Oct
18
නායකත්වයේ ඔටුන්න සමගින් තිරිමාන්නට තවත් අවස්‌ථාවක්

දෙරට අතර පැවැති පළමු තරග 2 මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙත පැවරුණු අතර එහිදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්‌ෂතා දැක්‌වීමට ඔහු සමත්විය. ඒ අනුව තෙවැනි තරගය සඳහා නායකත්වයේ වෙනසක් සිදු කරමින් එම අවස්‌ථාව තිරිමාන්නට ලබාදීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උප නායක ධුරය පවා දැරූ ළහිරු තිරිමාන්න මේ වන විට පිතිකරුවකු ලෙස දැඩි අසාර්ථකත්වයට මුහුණ දී සිටින අතර එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඔහුට මෙම තරගාවලියේ අවස්‌ථාව ලබාදී තිබේ. කෙසේ වෙතත් පළමු තරග දෙකට ක්‍රීඩා කළ තිරිමාන්න මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 4 දීම රැස් කර ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 30 ක් පමණි.
15 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද ඒ කණ්‌ඩායමට තිරිමාන්නට අමතරව ටෙස්‌ට් ක්‍රිකට් වරම් ලාභීහු තිදෙනක් ඇතුළත්ව සිටින අතර, කුසල් පෙරේරා, දසුන් ශානක සහ ලක්‌ෂාන් සඳකැන් එම ක්‍රීඩකයෝ වෙති.
දෙරට අතර මෙතෙක් පැවැති තරගවලදී කොළඹ පැවැති තරගයේ ජය ශ්‍රී ලංකා ඒ පිල විසින්ද පල්ලකැලේ පැවැති තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල විසින්ද අත්කර ගත්හ. ඒ අනුව අද තරගයට දෙපිළම අවතීර්ණ වන්නේ තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් වන බැවින් තරගාවලිය ජය ගැනීම සඳහා දෙපිළටම මෙම තරගයේ ජය ඉතාම වැදගත් වනු ඇත.
ශ්‍රී ලංකා ඒ පිල / ළහිරු තිරිමාන්න(නායක), කුසල් පෙරේරා, රොෂේන් සිල්වා, චරිත් අසලංක, අසේල ගුණරත්න, අවිෂ්ක ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, ලක්‌ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, කසුන් මධුශංක, දසුන් ශානක, සඳුන් වීරක්‌කොඩි, ජෙෆ්රි වැන්ඩර්සි, අමිල අපෝන්සු.
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්