Jun
26
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මීන්ට ඇති තැන හෙළිකළ පූජනීගේ මරණය
අවුරුදු තිස් තුනක් කියන්නේ ජීවිතෙන් හරියට ගත්තොත් තුනෙන් පංගුවක් වැනිය. ජීවිතය උරුම වී තිබුණේ එවන් කාලයක් බව නොදැන සිටි පූජනී ලියනගේත් හැම කෙනෙක් වාගේම අනාගතය ගැන මහ ගොඩක් දේ හිත තබාගෙන සිටියාය. ඒ අතරිනුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටට වැඩක් කරන්නටත්, ගෙදර අයට තමන්ගේම කියන නිවහනක් හදා දෙන්නත් ඈ හිතේ මුලටම බලාපොරොත්තුවක් විය.
ජීවිතය ටික ටික ගැළපීගෙන එද්දී ඒ බලාපොරොතුවලටත් ටික ටික ඈ පණ දීගෙන ආවාය. ඒත් පූජනී සිහින දුටු ලෙස ඒවායෙහි අවසානයක් දකින්නට බැරි විය. ඒ ඊට පෙර ඇගේ දිවියේ අවසානය තීන්දු වූ නිසාය. කිලෝමීටර් දෙසීයක් පමණ දුර ගෙවාගෙන පාදුක්කේ බෝපේ සිට අනුරාධපුරය බලා අම්මාගේ මුහුණ දකින නොඉවසිල්ලෙන් ආ ගමනේ අතරමගකදී මරු ඇගේ ජීවිතය උදුරාගත්තේ, එතෙක් ක්‍රිකට් ලෝලීන් දැන සිටි පූජනීගේ නොදැන සිටි සැබෑ ජීවිතේ කතාවත් ද හෙළි කරමිනි.
පූජනී ලියනගේ උපන්නේ අනුරාධපුරයේ වේළුවන ගමේය, අම්මාත්, තාත්තාත්, අයියා හා නංගීත් සමග දිවි ගෙවූ පූජනීට උපන්දා සිටම දුක් ගොඩක් උරුම වී තිබිණි.
ඈ උපන් ගම දුෂ්කරය. ඒ මදිවාට ඔවුන් ජීවත් කරවන්නට තාත්තාට ස්ථිර රැකියාවක් වූයේ නැත. පූජනීලා කුඩා කල ඒ තාත්තා නිවාස අධිකාරියේ රැකියාවක් කළද වැඩ තහනමකට ලක්වීමෙන් ඒ රැකියාව අහිමි ව ඇත. ඉන් පසු ඔහු පෙදරේරු වැඩ කරන්නට පටන්ගෙන ඇත. තාත්තා ගමටත් අහල ගම්වලටත් පෙදරේරු වැඩ කළාට කවදාවත් පූජනීලා වෙනුවෙන් බිත්ති හතරක් ගොඩනගා දෙන්නට බැරිව ගියේය. ඒ නිවසක් හදන්නට කියා කිසිදු වත්කමක් නොතිබූ නිසාය. ඒ නිසා පූජනීලාට කවදාවත් තමන්ගෙ කියා නිවසක් තිබුණේ නැත. එහෙම වූ නිසා උපන්දා පටන් ඇය ඇතුළු පවුලේ ජීවත් වන්නට වූයේත් කුලී නිවහන්වලයි. පූජනීලාට දෛවය කෙතරම් නපුරුකම් කළාද කීවොත් යෝධ ගසක් සේ පවුලට පෙදරේරු රස්සාවෙන් හෝ සෙවණ දුන් ඒ තාත්තාත් වකුගඩු රෝගියෙක් කළේය. එතැන් පටන් ඔහුගේ බේත් හේත් සඳහාද අමතර මුදලක් ඕනෑ වුණේය. මේ දුක්වල රහ දන්නා නිසා කවදා හෝ පවුල ගොඩගැනීමේ බලාපොරොත්තුවක් පූජනී සිතේ එක තැනක ස්ථීරෙටම රැඳී තිබුණි. ඒ නිසා ඇය අතරමග නොනැවතී දිගටම ඉගෙන ගත්තාය. පූජනී ලියනගේ ගියේ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයටයි. ඒත් ඉගෙනීමටත් වඩා ඇය පාසලේ ඉදිරියෙන් සිටියේ ක්‍රීඩාවෙනි. ක්‍රිකට් ගහන්නටත් දුවන්නටත් හපනියක් වූ පූජනීව පරදන්නට එදවස වලිසිංහ හරිශ්චන්ද්‍රයේ තවත් කෙනෙක් සිටියේ නැත.
ඒත් පූජනීගේ හිතේ ක්‍රිකට්වලින් ඉස්සරහට යන්නට මහ විශාල ආශාවක් තිබුණේය. ඇගේ පාසලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නොතිබුණත් ඇගේ පාසලට අල්ලපු පාසල වූ ස්වර්ණපාලී බාලිකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තිබුණි. ඒ පාසලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 1998 වසරේ සමස්ත ලංකා ක්‍රිකට් තරගයෙන් ද ජයග්‍රහණ කළේය.
ඒ ජයග්‍රහණයට හේතුව වූයේ ළමුන්ගේ දක්ෂතාවය සේම පුහුණුකාරියගේ දක්ෂකම නිසා බවත් පාසල්වල ඒ දිනවල කතාබහ විය. ඒ පුහුණුකාරිය වූයේ පද්මා කරුණාරත්නයි. ඇය එවකට අනුරාධපුර ස්වර්ණපාලී බාලිකාවේ ඉංග්‍රීසි ආචාර්යවරියද වූවාය.
2000 වසරේ දවසක පද්මා කරුණාරත්න ගුරුතුමියට රාජකාරී කටයුත්තකට පූජනී ඉගෙනගන්නා වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයට එන්නට සිදුවුණේය. ඇය පැමිණ විදුහල්පතිවරයා හමුවී ආපසු යමින් සිටියාය.
“මිස්… මිස්….”
පූජනීගේ හඬට ගුරුතුමියගේ ගමනේ වේගය මදක් බාල වුණේය. ඒ ඇසිල්ලේ පූජනී ඇගේ සාරි පොටින් අල්ලාගෙනම නතර වුණාය.
” මිස්… මිස් නේද කොන්වන්ට් එකේ ක්‍රිකට් මිස්. මිස්ගෙ ටීම් එක නේද සමස්ත ලංකා දිනුවේ. අනේ මිස් මමත් කැමතියි ක්‍රිකට් ගහන්න. මාවත් ගන්නකෝ ටීම් එකට..”
පූජනී හුස්මක් නොගෙනම කියවාගෙන යද්දි ගුරුතුමියට ඇය ගැන පැහැදීමක් ඇති වුණේය. ඒ පූජනී තුළ ක්‍රිකට්වලට තිබූ විශාල ආසාව හා උනන්දුව ගැන තේරුම් ගිය නිසාය. ඇයට හොඳ අරමුණක් ඇති බව පද්මා ගුරුතුමියට ඒ මොහොතේ තේරුම් ගියත් ඇගේ ඉල්ලීම නම් ඉටු කළ නොහැකි එකක් විය. ඒ ඇය වෙනත් පාසලක සිසුවියක් නිසා බාලිකාවේ ඇගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගැනීමට නොහැකිවීමයි. ඒත් පද්මා ගුරුතුමිය ඇගේ ඉල්ලීම නොසලකා හැරියේ නැත. ඇය ශක්ති නමින් ක්‍රීඩා සමාජයක් ඇතිකළ අතර ඒ ක්‍රීඩා සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පූජනීව බඳවා ගත්තාය.
දැන හෝ නොදැන හෝ එදා පූජනී එල්ලී තිබුණේ නිවැරදිම සාරි පොටේය. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් අගනුවර ප්‍රධාන ක්‍රීඩා සමාජ කීපයකත් කාන්තා ක්‍රිකට් පුහුණු කාරියක වූ පද්මා කරුණාරත්න ලංකාවේ සුදුසුකම් ලැබූ පළමු විනිසුරුවරිය ද වූවාය. ඒ හමුවීම පූජනීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේය. එයා කවදාවත් නැති බැරිකම් කිය කිය ක්‍රිකට් අතෑරියේ නෑ. කොළඹ ඉඳලා පුහුණුවෙන්න, නවතින්න, ඇඳුම් පැලඳුම් ආහාරපාන වෙනුවෙන් ඇය රස්සාවකුත් කළා.”
ඒ වනවිට ජාතික කාන්තා ක්‍රිකට් දෙවන පෙළ ක්‍රීඩිකාවක වූ පූජනී රැකියාව ලෙස තෝරාගත්තේ එවැනි තත්ත්වයේ සිටින වෙනත් අයෙක් නම් සිතන්නටවත් අකැමැති රැකියාවකි. ඒ මීගොඩ රුසිරුමල් ඇඟලුම් කම්හලේ මැහුම් සේවිකා තනතුරකි. ඒ වනවිට අවුරුදු අටක් දහයක් තිස්සේ වකුගඩු රෝගයෙන් පීඩා විඳ පූජනීගේ තාත්තා ජීවතුන් අතරින් සමුගෙන ගොස් තිබුණි. ඒ වනවිට පියා වෙනුවෙන් අයියා බොහෝ මුදල් වියදම් කර තිබූ නිසා පූජනී ගෙදරට බරක් වන්නට සිතුවේ නැත. ඒ නිසා ඇගේ වියහියදම් සියල්ල ඈ රැකියාව කර සොයාගත්තාය.
සැපක් නොවින්දත් රැකියාවත් කරගෙන, ක්‍රිකටුත් සෙල්ලම් කරගෙන, පුහුණුවීමුත් කරගෙන යමින් සිටි පූජනී ගමනේ පහසුවට වසර තුනකට පමණ පෙර යතුරු පැදියක් මිලදී ගත්තාය. ඒ ඇගේ පුහුණුකාරියගෙන් ද අසා ඇගේ ද අවසරය ඇතුවය. එදා පටන් ඈ හැම ගමනක් බිමනක් ගියේම මේ යතුරු පැදියෙනි.
පසුගිය කාලයේ ඇය අනුරාධපුරයේ පාලාඩිකුලමෙන් ඉඩම් කෑල්ලක් මිලට ගත්තාය. පුළු පුළුවන් විදිහට එහි පුංචියට ගෙයක් හැදීමේ කටයුත්තත් පටන් ගත්තාය. ඒ නිසා නිවාඩුවක් ලද විගස ඇය ගමට ඉගිලුණේ මේ යතුරු පැදියෙනි. බගෙට ගේ හදාගෙන යද්දී කවදාවත් තමන්ගේ කියා ඉහට වහලක් නොතිබූ පූජනීගේ ගෙදර අය එහි පදිංචියට ගියහ.
පසුගිය සමයේ කොරෝනා නිසා කවුරු කවුරුත් හිටි තැන්වලම කොටුවූහ. පූජනීට වූයේත් එයමය. දුලානිගේ නිවසේ ඒ මුළු කාලයම ගෙවා දැමූ පූජනීට ඇඳිරි නීතිය ඉවත් වෙද්දී ගෙදර යන්න සිතුණේය. ඒ හිත හිතා සිට ඈ ඒ ගමන යන්නට තෝරාගත්තේ ගෙවුණු දාහතරවැනිදාය.
පැය හතරකට ආසන්න කාලයක් ගතවීත් ඇය ගිනි අව්වේ පිච්චෙමින් පැමිණ තිබ්බේ කුරුණෑගල කටුපොතට ආසන්නයට පමණි. එතරම් වේලාවක් ගතවන්නට ඇත්තේ ඇය ඉතා සෙමින් බයිසිකලය පැද ආ නිසා වන්නට ඇත. කෙසේ හෝ ඇගේ ගමනාන්තයට යන්නට තවත් කිලෝමීටර් 115 ක් තිබුණි.
ඒත් ඒ දුර යන්නට ඇයට වාසනාව නැතිවූවා සේය. කටුපොත රඹෑව පාරේ යමින් සිටි පූජනීගේ යතුරු පැදිය නොසිතූ ලෙස ට්‍රැක්ටරයක ටේලරයේ වැදුණේ එතැන බරපතළ අනතුරක් සිදුකරමිනි. අනතුරින් බරපතළ තුවාල ලබා සිටි පූජනීව ප්‍රදේශවාසින් හා ට්‍රැක්ටර් රථ රියදුරා එක්ව කටුපොත රෝහලට ඇතුළත් කළහ. ඒත් ඒ වන විටත් ඇගේ ජීවිතය ගැන ඉරණම තීන්දු කර තිබුණි. ඈ ජීවිතය හැර ගොස් තිබුණේ කිසිවෙකුගේවත් වරදකින් නොවේ. සමහරවිට දීර්ඝ ගමනක යෙදුණු ඇයට නින්ද යන්නට ඇතැයි යන්න සිද්ධිය ඇසින් දුටු පිරිසගේත්, කටුපොත පොලිසියේත් අදහස විය.
අම්මටත් අයියාටත් තමන්ගේ කියා ගෙයක් හදන්නට ගත් පූජනී සුසානයට යනතුරු අවසන් නින්ද නිදා සිටියේද ඒ නිවසේය. එය ක්‍රිකට් ක්‍රීඩිකාවක් නිවසක් ඉදිකළ බව කී විට මැවෙන නිවසට වඩා හාත්පසින්ම වෙනස් නිවසකි. බ්ලොක් ගලින් ඉතා කුඩා කාමර දෙකක් හා කුස්සියක් ඉදිකර තිබුණි. කාමරයේ ජනේලය නැත. ඇස්බැස්ටෝස් වහලයක් යාන්තමට හෙවිල්ලා තිබුණි. ගෙයක් කීවාට එය නිවැසියන්ට නොතෙමී ඉන්නට තිබූ තැනක් වැනිය. ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නියෝජනය කළ ක්‍රීඩිකාවකගේ නිවස එසේය. පූජනී විතරක් නොවේ, කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ගමන් බිමන් යන්නේ පුහුණුවීම් වලට එන්නේ යතුරු පැදියෙනි. පිරිමින් සෙල්ලම් කරන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මිලියන ගණන් බිලියන ගණන් අනුග්‍රහය දක්වන රටේ කාන්‍තා ක්‍රිකට් සඳහා ඇති කුඩම්මාගේ සැලකිල්ලත් පූජනී යළිත් වරක් කාගෙත් ඇස් හමුවේ තබා ගෙවුණු බ්‍රහස්පතින්දා පාලාඩිකුලම පොදුසුසාන භූමියේ සදාකාලික නින්දේ සැතපුණාය.
සටහන ඡායාරූප – ජයන්ත සුබසිංහ
Source - අරුණ