Jun
17
ඉන්දු - චීන ගැටුමට අමෙරිකාවත් අත දායි
ඉන්දු - චීන දේශ සීමාවේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීමෙන් ඉන්දීය යුධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයින් අතර හමුදා කර්නල්වරයෙක් ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. මෙම ගැටුමෙන් චීන යුධ හමුදාවේ සාමාජිකයින් 43 දෙනෙකුටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී මෙම ගැටුම ඊයේ රාත්‍රියේ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.
දෙපාර්ශ්වයේ හමුදා සාමාජිකයින් මුහුණට මුහුණලා මෙම ගැටුම ඇති කර ගෙන ඇත. ගැටුමේදී දෙපාර්ශවය ගිනි අවි භාවිතා කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පසුගිය සති කිහිපය පුරාවට ලඩාක් ප්‍රදේශය ආශ්රිත දේශ සීමාව උණුසුම් මුහුණුවරක් ගත් අතර අවස්ථා කිහිපයකදී ඇතිවූ මෙවැනි ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේ හමුදාවන් සිය භට පිරිස් වැඩි වශයෙන් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා තිබුණා.
මෙම දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප්‍රකාශ කර තිබෙනවා.
එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.
Source - නෙත් News