Jun
15
බිත්හි හිල් කර මත්පැන් සොරා ගන්නා අමුතුම කල්ලියක් කොටුවුණු හැටි
අලුත්ම ක්‍රමයකට රට බීම හල් තුලට ඇතුළුව බියර් ඇතුළු මත් පැන් බෝතල් සොරා ගන්නා කල්ලියක් සි සි ටි වී කැමරා ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණයකින් පසු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ. මේ කල්ලියේ සාමාජිකයන් සිව් දෙනෙකු සිටින අතර මේ වන විට පොලිසිය ඉන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දඹුල්ල , ගලේවෙල , තලාව , හා පොල්ගහවෙල පදිංචිකරුවන් වෙයි.
මේ කල්ලිය සංවිධානාත්මක ලෙස මේ ජාවාරම සිදු කර ඇති අතර , ඒ සදහා මොවුන් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පොලිසියෙන් ලබා දෙන බලපත්‍රයක්ද උපයෝගී කරගෙන ඇත . මේ වන විට පොලිසියට අනාවරණය වී ඇති කරුණු අනුව මේ කල්ලිය ශීතකරණ ලොරියක් උපයෝගි කරගනිමින් රට පුරා රටබිම හල් විසි අටකට ආසන්න ප්‍රමාණයක් කඩා බියර් ඇතුළු මත්පැන් බෝතල් සොරා ගෙන ඇත.
මේ කල්ලිය මේ ජාවාරම සදහා විශේෂයෙන් සකස් කරන ලද යකඩ ඉන්නක් යොදා ගෙන ඇති ආතර ඉන් රට බීම හලේ බිත්තිය හිල් කර ඒ තුලට ඇතුළුවී ඇත. මොවුන් මේ සදහා පැය කීපයක් ගත කරන අතර පසුගිය (08) වැනි දින මාරවිල පොලිස් වසමට අයත් ලංසිගම ප්‍රදේශයේ රටබිම හල තුල පැය පහකට ආසන්න කාලයක් ගත කර තිබේ . මෙහිදී පොලිසියරට බීම හලේ සි සි ටි වී කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී ලොරි රථය නවත්වන අයුරු හා ඉන් පුද්ගලයෙකු බැස විත් තොරතුරු සොයා බලන අයුරු දැක ගැනීමට ලැබී ඇත.
පොලිසිය මේ වැටලීම සදහා සි සි ටි වී කැමරා විස්සකට වැඩි ප්‍රමාණයක් පරික්ෂා කර ඇති අතර හෙට්ටිපොල හා හලාවත නගරයේ සවිකර ඇති සි සි ටි වී කැමරා තුල මේ ශීතකරණ ලොරිය ආපසු යන අයුරු සටහන්ව තිබේ. ඒ අනුව ලොරි රථයේ අංකය ගෙන එහි අයිතිකරු සොයා ගෙන ඇත. ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ලොරි රථය රැගෙන ගිය පුද්ගලයන් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
මේ ජාවාරම සදහා යොදා ගත් ශීතකරණ ලොරිය මොවුන් විසින් හිමිකරුගෙන් ලබා ගෙන ඇත්තේ කුලී පදනමට වන අතර ඒ සදහා දින දෙකකට රුපියල් 18000 ක මුදලක් ගෙවා තිබේ.
මාරවිල ලංසිගම පිහිටි රටබිම හලෙන් ලක්ෂ හයකට ආසන්න වටිනාකමක් ඇති බියර් ටින් 1560 ක් සොරා ගෙන ඇති අතර මාරවිල පොලිසිය මේ වන විට ඉන් බියර් ටින් 1464 ක් සොයා ගෙන ඇත. ඊට අමතරව මේ ජාවාරම සදහා යොදා ගත් ශීතකරණ ලොරිය හා යකඩ ඉන්නද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මාරවිල මුලස්ඨාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මාරවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේමසිංහ , මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මේ වැටලීම සිදු කර තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
හලාවත ප්‍රසාද් පුර්ණමාල්
Source - මව්බිම