Jan
25
රගර් ගහන්න බෑ කිව්වවාම රගර් සර් යකඩ පොල්ලෙන් ගහලා

පහරකෑමට ලක් වූ පාසල් ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, රගර් පුහුණු කටයුතුවලට සහාය වන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සිවු දෙනකුද සිටින බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය වී ඇත්තේ ඉකුත් 22 වැනිදා සවස් කාලයේදීය. පහරකෑමට ලක් වූ 14 හැවිරිදි ශිෂ්‍යයා විද්‍යාලයීය බැඩ්මින්ටන් කණ්‌ඩායමට ක්‍රීඩා කරන දක්‌ෂ ක්‍රීඩකයෙකි.
විද්‍යාලයීය රගර් කණ්‌ඩායමට ක්‍රීඩා කරන ලෙස රගර් ක්‍රීඩාව භාර ගුරුවරයා අවස්‌ථා කීපයක දීම මෙම ශිෂ්‍යාට කතා කර ඇතත් ඔහු එය ප්‍රතික්‌ෂේප කර ඇත.
පසුගිය 22 වැනිදා සවස් කාලයේදී මෙම ශිෂ්‍යයා බැඩ්මින්ටන් පුහුණු වීම් කටයුතු නිම කර නිවසට යැමට සූදානම් වෙද්දී රගර් පුහුණුකරු ඔහු කැඳවා තිබේ.
රගර් පුහුණු කටයුතු සඳහා සම්බන්ධ වන ලෙස පුහුණුකරු නැවතත් මෙම ශිෂ්‍යයාට තර්ජනය කර ඇත. එය ප්‍රතික්‌ෂේප කිරීම නිසා කෝපයට පත්වූ පුහුණුකරු රගර් ක්‍රීඩාවට සහාය වන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සිවු දෙනකු කැඳවා මෙම ශිෂ්‍යාගේ ශරිර යෝග්‍යතාව පරීක්‌ෂා කරන ලෙස උපදෙස් දී ඇත.
පසුව එම ආදි ශිෂ්‍යයන් 14 හැවිරිදි ශිෂ්‍යයා රැගෙන ගොස් විද්‍යාලයේ රගර් ක්‍රීඩා කාමරයේ යකඩ කණුවක එල්ලා පොලුවලින් සහ ප්ලාස්‌ටික් බටවලින් පහර දී තිබේ.
මෙම පහර දීම සිදු වන අවස්‌ථාවේ රගර් පුහුණුකරුද එම ස්‌ථානයේ සිට ඇත. පැය 1/2 කට ආසන්න කාලයක් මෙසේ පහර දී පසුව එම ශිෂ්‍යයා බිම දිගා කර බර ඉසිලීමට යොදා ගන්නා යකඩ පඩි කීපයක් ඔහුගේ කොන්ද උඩ තබා උස් පහත් වන ලෙස කියමින් පහර දී ඇත.
ඒ අවස්‌ථාවේ මෙම ශිෂ්‍යයා හඬා වැටී ඇති අතර එය ගණනකට නොගත් ආදි ශිෂ්‍යයන් දිගින් දිගටම ඔහු විවිධ වධ බන්ධනයන්ට ලක් කර තිබේ.
පසුව මෙම ශිෂ්‍යයාට විද්‍යාලයේ ක්‍රීඩාංගණය වටා වට පහළොවක් දුවන්නට සලස්‌වා ඇත.
මෙම සිද්ධිය නිසා ශිෂ්‍යයා දැඩි ලෙස ශාරීරිකව සහ මානසිකව පීඩාවට පත්ව තිබේ. ශිෂ්‍යයා නිවසට ගිය පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී ඇති අතර, ඔහුගේ සීයා විසින් ඔහු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි ශිෂ්‍යයා සහ ඔහුගේ සීයා දෙමටගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ ආරම්භ කළ දෙමටගොඩ පොලිස් ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි මහතා ඇතුළු නිලධාරීන් ශිෂ්‍යයාට පහර දීමට සම්බන්ධ රගර් පුහුණුකරු ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. පහරකෑමට ලක්‌ව රෝහල් ගත කර සිටින 14 හැවිරිදි ශිෂ්‍යයාගේ මව විදේශගතව සිටින අතර, පියා වෙනත් විවාහයක් කරගෙන වෙනම පදිංචිව සිටියි. මෙම ශිෂ්‍යයා හදා වඩා ගන්නේ ඔහුගේ සීයා විසින් බව පොලිසිය පවසයි.