Jul
10
විදුලිසැර වදින විදුලි බිලට සහන පැකේජයක්
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහන පැකේජයක් ලබාදෙන බව සම කැබිනට් ප්‍රකාශක උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
විදුලි බිල්පත් සඳහා ලබාදිය හැකි සහ ඒ පිළිබඳ යෝජනා ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ පිළිබඳ පෙරේදා (8දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී අවධානයට ගැනුණු බවත් කීවේය. එම වාර්තාව සම්බන්ධව මහ භාණ්ඩාගාරයේ යෝජනා ලබා ගැනීමෙන් පසුව එම සහන පැකේජය ක්‍රියාවට නැංවීමට ලබන සතියේ පවත්වන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
විදුලි ඒකක 90ට අඩුවෙන් පාවිච්චි කරන 73%ක් වූ පවුල් සඳහා මින් වැඩි සහනයක් සැලසෙන බව සඳහන් කළ ඔහු මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා බිල්පත්වලට එම සහනය දෙන බවද කීවේය. විදුලි බිලට 25%ක සහනයක් දෙන බවත් ඉදිරි මාස තුන තුළ එය ගෙවීමට සහන කාලයක් ලබා දෙන බවත් පැවැසූ බන්දුල ගුණවර්ධන මහතා දඩ මුදල් අය නොකරන බවද අවධාරණය කළේය.
දෙනගම ධම්මික රණවීර
Source - මව්බිම