Jan
06
කටුනායක ගුවන් තොට අද සිට පැය 8ක් වැසෙයි
ඒ අනුව අද සිට අප්‍රේල් මස 06 වන දින දක්වා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ ගුවන් තොටුපොළ ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වාර සංශෝධනය කර ඇති බවයි.
වසර 30කට පසු සිදු කෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අද පෙරවරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවිර මහතා ප්‍රකාශ කළේය.
ගුවන් තොටුපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවශ්‍ය ක්රියාම්ර්ග ගෙන ඇති බව නිහාල් සෝමවීර මහතා සඳහන් කර තිබේ.
මේ අතර කටුනායක තොටුපොළ ආශ්‍රිතව මේ වනවිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ අප්‍රේල් මස 06 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 3.00 සිට පසුදින පෙරවරු 9.00 දක්වා එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගයේ 18 කණුව, කොළඹ සහ හලාවත දෙසින් තොටුපොළට පැමිණෙන වාහන තොටුපොළ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී පරණ පී.වි.ජි පර්යන්තය හරහා පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත වෙත ගමන් කිරීමට හැකියාව පවතියි.
අධිවේගී මාර්ගයේ 18 කණුව සිට මිනුවන්ගොඩ කුරුණෑගල දෙසට ගමන් කරන වාහන කේ.ටු. හංදියෙන් හැරී ඇවරියවත්ත නගරය දෙසට හැරී මල්ගස් හංදිය, කෝවින්න පාර, ආඞිඅම්බලම පල්ලිය හංදියෙන් මිනුවන්ගොඩ දෙසට හෝ හීනටියන, යාගොඩමුල්ල මාර්ගයෙන් මිනුවන්ගොඩ දෙසට ගමන් කළ හැකිය.
තොටුපොළේ අධිවේගී මාර්ගයේ 18 කණුව සිට පිටවී යන වාහන තොටුපොළ ප්‍රධාන ඇතුළු වීමේ දොරටුවෙන් නැවත පිටවී යා හැකි බව පොලීසිය පැවසුවේය.
තොටුපොළ දෙස සිට මිනුවන්ගොඩ දෙසට පිටව යන වාහන තොටුපොළේ පිටවීමේ දොරටු අංක එක සහ දෙකෙන් පිටවී නයිකන්ද හරහා මිනුවන්ගොඩ දෙසට ගමන් කළ හැකිය.
මිනුවන්ගොඩ, ගම්පහ, කුරුණෑගල දෙස සිට කටුනායක අධිවේගී මාර්ගයට 18 කණුව දෙසට තොටුපොළට ගමන් නොකරන වාහන කොළඹ - කුරුණෑගල යාගොඩමුල්ල හංදියෙන් ද පීල්ලවත්ත, කුරුස හංදියෙන් හැරී මාදූව, මල්ගස්හංදිය මාර්ගයෙන් සහ ආඞිඅම්බලම හංදියෙන් හරවා කෝවින්න - මල්ගස්හංදිය මාර්ගයෙන් ඇවරියවත්ත නගරය හරහා සීදුවට ගොස් අධිවේගී මාර්ගයේ 18 කණුව දෙසට ගමන් කිරීමට හැකිය.
මෙම විශේෂ රථවාහන සැලැස්ම ආයෝජන ප්‍රවර්ධන කලාපයට ඇතුළුවන සහ පිටවන වාහන සඳහා ද ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.