Apr 04

වෛරසය නසන්න අරුම පුදුම රොබෝ හැදූ ඇඹිලිපිටියේ පුංචි හපනා

සෞඛ්‍ය සේවක ජීවිත බේරාගැනීම සඳහා රොබෝ යන්ත්‍රයක් නිපද වූ ඇඹිලිපිටිය ජාතික පාසලේ තේජන දෙව්මිණගේ කතාව

ප්‍රිය මිත්‍රවරුනි., වයිරස කෙතරම් නම් බලවත්ද යන වග අප අත්විඳිමින් සිටිනවා නොවේද? වයිරස මඟින් ජීවිත අනාරක්ෂිත වන විට නොකා නොබී හරි හම්බ කළ ධන සම්පත්වලින් කුමන ඵලයක්ද?



වයිරසය මඟින් බැට කෑ ඉතාලියානුවන් නිහඬ සංයමයකින් යුතුව ලොවට පෙන්වා දෙන්නේ එයයි. මළවුන්ගේ නගරවල සිට ඉතාලියානුවන්, ස්පාඤ්ඤයන් කියා දෙන වයිරසයේ සැබෑ ස්වරූපය අප නිසි පරිදි හඳුනා නොගත්තොත් සිදුවන විනාශය කිසිසේත්ම සුළු පටු නොවන බව නම් කිව යුත්තේය.

ලෝක බලවතුන් වන ඉතාලිය නව කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම නවතා දමා ඇති මොහොතක ස්පාඤ්ඤය එරට වැදගත් යැයි සම්මත පුද්ගල ජීවිත පමණක් රැක ගැනීමට උත්සාහ දරන අවස්ථාවක, ඇමෙරිකාව හෙල්ත් ඉන්ෂුවරන්ස් නොමැති අයවලුන්ට එරට රෝහල් පරිශ්‍රයන් තුළට ඇතුළුවීමට පවා ඉඩ නොදෙන අවස්ථාවක අප රටක් ලෙස සැබැවින්ම හද පත්ලෙන්ම සිනාසිය යුතු නොවේද? මුළු ලෝකයම මරණ වරෙන්තු සිය අත දරා සිටින මොහොතක අප රටේ නිදහස් අධ්‍යාපනය මඟින් පෙරට පැමිණි සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම කෙබඳුදැයි කිව යුතු නොවේ. ඔවුන්ගේ කැපවීම නොවන්නට රතු කලාප ලෙස නම් කළ භූමි භාග විසාලා මහනුවරක් නොවී පවතීද? එවැනි කැපකිරීම්

සිදු කළ සෞඛ්‍ය සේවකයන් දිනෙන් දින පරිණත වන සහ සිතාගත නොහැකි මුහුණුවරක් ගන්නා වයිරස් ආසාදනවලට ලක් නොකොට ඔවුන්ගේ සේවය මානසික තුලිත බවකින් ලබා ගැනීම කෙරේ හිත් ඇති එක්තරා කුඩා දරුවකුගේ කතා ප්‍රවෘත්තිය මෙලෙස දිග හැර සිටින්නේ ඔහු තම නිර්මාණ ශක්තියෙන් නම් තවදුරටත් කුඩාවෙක් නොවන බව පවසමින්.

ඇඹිලිපිටිය ජාතික පාසලේ 10 වසර ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන තේජන දෙව්මිණ නව කොරෝනා 19 වයිරසයෙන් පීඩා විඳින රෝගීන්ගේ සරණට පැමිණෙන සෞඛ්‍ය සේවක ජීවිත අනාරක්ෂිත නොකොට එකී අනාරක්ෂිත බව ආරක්ෂිත රොබෝ යන්ත්‍රයකට පවරා ඇත්තේ විදු ලොව කලඹවාලන නව සොයා ගැනීමක් සමඟිනි. අප තේජන දෙව්මිණට සහ ඔහුට මෙවැනි නිපැයුමක් සිදු කිරීමට සහාය ලබා දුන් ඔහුගේ මවට සහ පියාට සවන් දෙමු.

“මම තේජන දෙව්මිණ, අධ්‍යාපනය ලබන්නේ ඇඹිලිපිටිය ජාතික පාසලේ 10 ශේ‍ර්ණියේ. පුංචි කාලෙ ඉඳලම මට වුවමනාව තිබුණේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න.

මම පිඹුරුපත් සකසාගෙන සිටිද්දී ඒ අදහසම තමයි මාව කම්පියුටර් ටෙක්නිකල් සයන්ස් කරා රැගෙන ගියේ. මම ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇඹිලිපිටිය ජාතික පාසලට පැමිණි දා සිට නව නිපැයුම් කෙරේ අවධානය යොමු කළා. කෘත්‍රිම ලෙස කිරි මුදවන යන්ත්‍රයක් තමයි මම මුලින්ම නිර්මාණය කළේ. ඉන් පසුව සත්ත්ව අවිංසාව පෙරදැරිව වගාවලට හානි කරන රිළවුන් පන්නා දැමීමේ උපකරණයක් නිර්මාණය කළා. ඉන් පසුව තවත් එවැනිම තාක්ෂණික උපකරණයක් නිර්මාණය කළා.

එහි පේටන්ට් අයිතිය සඳහා මම ඉල්ලුම් කර ඇති නිසා ඒ පිළිබඳ මේ අවස්ථාවේදී යමක් පැවැසිය නොහැකියි. මෙවැනි තාක්ෂණික උපකරණ නිපදවීම කෙරේ මගේ සිත ඇදී ගියේ එමඟින් යම් පමණකට හෝ මිනිසුන්ගේ ජීවිත පැවැත්ම යථාර්ථයක් වන නිසා. ඒ අනුව තමයි මම වෛද්‍යවරයෙක් නොමැතිව ඔහු විසින් රෝගියකු සමඟ සහසම්බන්ධයක් පවත්වමින් සිදු කරන සියලුම කාර්යයන් සිදු කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිපද වූයේ. මෙම රොබෝ යන්ත්‍රය විශාල තාක්ෂණයක් අත දරා සිටියත් එහි සැකැස්ම බොහොම සරලයි. මෙම යන්ත්‍රය ගමන් කරන රොබෝවෙක් ලෙසයි මා නිර්මාණය කළේ. සිතියම්ගත කරන ලද ඛණ්ඩාංක කීපයක්

රොබෝ යන්ත්‍රයට ලබා දුන් පසු යන්ත්‍රයට හැකියාව තියෙනවා ඔහුට පැවරූ අදාළ කාර්යයන් සාර්ථකව නිම කිරීමට. වයිරස් ආසාදිත රෝගියකු හුදකලාවේ නිරෝධායනය වන විට රෝගියා අසලට එසේත් නොමැති නම් රෝගියාගේ ඇඳ ඉස්මත්තට ගොස් ප්‍රතිකාර කිරීමට මෙම රොබෝ යන්ත්‍රයට හැකියාව තිබෙනවා. යන්ත්‍රයට යම් රෝගියකුගේ ශරීර උෂ්ණත්වය, හෘද ස්පන්දනය හා රුධිර පීඩනය පිළිබඳ දත්ත නිවැරදිව ලබා ගත හැකියි. ඒ තොරතුරු දත්ත නියැඳියක්, එසේත් නොමැති නම් ඩේටා බේස් එකක් බවට පත් කරගෙන ගබඩා කර ගැනීමේ හැකියාව සතුයි. ඊට අමතරව මම ඇප් එකක් නිර්මාණය කළා පෙර සඳහන් කළ රොබෝ යන්ත්‍රය සතු ඩේටා බේස් එකේ දත්ත ජංගම දුරකථනයට ලබා ගැනීමට. රෝගියා සහ වෛද්‍යවරයා අතර ගොඩනඟන ප්‍රොෆයිල්වලින් ඒ දත්ත වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට ලබාගත හැකියි.

සරල උදාහරණයකින් මෙය පහදා දුන්නොත් මෙම ප්‍රොෆයිල් ෆේස් බුක් වැනි ගිණුම්. එවිට ලැබෙන තොරතුරු මඟින් වෛද්‍යවරයාට හැකියි රෝගියා සිටින්නේ කිනම් ප්‍රතිකාරයක් ලබා දිය යුතු මට්ටමකද කියා බලාගන්න.

ලංකාවේ ප්‍රායෝගික ක්‍රියාවලිය තුළ මෙවැනි අවස්ථාවක අදාළ වෛද්‍යවරයා ඔන් ලයින් නොසිටින්න පුළුවන්. එසේත් නොමැති නම් ඔහු තමන්ගේ ජංගම දුරකථනයට තරංග නොලැබෙන සීමාවක සිටින්න පුළුවන්. එම නිසා යම් තාක්ෂණික ශිල්පීය ක්‍රමයක් මඟිින් මම නව නිපැයුමක් මෙම රොබෝ යන්ත්‍රයට එක්කාසු කළා.

රෝගියා පිළිබඳ දත්ත සියල්ලම සෑම විනාඩි 15කටම වරක් සාමාන්‍ය කෙටි පණිවුඩයක් ලෙස වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට ලබාදෙන එය රෝගියා සහ වෛද්‍යවරයා අතර ඇති සම්බන්ධය නොබිඳෙන තැනක්. මෙම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රොබෝවරයාට ආවේණික සෙන්සර් පද්ධතියකුත්  මම සැකසුවා.

එම සැකසුම මඟින් අයි. සී. යූ. ඇඳක ඇති වෛද්‍ය උපකරණ මඟින් ලැබෙන දත්ත, ඒ කියන්නේ ඔක්සිජන් වැනි සහනදායී දෑ රෝගියාට ලබාදෙන වෛද්‍ය උපකරණවල දත්ත පෙර සඳහන් කළ ඩේටා බේස්එක හරහා සහ විනාඩි 15කට සැරයක් සාමාන්‍ය කෙටි පණිවුඩයක් මඟින් රෝගියාට අදාළ වෛද්‍යවරයා වෙතට යොමු කරනවා. මම නිපදවූ රොබෝවරයා සතු සංවේදී අත ඒ කියන්නේ රොබෝගේ ආම් එක මඟින් රුධිර සාම්පල, කෙළ සාම්පල වැනි දෑ ලබාගත හැකියි. ඒ තොරතුරුත් බොහෝම කෙටි කාලයක් ඇතුළත රෝගියාට අදාළ වෛද්‍යවරයා අතට රොබෝ යන්ත්‍රය මඟිින්ම ලබා දෙනවා. ඩේටා බේස්එක හරහා ඒ තොරතුරු ලබා ගන්නා විට අදාළ වෛද්‍යවරයාට රෝගියාට ප්‍රතිකාර කිරීම පහසුයි.

ඒ තොරතුරු මත වෛද්‍යවරයාට හැකියාව ලැබෙනවා රෝගියාට අදාළ ඔෟෂධ සහ ඔෟෂධ මාත්‍රාවන් වෙනස් කිරීමට. උදාහරණයක් ලෙස නව කොරෝනා 19 රෝගියෙක් ගනිමු. එවැනි රෝගියකුට ලබා දෙන්නේ ඔෟෂධ වර්ග 5ක් පමණ. වෛද්‍යවරයාට රොබෝවරයා ලබාදෙන තොරතුරු මත ඒවා අතරින් ලබා දිය හැකි ඔෟෂධය කුමක්ද යන වග නිර්දේශ කළ හැකියි. මෙම කෘත්‍රිම බුද්ධියක් නොමැතිවූත් ලබාදෙන දත්ත මත වයිරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි රොබෝ යන්ත්‍රය නිපදවීම සඳහා විය පැහැදම් වුණේ රුපියල් හතළිස්දහසක් / පනස්දහසක් අතර මුදලක්.

මෙම රොබෝ යන්ත්‍රය මඟින් සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත අවදානම 80%කින් පමණ පාලනය කළ හැකියි. අඩු සේවක සංඛ්‍යාවක් ඇති රෝහලකට වැඩි රෝගීන් ප්‍රමාණයක් පැමිණියහොත් එම රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාරද මෙම රොබෝ යන්ත්‍රය මඟින් ලබා දිය හැකියි. මෙම රොබෝ යන්ත්‍රයේ ඇති තවත් සුවිශේෂී හැකියාවක් වන්නේ එක් රෝගියකුට ප්‍රතිකාර කර තවත් රෝගියෙක් කරා රොබෝ යන්ත්‍රය ගමන් කරනවා නම් ස්වයං ලෙස විසබීජහරණය කර ගැනීමට රොබෝ යන්ත්‍රයට ඇති හැකියාවයි. කොරෝනා 19 වයිරසය කරළියට පැමිණ සෞඛ්‍ය සේවක ජීවිත අනාරක්ෂිත වුණු මොහොත මෙය යැයි හැඟුණාට පසුවයි මම මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කරන්නට පටන් ගත්තේ. අමුද්‍රව්‍ය සොයා ගැනීම රටේ පවතින වාතාවරණය මත ගැටලුකාරී වුණත් ඒ අවශ්‍යතාවන් මම ඉතා ඉක්මනින් ඉටු කර ගත්තා. මෙම රොබෝ යන්ත්‍රය සාධනීය ලෙස තවදුරටත් වර්ධනය කළ හැකියි. ඉතාමත් අඩු මුදලකින් මෙම රොබෝ යන්ත්‍රය නිපදවීමට ඇති හැකියාව මෙවැනි රොබෝ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් නිපදවන විට තවදුරටත් වැඩි කර ගත හැකියි. මම දිගින් දිගටම ඒ සඳහා ක්‍රියා කරනවා.”

ඒ එවැනි සුවිශේෂී නිර්මාණයක් කළ තේජන දෙව්මිණගේ හඬය. ඒ හඬ තුළ සැඟව සිටිනා ඔහුගේ මව සහ පියාට අපි සවන් දෙමු.

“මම සෙනරත් රත්නායකගේ රේණුක නිලන්ත. ගුරුවරයෙක් ලෙස ඇඹිලිපිටිය ජාතික පාසලේ සේවය කරනවා. මගේ බිරිය වයලා ශ්‍රී මතී ජයකොඩි, ඇය මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක්. තේජන දෙව්මිණ පුතාට අමතරව අපට රනුදි නිත්සලා දියණියද සිටිනවා. ඇය අධ්‍යාපනය ලබන්නේ ඇඹිලිපිටිය ජාතික පාසලේ 6 ශේ‍ර්ණියේ. මගේ පුතා තේජන අත්දකින දේවල් සහ ඔහු මනසින් ගොඩනගන දේවල් නව නිර්මාණ බවට පත් කරන්න දැඩි කැමැත්තක් දැක්වූ අයෙක්. ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව 6 ශේ‍ර්ණියේ සිට වැඩි අවධානයක් යොමු කළා. කිරි මුදවන යන්ත්‍රයක්, වගාවට හානි කරන රිළවුන් පන්නා දමන යන්ත්‍රයක් ඔහු නිර්මාණය කළා. පුතා නිර්මාණය කරන උපකරණ සඳහා ඔහු ඉල්ලා සිටින බඩු බාහිරාදිය මම ගෙනල්ලා දුන්නා. මට වුවමනා වුණේ සැබැවින් ඔහු ප්‍රිය කරන ජීවිතයක් ඔහුට ලබාදීමට. නව කොරෝනා 19 වයිරසය චීනයේ වූහාන් ප්‍රාන්තය මුල් කරගෙන පැතිර යද්දී එමඟින් අනාරක්ෂිත වන සෞඛ්‍ය සේවක ජීවිත පිළිබඳ පුතා වැඩි අවධානයක් යොමු කළා.

වූහාන් ප්‍රාන්තයේ කොරෝනා ආසාදනය නිසා පළමුවරට වෛද්‍යවරයෙක් මිය ගිය ප්‍රවෘත්තිය ඇසීමෙන් පසු පුතා දැඩි කම්පනයකට පත් වුණා. ඔහු සියල්ලන්ගෙන්ම පෙරළා ප්‍රශ්න කළේ යම් වයිරස තත්ත්වයක් නිසා සෞඛ්‍ය සේවක ජීවිත අනාරක්ෂිත වූ අවස්ථාවකදී රෝග ව්‍යාප්තිය වසංගතයක් බවට පත්වීම නොවැළැක්විය හැකි බවයි. මෙම රොබෝ යන්ත්‍රය නිපදවීම පිළිබඳ අදහස ඔහු මුලින්ම පවසා සිටියේ මවට. පුතා හිතන්නට ඇති අපේ ආර්ථික හැකියාව මත මෙවැනි නිර්මාණයක් සිදු කළ නොහැකියි කියා. නමුත් සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිතවලට යම් සහනයක් ලබාදිය හැකි නම් එය ජාතික වශයෙන් අතිශයින්ම වැදගත් කාර්යයක් ලෙසයි මම දුටුවේ. එය මගේ පුතා සිදු නොකර වෙනත් දරුවෙක් සිදු කළත් මම ඒ සඳහා හැකි අයුරින් සහාය දෙන මට්ටමකයි සිටියේ. මෙම නිර්මාණය සිදු කිරීම සඳහා ඇඹිලිපිටිය ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ ගුරු මණ්ඩලය පුතාට සුවිශේෂී සහායක් ලබා දුන්නා. ඔවුන්ට අප පවුලක් ලෙස ඉස්තුතිවන්ත විය යුතුයි.

තේජන දෙව්මිණගේ මවට අප සවන් දිය යුතු නොවේද?

“වූහාන් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවක ජීවිත වයිරසය මඟින් බිලිගත් පළමු දිනයේදී පුතා මා ගාවට ඇවිත් එම සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත අනාරක්ෂිත නොකොට රෝගීන්ගේ ජීවිත ආරක්ෂාකාරී කරන යන්ත්‍රයක දළ සැලැස්මක් ඉදිරිපත් කළා. එවැන්නක් මාව පුදුමයට පත් කළේ නැහැ. මම දැනගෙන හිටියා පුතා මෙවැනි නව නිපැයුම් කෙරේ දැඩි අවධානයක් ඇති අයෙක් බව. ඔහුට අප නිදහස ලබා දුන්නා එම නිර්මාණය සකස් කිරීමට. නමුත් මම බලාපොරොත්තු වුණේ නැහැ මෙතරම් තාක්ෂණික අතින් දියුණු නිර්මාණයක් ඔහු අතින් එළි දකියි කියා. පුතා මෙම නිර්මාණය පිළිබඳ අදහස පැවසූ අවස්ථාවේදීම මම ඒ පිළිබඳ රේණුකව දැනුවත් කළා. රේණුක කීවේ අවශ්‍ය විය පැහැදම් කොහොම හරි සිදු කරමු කියලයි. අපේ උත්සාහය අතිශයින්ම සාර්ථකයි. මට සහ රේණුකට මගේ පුතා පිළිබඳ ඇත්තේ දරු සෙනෙහසටත් ගෞරවයක්.

Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.