටතේ එක් ගණිකාවක් පැය භාගයකට අය කරන රුපියල් දහසක ගාස්තුව ශිෂ්‍යයන් දෙදෙනකුට එක්ව රුපියල් දෙසීයපනහ බැගින් කොටස් හතරකට ගෙවිය හැකිය.

මේ ගැන සැලවුණු මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාට දැනුණේ මහ කනගාටුවකි. මාතර කොට්ඨාසය භාර දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර යන නිලධාරීන්ට මේ බව සැල කළේය.

ඉන්පසු හේරත් මහතා තම නිලධාරීන් සමඟ ජීප් රියේ නැඟී වහා වහා පිටත් වූයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමටය. කාන්තාවන් හතර දෙනකු පොලිස් දැලට කොටු විය.

“තමුන් ඇයි මේ අපරාධ කරන්නේ?”

පොලිස් නිලධාරීහු ඔවුන්ගෙන් ප්‍රශ්න කළහ.

“අපිට සල්ලි ලැබෙනවා නම් වයස අදාළම නෑ සර්”

ඔවුන් දුන් පිළිතුරයි ඒ. දිගින් දිගට කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ අපරාධයේ අග මුල හෙළි විය.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ මේ ගණිකාවන්ට සිය වෘත්තීය කර ගැනීමට නොහැකි වී තිබේ. ඊට පෙර ඔවුන් සිය වෘත්තියේ යෙදී ඇත්තේ දුර ගමන් සේවා බස් රථ ඉලක්ක කර ගෙනය.

මාතර නගරයට එන වෙළෙන්දන් මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ද මොවුන්ගේ ගොදුරු බවට පත්වී තිබිණි. මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමඟ එක්ව සිය ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යෑමට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. පාසල් ළමයින්ට රුපියල් දෙසීියපනහට සේවය සපයා අනතුරුව ඔවුන් ගංජා වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීම ඔවුන්ගේ උපක්‍රමය විය.

මොවුන් උපකාරක පන්තිවලට එන සිසුන් සිය ග්‍රහණයට ගත් පසු මත්ද්‍රව්‍ය ජාවාරමුන් පැමිණ සිසුන් බිය ගන්වා මත්ද්‍රව්‍ය අලෙවි කර තිබේ. මේ දෙපාර්ශ්වයේම අරමුණ වී ඇත්තේ බාල පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවාගෙන අලුත් පාරිභෝගික පරපුරක් නිර්මාණය කර ගැනීමය.

කාන්තාවන් හතර දෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දස දෙනකු හා ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින්, අයිස් හා ගංජා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

පරීක්‍ෂණවලදී හෙළි වූයේ මේ ගණිකාවන් මාතර පදිංචිකාරියන් නොවන බවය. ඔවුන් රත්නපුර, වලස්මුල්ල, දෙණියාය, ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකාරියන්ය.

ඒ අනුව වයස අවුරුදු 45 සිට අවුරුදු 23 දක්වා වයස් මට්ටම්වල සිටින කාන්තාවන් අට දෙනකු අත්අඩංගුවට පත්වූ අතර ඊට සතියකට පෙර වයස අවුරුදු 50 සිට 24 දක්වා වයස් මට්ටම්වල කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට පත්වී තිබිණි.

මේ කාන්තා කණ්ඩායමේ නායිකාවක්ද සිටී. ඇය “නයා” නමින් හැඳින් වෙයි. ඇගේ ගාස්තුව ඉහළය. ඒ රුපියල් පන්දහසක් වැනි මුදලකි. සෙස්සෝ රුපියල් තුන්දහස් පන්සීය සිට රුපියල් දහස දක්වා අය කරති. ඔවුන්ගේ භාෂාවෙන් එය වැඩක් කිරීමකි. මේ කණ්ඩායම අතර කප්පම් ගන්නියෝද සිටිති. ඒ වෙනත් ගැහැනුන් වැඩක් කරගෙන ආ විට එයින් රුපියල් 2000ක් වැනි මුදලක් ඇයට ගෙවිය යුතුය.

දුර බැහැර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් නවාතැන් ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ නිවෙස්වල බවද සොයා ගැනිණි.

ඔවුන් මාතර නගරයට එන්නේ දිවා කාලයේය. ඔවුහු උදෑසන 7.00 පමණ වනවිට මාතර කොටුවේගොඩ, මාතර බස් නැවතුම්පොළ, මාතර වෙරළ උද්‍යානය ආදී ස්ථානවල සැරිසරමින් දවල් වනවිට වැඩ හතර පහක් කර ගනිති. මාතරට පාසල්වලට හා පන්තිවලට පැමිණෙන ඇතැම් දරුවන් පමණක් නොව මැදිවියේ පුද්ගලයන්ද හසුකර ගැනීමට මෙම කාන්තාවන් සමත් වී තිබේ. මොවුන් බොහෝදෙනකු මත්ද්‍රව්‍යවලටද ඇබ්බැහි වූවෝ වෙති.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ගණිකාවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහයෝගය දෙන ත්‍රිරෝද රථ රියැදුරන් ගැනද අවධානයෙන් පසුවන බව පෙනෙයි. මීට අමතරව පාසල්, උපකාරක පන්ති අසල සිවිල් ඇඳුමැති බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමටද තීරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දහහතර දෙනකු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්, කොට්ඨාස භාර පොලිස් අධිකාරි 1 විජේගුණවර්ධන, කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක මෙන්ඩිස්, කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර, පොලිස් සැරයන් සුනිල් (56615), පොලිස් සැරයන් වීරසිංහ (6403), පොලිස් සැරයන් පතිරණ (73066), පොලිස් සැරයන් ක්‍රිෂාන්ත (55836), පොලිස් කොස්තාපල් ජනක (66649), පොලිස් කොස්තාපල් වසන්ත (86160), පොලිස් කොස්තාපල් රියැදුරු වසන්ත (80473) යන නිලධාරීනුත් කාන්තා පොලිස් සැරයන් දිල්රුක්‍ෂි (1727) නිලධාරිනියත් වැටලීමට එක්වූහ.

උදය කුමාර රණවීර - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.