Jul
02
අධිකරණ නියෝගයකින් කංසා පැළ 7000ක් ආයුර්වේදයට
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් දින කිහිපයක් පුරා හම්බෙගමුව, උනකන්ද හා අලුත්වැව ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි ගණනක් වටිනා කංසා පැළ 7000ක් අත්අඩංගුවට ගෙන ඇත. ඒවා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතාගේ නියෝග මත එම කංසා තොගය ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.
කංසා වගාවන් වැටලූ අවස්ථාවේ එම කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණු අතර ඒ අනුව මෙම ඒකකය වැටලීම භාර නිලධාරීන් පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත (අධ්යක්ෂ) විසින් තම උසස් නිලධාරීන් හා ආයුර්වේද ඔෟෂධ සංස්ථාවේ සභාපතිනිය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.
මෙම කංසා තොගය ආයුර්වේද සංස්ථාවට ලබාදීම සම්බන්ධයෙන් විරෝධයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් අධිකාරිවරයාගෙන් කරුණු විමසා ඇති අතර විරෝධතාවක් නොවූ බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුව සඳහා කංසා තොගය ලබා දීමට අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයට ගෙනැවිත් තිබූ ලොරි රථ තුනක පැටවූ කංසා තොගය කොළඹ බලා ප්‍රවාහනය කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුවිය. මේ අවස්ථාවට ජේයෂ්ඨ වෛද්‍ය නිලධාරී එස්.කේ.පී. තරංග මහතා ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා සංස්ථාවේ නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.
ආයුර්වේද ඔෟෂධ සංස්ථාවේ සභාපති නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය මෙසේ කීවාය.
“ආයුර්වේද ඔෟෂධ සංස්ථාවට ඉතාම අත්‍යවශ්‍ය වන ඔෟෂධයක් තමයි කන්සා කියන්නේ. අපිට වවන්න බෑ. නීත්‍යනුකූල අවසරයක් නෑ. නමුත් බෙහෙත් නිෂ්පාදනයට ඉතාමත් අත්‍යවශ්‍ය බෙහෙතක්. මේවා ලබා ගැනීමට නොහැකිවීම නිසා සුවිශේෂී ඔෟෂධ වර්ග කිහිපයක් සකස් කරන්න බැරිවෙලා තියෙනවා. අපිට කංසා ලැබෙන්නේ උසාවිවලින් අත්පත් කරගන්නා ඒවා විතරයි. බොහෝ වෙලාවට ඒවා සාම්පල්.
පසුගිය දිනවල පොලිස්පතිතුමා නියෝගයක් දීලා තිබුණා කංසා හේන් වැටලීම කළපසු ඒවා ආයුර්වේද දෙපාර්තමේන්තුවට දෙන්න කියලා. ඒ අනුව අපිට තොරතුරක් ලැබුණා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් කංසා හේනක් වටලලා තියෙනවා කියලා. අවශ්‍ය නම් අපේ සංස්ථාවේ වාහන එවන්න කියලා. ඒ අනුව අපි දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා, පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරුන් වගේම මෙම ඒකකයේ ස්ථානාධිපතිතුමන් සමඟ සම්බන්ධ වෙමින් මේ කංසා තොගය විනාශ නොකර ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒකේ පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට. දින ගණනාවක් තිස්සේ කැලයක් මැද්දේ ඉඳගෙන මේවා ගලවලා කරෙන් ඇදලා මේක අපිට ලබා දුන්නේ. ඒක නැවැත ලබාදෙන්න ගත්ත වෙහෙසටත් අපි ස්තූතිවන්ත විය යුතුයි.”
වැල්ලවාය - ජී.අයි. රොෂාන්
Source - මව්බිම