Jul
01
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධතා පැවැත්වූ බැව් කියන සිද්ධියට අදාළව මෙම මත්ද්‍රව්‍ය ජාලය භාවිත කළ වාහන 10ක් රහස් පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් ඊයේ (30දා) වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු භාවිත කළ අධි සුඛෝපභෝගී වෑන් රථ දෙකක්ද කරන්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබියදී රහස් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හෙරොයින් ජාවාරමේදී භාවිත කළ බව කියන මෝටර් රථයක්ද මීට දින කිහිපයකට ඉහතදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
මෙම විමර්ශනයට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බවත් එම පොලිස් පරීක්ෂකවරයා මේ වන විට තමන් පදිංචි ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ අතර හෙරොයින් ජාවාරමට අදාළව උපයෝගී කරගත් ජීප් රථයක්, වෑන් රථ 2ක්, මෝටර් රථයක්, ලොරි රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක්ද මිනුවන්ගොඩ පොලිසිය විසින් අවස්ථා කිහිපයකදී සිදුකරන ලද විමර්ශනවලදී මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
තවද අත්අඩංගුවේ පසුවන සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසේ සඟවා තිබූ මුදලින් රුපියල් 9,40,000ක්ද, පිහියක්ද, කේරඩිට් කාඩ්පත් 4ක්ද, GPS උපකරණයක් ඇතුළු උපකරණ රැසක්ද පසුගියදා සොයාගනු ලැබීය.
මිනුවන්ගොඩ පොලිසිය විසින් සිදුකරන ලද එම විමර්ශන කටයුතු බස්නාහිර පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ගම්පහ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී. රොහාන් මහේෂ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂකවරුන් වන රෝහණ, කරුණාරත්න, දේශප්‍රිය, මැදවල පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර (53253), වීරරත්න (36723), පොලිස් කොස්තාපල්වරුන් වන බුද්ධික (32894), රාජපක්ෂ (73930), පොලිස් කොස්තාපල් රියැදුරු ජයතිලක (18743) ඇතුළු නිලධාරීන් විසින් සිදුකර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ලබාදුන් තොරතුරු මත මෙම සිද්ධියට අදාළ විමර්ශන රහස් පොලිසිය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.
චාමර අමරසූරිය
Source - මව්බිම