Aug 16

ජනප්‍රිය නිළියට වඩා හොඳම නිළිය වෙන්න මම කැමතියි

ඉමායා ලියනගේ කියන්නේ 2014 වසරේ මිස් ශ්‍රී ලංකා වෙලා ලංකාවට ජයග්‍රහණ කිහිපයක්ම අත්කරගෙන ආ නිරූපිකාවක්. ඇය මේ වෙද්දි නිරූපණයට වගේම රංගනයටද දක්ෂතා දක්වමින් සිටිනවා. මේ කතාබහ ඇය සමගයි.

ඉමායා මේ දවස් වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල මම ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නෙ 'මුතුකුඩ' ටෙලි නාට්‍යත් එක්ක. ඒ වගේම දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එක පටන් අරන් තිබෙනවා. එහි විනිශ්චය මණ්ඩලයේ කටයුතු වලට මේ දිනවල සහභාගී වෙනවා. ඊට අමතරව ෆොටෝ ෂූට්ස්, ටීවී වැඩසටහන් වලට සහභාගී වෙනවා.

 'මුතුකුඩ' ටෙලි නාට්‍ය ඔස්සේ වෙනස් විදියේ චරිතයකට රංගනයෙන් දායක වෙන්න ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ගැන කතා කළොත්?

මම මිස් ශ්‍රී ලංකා වුණාට පස්සෙ තමයි ක්ෂේත්‍රයට එන්නෙ. මම මිස් ශ්‍රී ලංකා වුණේ 2014. ක්ෂේත්‍රයට ආවේ 2015 විතර. ඉතිං වැඩි කාලයක් නැහැ. මම ගොඩක් අලුත් කෙනෙක්. මම හිතනවා මගේ වාසනාවකට එහෙම නැත්නම් පෙර පිනකට තමා මුතුකුඩ ටෙලි නාට්‍යයේ ඒ චරිතෙ මට ලැබුණෙ. මේ නාට්‍යය අපේ රටේ ඉතිහාසය ගැන කියවෙන කතාවක්. මම හරි ආසයි සාමාන්‍ය චරිතෙකට වඩා ඒ වගේ සිංහල වීර කාන්තාවකගේ චරිතයක් මට රඟපාන්න ලැබුණ එක ගැන.

ඇත්තටම ඒ චරිතෙ දැවැන්ත චරිතයක්. ඒ නිසාම මට මුලින් පිටපත කියවද්දි බයකුත් ඇති වුණා මම ආධුනිකයෙක් නිසා. ඒ වගේම භාෂාව වෙනස්. ඇඳුමෙන් පැලඳුමෙන් වගේම අපේ පෙනුමන් පවා වෙනස් චරිතයක්. නමුත් දැන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම ඒ චරිතෙට සාධාරණයක් කළා කියල හිතනවා.

සිනමාවට සහභාගී වෙන්න අදහසක් තිබෙනවාද?

මම මේ වන විට චිත්‍රපට දෙකක රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ 'කුණාටුවේ මාරයා' සහ 'පෝරිසාදයා' කියන චිත්‍රපට දෙක. මම ටෙලි නාට්‍ය වලට එන්න කලින් සම්බන්ධ වුණේ ඒ චිත්‍රපට දෙකට. බොහෝදුරට මේ චිත්‍රපට දෙකම මේ අවුරුද්දෙ තිරගත වෙයි. ඒ චිත්‍රපට දෙකත් මගේ වාසනාවට ලැබුණ දෙයක්. මොකද සිංහල සිනමාවේ දැවැන්තයන් සමග වැඩ කරන්න ලැබුණා.  ඒ වගේම තව චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. එහි ෂූටින් මේ අවුරුද්දෙ අන්තිමට පටන් ගන්නවා.

මේ දිනවල නිරූපණ ක්‍ෂේත්‍රය සම්බන්ධව ඇසෙන කතා ඒ තරම් හොඳ දේවල් නම් නෙමේ. ඒ වගේම නිරූපිකාවන් බිහිවෙන්නෙ හතු පිපෙනවා වගේ. මේ ගැන ඉමායගේ අදහස මොන වගේද?

ඇත්තටම මේ දේ මේ දවස්වල කතා කරන ප්‍රශ්නයක්. අද වන විට මොඩ්ලින් කියන දේ අපේ රටේ ගණන් ගන්නෙම නැති තත්ත්වෙට වැටිලා තියෙන්නෙ. නමුත් ජාත්‍යන්තරය ගත්තම නිරූපණ ශිල්පිනියක්, නිරූපණ ශිල්පියෙක් කියන්නෙ වැඩිම ආදායමක් උපයන, වටිනාකමෙන් වැඩි කෙනෙක්. අපේ රටේ ඒ වටිනාකම අද වෙද්දි නැහැ. අතීතයේදී තිබුණා.

අද එන අලුත් අය උත්සාහ කරන්නෙ ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න. දෙයක් ඉගෙනගෙන, කාලයක් අරගෙන ගමනක් යන්න නෙවෙයි. ඒ අය ගොඩක් කැමති මොනවා හරි දෙයක් පාවිච්චි කරලා ප්‍රසිද්ධ වෙන්නයි.

අද ගොඩක් අය හිතන්නේ කැමරාවක් ගත්ත කියල ඡායාරූප ශිල්පියෙක් වෙන්නත්, ෆොටෝ ෂූට් එකකට ඉඳලා මොඩ්ල් කෙනෙක් වෙන්නත් පුළුවන් කියලයි. ඇත්තටම ඒක හරි වැරදියි. නිරූපණ ශිල්පිනියක් කියන්නෙ ආවට ගියාට බිහිවෙන කෙනෙක් නෙවෙයි. ඊට අවශ්‍ය පුහුණුවීම්, රිද්මය, දැනුම ඒ හැමදේම තියෙන්න ඕන.

Q සමහර නිරූපිකාවෝ ප්‍රසිද්ධ වෙන්න නිරුවත් වගේම අඩනිරුවත් ෆොටෝ ෂූට්ස්, මියුසික් වීඩියෝ වලට සහභාගී වෙනවා. ඒ ගැන ඉමායගේ අදහස මොන වගේද?

අඩනිරුවත් වීම, නිරුවත් වීම කියන දේ නිරූපණ ක්ෂේත්‍රයේ දෙයක් නෙවෙයි. නිරුවත කියන දේ ජාත්‍යන්තර විදියට බැලුවොත් අපි දැකලා තිබෙනවා නිවුඩ් පොටෝ ෂූට්ස්. ඒ දේවල් දැක්කම අපේ හිතට වැරදි අදහසක් එන්නෙ නැහැ. ඒවා හරි කලාත්මකයි.

නමුත් අපේ ලංකාවේ ඒ දේ පටලවගෙන තියෙන්නේ. අද වෙද්දි ලංකාවේ මේ වගේ ෂූට්ස් කරන්නෙ එක රැයින් ප්‍රසිද්ධ වෙන්න. මම හිතන්නෙ ඒ දෙයින් ඉදිරියට යනවා කියන්නෙ ක්ෂේත්‍රය තුළ රඳා පැවැත්මක් නැහැ.

අද වන විට වසරකට බියුටි පැජන්ට් ගණනාවක් විවිධ නම් වලින් පවත්වනවා. ඒ නිසා මේ තරගවලට තිබුණ පිළිගැනීම අඩුවෙලා තියෙනවා නේද?

ඔව්. ඇත්තටම අද වෙද්දි මේක ප්‍රශ්නයක්. සමහර පැජන්ට් තියෙනවා අපි ජීවිතේටවත් අහල නැහැ. ජාත්‍යන්තර වශයෙන් ගත්තම බියුටි පැජන්ට් ප්‍රධාන වශයෙන් තිබෙන්නේ හතරයි. මිස් වර්ල්ඩ්, මිස් යුනිවර්ස්, මිස් ඉන්ටර්නැෂනල්, මිස් අර්ත් යන පැජන්ට් හතර තමා ලෝකයේ ප්‍රධාන වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ.

ඊට අමතරව ලෝකයේ වෙනත් පැජන්ට් පැවැත්වෙනවා. එහෙමයි කියල අපේ රටේ ගොඩක් වෙලාවට වෙන්නෙ මොනවහරි බියුටි පැජන්ට් එකක් හොයාගෙන කවුරු හරි නැෂනල් ඩිරෙක්ටර් ලයිසන් එකක් අරගෙන සුදුසුකම් තියෙන හෝ නැති ඕන කෙනෙක්ව මේ පැජන්ට් වලට යවන එක.

බියුටි ක්වීන් කෙනෙක් ක්‍රවුන් එකක් අරන් ජාත්‍යන්තරේට යනව කියන්නෙ හරි වගකීමක්. අපේ රටේ නම අරන් තමයි යන්නෙ. රටවල් එක්ක තරග කරන්න ඕන. ඒ නිසා ඒ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන.

ඉමායා මේ වන විට මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු වල නියැළී ඉන්නවා. ඔබත් මේ තරගෙට සහභාගී වුණ කෙනෙක් විදියට ඔවුන්ට කියන්න තිබෙන්නේ මොනවාද?

2014 න් පස්සෙ මම දිගටම මිස් ශ්‍රී ලංකා විනිශ්චය මණ්ඩලයේ හිටියා. එතනදි අපි ලබාගත්ත අත්දැකීම් එක්ක තමා විනිශ්චය දෙන්නෙ. මම ඒ අයට දෙන අවවාදය තමයි අපි ලස්සන වූ පමණින් අපිට බියුටි කුවීන් කෙනෙක් වෙන්න හරි අමාරුයි.

අපිට දැනුම වගේම අපේ පෞරුෂය තියෙන්නත් ඕන. තැනක ගිහින් හරියට හිටගන්න, ලස්සනට කතා කරන්න පුළුවන් නම් ඒ දේවල් වලින් තමයි කෙනෙක් කැපිල පෙනෙන්නෙ ලස්සනටත් වඩා.

ඉමායාගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නිරූපණ ක්ෂේත්‍රයට එන්න ආසාවක් තිබුණා. ඒ හීනෙත් සැබෑ වුණා. බියුටි කුවීන් කෙනෙක් වෙන්න ආසාව තිබුණා. ඒ හීනෙත් සැබෑ වුණා. ඊට පස්සෙ රංගනයට එන්න ආසාවක් තිබුණා.  ඒ හීනෙත් සැබෑ වුණා. ඒ නිසා ඉදිරියේදී මගේ ආසාවක් තිබෙනවා හොඳම නිළිය සම්මානය කරා යන්න.

මොකද ජනප්‍රිය නිළියට වඩා හොඳම නිළිය වෙන්න මම කැමතියි. ජනප්‍රිය වෙන්න අපිට වුණත් එස් .එම් .එස් ගහ ගන්න පුළුවන්. මම මේ කාටවත් පහරක් ගහනවා නෙවෙයි. ඒක තමයි විදිය. නමුත් හොඳම නිළිය කියන්නෙ අපේ හැකියාව මත තීරණය වන දෙයක්. ඒ වගේම නිරූපණය පැත්තෙන් නැවත ජාත්‍යන්තර බියුටි පැජන්ට් එකකට සහභාගී වෙලා ලංකාවට ක්‍රවුන් එකක් අරන් එන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

- අද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.