Sep
19
එන සඳුදා කොළඹ බස් දුවන්න බැහැ
බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියැදුරන් එළැඹෙන සඳුදා (21 වැනිදා) ධාවනයෙන් ඉවත් වන බව තමාට දැනුම්දී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත.
ධාවනයෙන් ඉවත්වීම පොදු තීරණයක් නොවන බව පැවසූ සභාපතිවරයා බස් සේවකයන් මෙන්ම මගීන්ද මෙහිදී එකසේ අපහසුතාවයට ලක්වන බව පෙනවා දුන්නේය.
විශේෂයෙන් කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයේ සහ ගාලු පාරේ ඇතැම් ස්ථානවල කිලෝමීටර් භාගයක් ධාවනය කිරීමට බස් රථවලට පැයක කාලයක් ගතවී ඇති බවටත් මේ හේතුවෙන් මගීන් බස්වලින් බැස පයින් ගමන් කරන බවටත් පැමිණිලි ලැබෙන බවද ඔහු කීය.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව පිළිගත් නිර්ණායක උල්ලංඝනය කරමින් බස් ප්‍රමුඛතා මංතීරු වෙත යතුරු පැදි සහ ත්‍රිරෝද රථ බලහත්කාරී ලෙස එක් කිරීම සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයද හෙළි දකින බව එහි කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පැවැසුවේය.
2015 නොවැම්බර් මස 12 වැනිදා නිකුත් කරන ලද අංක 1940/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව බස් ප්‍රමුඛතා මංතීරුව පොදු ප්‍රවාහනය සඳහා වෙන්කර ඇති අතර එම මංතීරුවට යතුරුපැදි එක්ක කිරීමට නීතිමය වලංගුභාවයක්ද නොමැති බව හෙතෙම කියා සිටී.
ශිරන්තනි මානවඩු - අරුණ