May
06
තණමල්විල පතෝලයාගේ පැටිකිරිය එලියට
තණමල්විල කොල්ලෙක් එක්ක අංජන බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන?
ඔව්. තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ දීප්තගේ ගමේ යාළුවෝ පිරිස අතර ඉන්න ටිකක් වැඩිමහල් කෙනෙක් තමයි ‘පතෝලයා’ කියන්නේ. ‘පතෝලයා’ගේ චරිතය බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන තියෙනවා.
රොෂාන් රවීන්ද්‍ර අංජනව මේ වැඩේට අල්ල ගත්තේ කොහොමද?
වේදිකා නාට්‍ය කරන්න ආව මුල් කාලේ ඉඳන්ම රොෂාන් අයියලා අපි හඳුනනවා. රොෂාන් අයියා මට කතාකරලා කිව්වා ඔහුගේ නාට්‍යයේ චරිතයක් තියෙනවා, ඒක මට තමයි ගැළපෙන්නේ කියලා. පිටපත දුන්නා කියවලා දෙන්න කියලා. මට නාට්‍යයකට පිටපතක් ලැබුණේ පළමුවැනි වතාවට. ඉතිං මම හතර පස් වතාවක් ඒක කියවලා බැලුවා. රූගත කිරීම් පටන් අරගෙන දවස් දෙකක් විතර යද්දී රොෂාන් අයියා කිව්වා ‘උඹ ඒ චරිතේ අල්ලගෙන ඉන්නේ කියලා’
‘පතෝලයා’ පත්තු වෙන චරිතයක් වෙයි කියලා හිතුවද?
නාට්‍යයේ පිටපත බලද්දී මට තේරුණා ඒක හොඳ පිටපතක් කියලා. මට කරන්න තිබ්බෙත් හොඳ චරිතයක්. මමත් ගමක හැදුණු කෙනෙක්. ගම්වල අපිට විවිධ චරිත දකින්න ලැබෙනවානේ. ඉතිං ඒ ගමේ දකින චරිතවල කෑලි එකතු කරලා පතෝලයාව මගේ ඇඟ ඇතුළේ හදාගත්තා.
ඇත්ත ජීවිතේ අංජන නෙමෙයිද පතෝලයා තුළ ඉන්නේ?
මම ම නොවෙයි. ගමේ විවිධ චරිතවල කෑලි මම පතෝලයාට ගළපා ගත්තා. ගමේ ගතිය එක්ක මට මේ චරිතය කරන්න පහසු වුණා. ඒ නාට්‍යයේ ඉන්න සූර්යයි මමයි තමයි ගමේ හැදුණු අයට ඉන්නේ. ඉතිං අපි ඒ ඒ චරිතවලට අපේ දායකත්වය දුන්නා.
ක්‍ෂේත්‍රයේ හොඳ යාළුවෝ පිරිසක් එක්ක නේද නාට්‍යයේ රඟපාන්න ලැබුණෙත්?
ඔව්. අපි වේදිකා නාට්‍ය කරන කාලේ ඉඳන් හඳුනන අය. අපි හැමෝම පිස්සු නටාගෙන ෆුල් ආතල් එකේ තමයි නාට්‍ය රූගත කරන කාලෙත් හිටියේ. හැබැයි අපි හැමෝම මාරම උනන්දුවෙන් තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ රූගත කිරීම් කළේ.
රොෂාන් රවීන්ද්‍රගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සාර්ථක වෙයි කියලා විශ්වාසයක් තිබුණද?
රොෂාන් අයියා කියන්නේ හොඳම නළුවා සම්මානය කිහිප වතාවක් ගත්ත කෙනෙක්. ඔහුට රංගනය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය එක්ක ඔහු එක්ක වැඩ කරන්න අපිට පහසු වුණා. රොෂාන් අයියා පුදුම කැපවීමකින් මහන්සියකින් කළ වැඩක් තමයි "තණමල්විල කොල්ලෙක්" කියන්නේ.
අංජන කියන්නේ රංගනයට උණකින් මේ ක්ෂේත්‍රයට ආපුූ කෙනෙක්ද?
පාසල් කාලේ ඉවර වෙනකොටම තමයි රඟපාන උණ බෝ වුණේ.
ඒ උණ බෝවුණේ කාගෙන්ද?
අපේ පාසලේ බොහෝ පිරිසක් එකතු වෙලා නාට්‍ය සංගමයක් පවත්වාගෙන ගියා. ඒ නාට්‍ය සංගමයෙන් ළමා නාට්‍ය, කෙටි නාට්‍ය බොහොමයක් කළා. දිලාන් වික්‍රමසිංහ කියන්නේ මගේ මිත්‍රයා ඒ නාට්‍යවල සංගීතය කරද්දි මාත් දිලාන්ගේ තනියට ඒවට ගියා. මම ඉතිං දඟල දඟල ඉන්නකොට මාවත් වැඩවලට ගමු කියලා ඒ නාට්‍යවලට සම්බන්ධ කරගත්තා. එතැනින් තමයි මට කලාව ගැන උණක් බෝ වුණේ. ඒ කාලේ ගමේ අයට පෙන්නන්න සමන්තිස්ස පියරත්න කරපු නාට්‍යකත් මම රඟපෑවා. ඒ කාලේ ඒ නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
රංගනය ගැන ඉගෙන ගත්තෙත් ඒ වැඩවලින් වෙන්න ඇති?
නාට්‍ය සංගමේ කරන කාලේ ඉඳන් ජෙහාන් මගේ මිත්‍රයා. ඉතිං අපි ඒ කාලේ නාට්‍ය වැඩමුළුවලට යනවා. මම ඉගෙන ගත්තේ රස්තියාදු ගහලා. වේදිකාව පිටුපස අපිට වැඩ කරන්න ලැබුණා. අපි රස්තියාදු ගැහුවේ හන්දිවල නොවෙයි. වේදිකාව පිටුපස්සේ. ඒවායෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා.
රංගන ක්ෂේත්‍රයේ ඔබට යන්න ඕන තැන කොතැනද?
මට ඕන ලැබෙන දේ හරියට කරලා චරිතාංග නළුවෙක් විධියට රැඳෙන්න. මට මේතාක් විවිධ චරිත ලැබුණා. ඒ ලැබුණ චරිතත් මම හොඳට කළා කියලා හිතනවා.
සම්මාන ගැනත් බලාපොරොත්තු ඇති?
සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. හැබැයි කරන වැඩේ හරියට කරනවා. වැඩේ හරියට කරලා කවදාහරි සම්මානනීය ඇගයුම් ලැබුණොත් භාර ගන්නවා. ගිය වසරේ මට රයිගම් කුසලතා සම්මාන ලැබුණා. කවදා හරි හොඳම නළුවෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හොඳම නළු සම්මානය ලැබුණා හෝ නැතා වැඩවලින් හොඳම නළුවෙක් වෙන්න ආසයි.
ගමෙන් කොළඹ ඇවිත් අංජන පාර වරද්ද ගත්තේ නෑ නේද?
නැහැ. ගමෙන් කොළඹට ආවට පස්සේ තමයි හරි ගියේ.
දැන් අංජන ජනප්‍රිය නළුවෙක්ද?
පොඩ්ඩක් ජනප්‍රිය නළුවෙක් වෙලා තියෙනවා. කරපු වැඩත් එක්ක දැන් අංජන ප්‍රේමරත්නව ගොඩක් අය දන්නවා. තණමල්විල කොල්ලෙක් එක්ක ඒකට තව වටිනාකමක් එකතු වුණා. අපිව කවුරුහරි අගයද්දී ඉතිං සතුටක් දැනෙනවා.
අංජනව දකින්න ලැබෙන්නේ බොළඳ පෙම්වතාගේ චරිතවලින් නොවෙයි. අංජනට වෙනස් නිර්මාණ තුළ පේන්න ඉන්න ලැබුණේ ඔබේ තෝරා ගැනීම් නිසාද?
අපිට නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ අපිව නිර්මාණයකට ගැළපෙනවා කියලා තෝරා ගත්තොත්නේ. මාව නිර්මාණයක චරිතයකට තෝරා ගත්තොත් මම එය උපරිමයෙන් කරනවා.
අංජන වේදිකාව එක්ක එකතු වෙලා හිටියානේ. ජනප්‍රිය මාධ්‍යවලට එකතු වුණාට පස්සේ වේදිකාව මඟහරිනවාද?
මම වේදිකාව අතහැරලා නැහැ. වේදිකා නාට්‍යවලට කැපකිරීමක් කරන්න වෙනවනේ. ටෙලි නාට්‍ය කරද්දී කාලය වෙන් කර ගන්න අපහසුතාවය එක්ක පසුගිය කාලේ අලුත් වේදිකා නාට්‍ය කරන්න බැරි වුණා. මම අන්තිමට කළේ “මෙය තුවක්කුවක් නොවෙයි" නාට්‍යය. වේදිකාව මම අතහරින්නේ නැහැ. වේදිකාවේ තියෙන සජීවී බව එක්ක එන්නේ වෙන ගැම්මක්. ඒ ගතිය අනෙක් මාධ්‍යවලින් ගන්න බෑ.
අංජනට මේ වෙනකොට ලැබෙන අවස්ථා ගැන තෘප්තියක් තියෙනවාද?
මුල් කාලේ මේ තැන හදාගන්න පුදුම මහන්සියක් වුණා. දැන් මම හරි ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. චිත්‍රපටවලට, ටෙලිනාට්‍යවලට වුණත් ලැබෙන ආරාධනා එකිනෙකට වෙනස්. ඒ ගැන මට තෘප්තියක් තියෙනවා.
කලාවේ විතරක් රැඳිලා ඉන්න පහසුද?
මම මුල් කාලේ අමාරුකම් එක්ක වැඩ කළේ. පාරේ ප්‍රමෝෂන් වැඩවලටත් ගියා. වීදි නාට්‍යවලත් රඟපෑවා. කොළඹ ඇවිත් කොහොම හරි ස්ථාවරයක් හදාගන්න උත්සාහ කළේ. දැන් මම යම් ස්ථාවරයක් හදාගෙන ඉන්න නිසා රැකිලා ඉන්නවා.
පසුගිය කාලේ සම්බන්ධ වුණු අලුත් වැඩ මොනවාද?
ලක්මාල් ධර්මරත්නගේ චිත්‍රපටයකට පසුගිය කාලේ සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් බොහෝ දුරට අවසන් වෙලා තිබුණේ. ඒක හොඳ වැඩක්. තුමිඳු දොඩන්තැන්න, අශාන් ඩයස්, සරත් කොතලාවල, මම තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහතාගේ නාට්‍යයකුත් පසුගිය කාලේ කරමින් හිටියා. නමුත් වසංගත තත්ත්වය නිසා එහි වැඩකටයුතු ටික කාලයකට නතර කරන්න වුණා.
අංජන ප්‍රධාන චරිත හොයන කෙනෙක් නොවෙයි නේද?
නැහැ. මොකක් හරි නිර්මාණයකට මාව ගැළපෙනවා කියලා ගත්තොත් ඒක පොඩිද? ලොකුද? කියලා බලන්නේ නැහැ. කරන දේ හරියට කරනවා. චරිතය පොඩි වුණත් ලොකු වුණත් මම කරපු චරිත පත්තු වෙලා තියෙනවා. ඒ චරිතවලට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
Source - මව්බිම