Jul
11
මාමස්මිගේ සගයා ජාතික රෝහලේදී මියයයි - හරක්කටාගේ ගෝලයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට
මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පසුගිය මැයි මස 30 වන දා සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අබ්දුල් රවූෆ් නමැති ඔහු, ඝාතනයට ලක්වූ මාමස්මි සහ දැනට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවට විශ්වාස කෙරෙන බයියා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවටයි වාර්තාව වුණේ.
දැනට බන්ධනාරගත කර සිටින කංජිපානි ඉම්රාන් අදාළ වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.
මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 31 හැවිරිදි බමුණූආරච්චිගේ රුක්ෂාන් හෙවත් උක්ෂාන් නැමත්තා කොටහේන සුපිරි වෙළදසැලක් අසළ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ද සමගයි.
පාතාල සාමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ සමීපතමයින් දෙදෙනෙකු සැඟව සිටියදී මත්ද්‍රව්‍ය සමඟ වැලිගම - කොක්මාදුව සහ වැලිගම - ඉබ්බාවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජපක්ෂ පතිරණගේ ප්‍රභාත් මධුසංක නොහොත් මිදිගම චූටි සහ තවත් ගෝලයෙකු වන චාමර නමැත්තෙක්.
මිදිගම චූටි නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100 ක් සහ ජංගම දුරකථන 9 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 32 හැවිරිදි ඔහු මනුෂ්‍ය ඝාතන, මුදල් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙක්.
චාමර නමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 382 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Source - Hiru News