Sep
04
පොල් ගෙඩි අස්සේ ලක්‍ෂ 50ක කුඩු. අඹුසැමි යුවළ මාට්ටු
රුපියල් පනස්ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පොල්ගෙඩි තුළ සූක්‍ෂම අන්දමින් අසුරා ඒවා දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප‍්‍රවාහනය කිරීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්ඩායමක් මොරගහහේන පොලිසිය මගින් ඊයේ (3 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මොරගහහේන පොලිස් ස්ථානාධිපති එස්.කේ. නලීන් සංජීව මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම හෙරොයින් ජාලයට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය දීර්ඝ කාලයක සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පොදු ප‍්‍රවාහනය යොදා ගනිමින් හෙරොයින් තොග ගාල්ල ප‍්‍රදේශයේ සිට වෙන්නප්පුව, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශ වෙත ප‍්‍රවාහනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
දැනට කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සුනිල් ශාන්ත නමැත්තාට අයත් හෙරොයින් තොග මොවුන් මෙසේ ප‍්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය පිළිබඳව මුලින්ම මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු ලැබී ඇත්තේ උඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකුගෙනි.
දැනට බන්ධනාගාරගතව සිටින සුනිල් ශාන්ත නමැති ජාවාරම්කරු පදංචිව සිටි නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නවාතැන් ගැනීමට පැමිණ සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයන් දෙදෙනා සතුව තිබී හෙරොයින් පැකට් කීපයක් හමුවීමෙන් පසු ඔවුන්ගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇත.
එහිදී අධිවේගී මාර්ගය ඔස්සේ හෙරොයින් ප‍්‍රවාහනය කිරීම පිළිබඳ තොරතුරු අනාවරණය විය.
ඒ අනුව අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථයක හෙරොයින් රැගෙන යෑමට පැමිණි පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයාට ලබාදීමට හෙරොයින් රැගෙන ආ අඹු සැමි යුවළක්ද අත්අඩංගුවට ගන්නා ලදී.
එම අඹුසැමි යුවළ රැගෙන ආ පොල් ගෙඩි 5 ක හෙරොයින් ග‍්‍රෑම් 500 ක් ඉතාම සූක්‍ෂම ලෙස අසුරා තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කළුතර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරි මහින්ද වීරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිස් ස්ථානාධිපති එච්. කේ. නලීන් සංජීව මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. ලලිත්, සැරයන් (53665) අජිත්, (70153) මෙන්ඩිස් ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.
හේමන්ත රන්දුණු - දිවයින